ආදරේ මට නම් මාරම වටින දෙයක් - වාසනා නවරත්න



කාලෙන් කාලෙට කලා ක්ෂේත්‍රයට අලුත් මුහුණු එකතු වෙනවා. අද අපේ මේ කතාබහත් නවක රංගන ශිල්පිනියක් සමඟ. ඇය මේ වෙද්දී කලා ක්ෂේත්‍රය තුළ රැඳෙන්නේ අංග රචනා ශිල්පිනියක් විදියට. ඒ අතරතුර ඇයට ලැබෙන අවස්ථා අනුව රංගනයටත් දායක වී තිබෙනවා. ඇය වෙනස් රුවක් අමුතු හැඩයක් සහිත රංගන ශිල්පිනියක්. අපිට ඇයව මුණගැහුණේ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරනු ලබන නවතම සිනමා නිර්මාණය වන ‘ධාරා’ හි මංගල දැක්ම දා. ඇය ‘ධාරා’ හි ටානියා ලෙසින් රිදී තිරයට ද එකතු වෙනවා. ඇය නමින් වාසනා නවරත්න.


මුලින්ම වාසනා ගැන කිව්වොත්?


මගෙ ගම කෑගල්ල. මම පාසල් තුනකින් අධ්‍යාපනය ලැබුවා. මුලින්ම පොලොන්නරුව සීවාමුක්ත කඳවුර මහා විද්‍යාලය. ඉන්පසුව කෑගල්ල දමුණුපොළ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඊට පස්සේ කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූවා. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි නංගියි මල්ලියි.


ඔබ කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ


මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පටන් ගන්න මුල් කාලෙම කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම කලාවට එන්නේ තිරෙන් පිටුපස චරිතයක් විදියට. මම මේ වෙනකම් මගේ වෘත්තීය විදියට කරගෙන ආවේ අංග රචනය. එතැන තමයි කලාවට සම්බන්ධ වෙන්න ලැබුණු මුල්ම අඩිතාලම.


රඟපාන්න ඕනේ කියලා හිතුණේ කොයි කාලෙ ද?


රඟපාන්න පොඩි කාලේ ඉඳන්ම ආසාව තිබුණා. පාසලේ දී වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ එක්කම මම උසස් පෙළට නාට්‍ය හා රංග කලාව විෂයයක් විදියට හැදෑරුවා. පාසලෙත් වේදිකාව එක්ක ගනුදෙනු කරපු ප්‍රසිද්ධ චරිතයක්. උසස් පෙළ නාට්‍ය හා රංග කලාව හදාරන අවධියේ සමස්ත ලංකා නාට්‍ය තරගවලට පවා සහභාගි වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ නාට්‍ය හා රංග කලාව විෂය ධාරාවෙන්. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ තමයි කවදා හරි රූපවාහිනීයේ හෝ සිනමාවේ වැඩකරන්න ලැබුණොත් හොඳයි කියන අදහස ආවේ.


මුල්ම නිර්මාණය මොකක් ද?


ප්‍රියන්ත කොළඹගේ මහතාගේ ‘සකුගේ ලෝකය’ කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒක තමයි මගේ මුල්ම නිර්මාණය. ඉතා කුඩා චරිතයක් කළේ.


අද වෙද්දී වාසනා මොනවද කරන්නේ?


වෘත්තියෙන් අංග රචනා ශිල්පිනියක්. මම වැඩ කරන්නේ තිරයෙන් පිටුපස කලාකාරිනියක් විදියට. ඇතැම් සිනමා නිර්මාණවලට ටෙලි නාට්‍යවලට සහ සංගීත නිර්මාණවලට අංග රචනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.මම දැන් ක්ෂේත්‍රයේ වැඩ කරන්න අරගෙන අවුරුදු 6ක් 7ක් වෙනවා. ‘විසල් ආදරේ’ චිත්‍රපටයටත් අංග රචනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ එකක්ම අලුතින්ම මම පටන් ගත්ත වැඩේ තමයි DJ ප්ලේ කරන එක. දැන් මම DJ ආටිස් කෙනෙක් විදියට වැඩ කරනවා.


අලුත්ම වැඩ කටයුතු මොනවද?


අනුරුද්ධ ජයසිංහ අයියා අධ්‍යක්ෂණය කරන ‘ධාරා’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණු එක. DJ ආටිස් කෙනෙක් විදියටත් වැඩ පටන් ගත්ත නිසා ඒ හරහාත් මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙන්න අදහසක් තියෙනවා.


ධාරා හි ඔබේ භූමිකාව මොකක් ද?


