හිනා වෙච්ච ගමන්ම ඉන්න සිරියාවන්ත පුතෙකුයි අපට ලැබුණේ- රුවන්ති මංගලා



කැදැල්ලෙ ඇතිවුණ පුංචි කිරිල්ලිය තටු සලා ඉගිල්ලිලා ගියාම අම්මා කෙනෙක්ට දැනෙන හැඟීම වචනවලට මුහු කරන්න හරිම අපහසුයි. පහන්දිගෙ විවාහ මංගල්‍යය උත්සවය පුරාම රුවන්ති මංගලාගෙ මුහුණින් ඒ කියාගන්න බැරි හැඟීම අප දුටුවා. එනිසාම ඒ හැඟීමේ විචිත්‍රත්වය ඇය සමඟ බෙදා ගන්න හිතුවා.


උත්සව උණුසුමෙන් තාම හිත පිරිලද ..?


ඔව්. දෙස් විදෙස් බොහොමයකගේ ආදරය මේ මොහොතේ අපට දැණුනා. බොහොමයක් දෙනා හරිම ආදරෙන් අපිට ආශිර්වාද කළා වගේම අපව ආදරයෙන් වැලඳ ගත්තා. ඒ නිසාම හරිම සතුටින් මේ දිනවල කාලය ගෙවෙනවා.


කොහොමද ඔවුන් ඒ පෙම් කතාවට මුල පුරන්නේ…?


ඔවුන්ගේ ප්‍රේම සබඳතාවට අවුරුදු අටක්. ඒ වගේම අපේ දුවටත් දැන් අවුරුදු විසිපහක් වෙනවා. ඒ නිසා ගිය අවුරුද්දේ ඉඳන් අප මේ විවාහ උත්සවය සැලසුම් කළා.


පවුලට එක්වුණු අලුත් පුතා ගැනත් පුංචි විස්තරයක් කළොත්..


පුතා හරිම හොඳයි. හිනා වෙච්ච ගමන්ම ඉන්න සිරියාවන්ත පුතෙකුයි අපට ලැබුණේ. ගොඩක් අය අහනව “ලස්සනට හිනා වෙන මේ කොල්ලා කොහෙන් හොයාගත්තද” කියල. පුතාගේ නම ශෙනල් ද සිල්වා. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්.


පහන්දිට රංගනයට ආරාධනා නොලැබුණා කියලා නම් හිතන්න බැහැ. ඇයි ඇය කලාවට සම්බන්ධ නොවුණේ?


දුවට රංගනයට ආරාධනා බොහොමයක් ලැබුණා. ශාන්ත සොයිසාගේ නිර්මාණයක ප්‍රධාන චරිතයකටත් ඇයට කතා කළා. නමුත් ඒ කිසිම විටෙක ඇය ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට කැමැත්තක් දැක්වුවේ නැහැ. අධ්‍යාපන කටයුතුවලට නැඹුරුව වැඩකටයුතු කළ නිසා අපත් ඇයට බලපෑම් කළේ නැහැ.


දුව ගොඩක්ම දක්ෂ රඟපාන්නද සින්දු කියන්නද?


ඇයට හොඳට රඟපාන්න පුළුවන් වගේම සින්දු කියන්නත් පුළුවන්. ඒවගේම ඇය නටන්නත් ගොඩක් දක්ෂයි.


ඔබගේ පුංචි කැදැල්ලේ පිපුණු මලක් තවත් කැදැල්ලක් සුවඳ කරන්නයි දැන් ලෑස්ති වෙන්නේ. මවක් විදිහට ඔබට ඒ හැඟීම දැනෙන්නේ කොහොමද?


එය වචනයෙන් කියන්න බැරි හැඟීමක්. පුංචි කාලෙ මලක් වගේ බලා ගත්ත දුව අපෙන් ඈත් වෙනවා කියන හැඟීම එක්ක ලොකු වේදනාවක් එනවා. එයා ගෙදර ඉන්නකොට එයාගේ කට හඬින් වගේම එයාගේ කිංකිණි හිනාවෙන් මුළු ගේම පිරෙනවා. කෙල්ලෙක් වුණාම කටේ සද්දේ ගැන ඉතින් කියන්න දෙයක් නැහැනේ…මෙතැන් පටන් ඇයට ලොකු වගකීමක් හිමිවෙනවා. ගෘහණියක් විදිහට මවක් විදිහට ඇයට ඒ වගකීම දරන්න සිදු වෙනවා. ස්වභාව ධර්මයෙන් ඇයට පැවරෙන ඒ වගකීම අකුරටම ඉටුකරාවී කියලා මම විශ්වාස කරනවා.


ඇය ඉදිරියේදී කලාවට සම්බන්ධවෙයිද වෘත්තීය ජීවිතෙන් ඉදිරියට යයිද..?


ඇය ඉදිරියේදීත් කලාවට සම්බන්ධ වෙන එකක් නැහැ. නමුත් ඇයගේ වෘත්තීය ජීවිතය හා ගෘහ ජීවිතය සමබර කරගෙන ඉදිරියේදිත් වැඩ කටයුතු කරාවි.


දැහැමිගේ විවාහ උත්සවය විවිධ සම්ප්‍රදායන්ට අනුකූලව උත්කර්ෂවත් අන්දමින් සිදුවුණා. එවැනි අපූරු උත්සවයක් සැලසුම් කළේ කොහොමද?


එය සැලසුම් කළේ නලින්ද බුලත්සිංහල මල්ලියි. අප සාමාන්‍ය විවාහ උත්සවයක් සැලසුම් කළත් ඔහුගේ ඉල්ලීමකට එය වෙනස්ම විදිහකට අප සිදු කළා. මුලදී ෆොටෝ ෂූට්වලට අප එතරම් කැමැත්තක් දැක්වුවේ නෑ. නමුත් පසුව ඔහුගේ බල කිරීමට වුවත් එය ලස්සනට වගේම උත්කර්ෂවත් අන්දමින් සිදුවුණා.


දුව ගොඩක්ම ළැදි අම්මටද තාත්තට ද?


මං හිතන්නේ ගොඩක්ම ආදරේ තාත්තිට


පුතා ගැනත් කතා නොකරම බැහැ ඔහුවත් අපි දකින්නෙ ගොඩක් කාලෙකට