මගේ චරිතය වෙන්නේ ටානියා. මේ චරිතය චිත්‍රපටයේ තියෙන අනිත් චරිත එක්ක ගත්තම ටිකක් වෙනස් චරිතයක්. මොඩ්න් විදියට හිතන චරිතයක්. අම්මා, තාත්තා බර්ගර් පවුල් පසුබිමකින් ආව චරිතයක්. ආක්‍රමණශීලී වගේම ප්‍රගතිශීලී චරිතයක්. ඕනෙම දෙයකට මුලින්ම ඉදිරිපත් වෙන, ඕනෙම කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජිවිතේ වුණත් පූජා කරන්න ලැස්ති වෙලා ඉන්න චරිතයක්.


ඉදිරියට එන්න තියෙන පුංචි තිරයේ නිර්මාණ මොනවද?


මේ වෙනකම් කරපු නිර්මාණ නැහැ. කවුරුන් හෝ අධ්‍යක්ෂවරයෙක් මගේ පෙනුම සහ දක්ෂතාව දැකලා මට ආරධනාවක් කළොත් ඒ ආරාධනාව බොහොම කැමැත්තෙන් භාර ගන්නවා.‍


කලා ක්ෂේත්‍රය නියෝජනය කරන්න ලැබුණු එක ගැන අද මොකද හිතෙන්නේ?


ඒ ගැන මට තියෙන්නේ තෘප්තියක්.හේතූව හැමෝටම මේ වගේ අවස්ථා ලැබෙන්නේ නැහැ. සමහරුන්ට දක්ෂතාව තිබ්බට අවස්ථාවන් නැහැ. තවත් කොටසක් ඉන්නවා අවස්ථාවන් තිබුණට දක්ෂ නැහැ. මම කාලයක් තිස්සේ ඉගෙන ගත්තු විෂය ධාරාවකට තමයි මට මේ සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒක ලොකු භාග්‍යයක්.


ක්ෂේත්‍රයේ හොඳම යාළුවා කවුද?


කාලයක් තිස්සේ මම තිරෙන් පිටුපස වැඩ කරපු කෙනෙක් නිසා මගේ ක්ෂේත්‍රයේ හොඳම යාළුවත් තිරෙන් පිටුපස කෙනෙක්. ඔහු පුෂ්පිත නිර්මාල්. එයා කැමරාකරණ ශිල්පියෙක්.


ෆැෂන් වලට තියෙන කැමැත්ත කොහොමද?


ෆැෂන්වලට නම් හරිම ආසයි. කාලෙන් කාලෙට අප්ඩේට් වෙන්නත් ආසයි. ෆැෂන්වලට ආස වෙන්න පටන් ගත්තේ මෑතක දී. දැන් ඒක දිගටම කරගෙන යන්න ආසාවක් තියෙනවා.


කොණ්ඩේ වවන්න අදහසක් නැද්ද?


දැන් අවුරුදු හතරක් වගේ කාලයක් තිස්සේ මම කොණ්ඩේ කපලා හිටියේ. ඒ නිසා කොණ්ඩේ වවන්නත් ආසයි. දැන් මම බලන් ඉන්නේ කොණ්ඩේ වැවෙනකම්.


ආදරේ දකින්නේ කොහොමද?


ආදරේ කියන දේ මිනිසුන්ට මාරම වැදගත් දෙයක්. මගේ ජිවිතේ රැඳිලා තියෙන්නේ ආදරේ මත. මට ආදරේ ලැබෙන ප්‍රමාණය මත තමයි ජිවිතේ ගත කරන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ. අම්මාගේ තාත්තගේ ආදරේ පවුලේ අයගේ ආදරේ සහ මගේ වටා ඉන්න අයගෙන් ලැබෙන ආදරේ, මත තමයි මගේ එදිනෙදා කටයුතු පවා තීරණය වෙන්නේ. ඒ නිසා ආදරේ කියන්නේ මට නම් මාරම වටිනා දෙයක්.


අනාගත බලාපොරොත්තු මොනවද?


මගේ අනාගත බලාපොරොත්තු කියලා එකකට ෆෝකස් කරලා නැහැ. මට ඕනේ ඕල්රවුන්ඩර් කෙනෙක් වෙන්න. කලාකරුවෙක් විදියට හැමදෙයකින්ම සර්වසම්පූර්ණ වෙන්න මම උත්සහ කරනවා. මැරෙනකම්ම සර්වසම්පූර්ණ වෙන්න බැරි වෙයි. නමුත් මම මගේ ජිවිතේ ඇතුළේ උත්සහ කරන්නේ ඒ දේ ළඟා කර ගන්න.


අනුෂා රණසිංහ



Previous Post Next Post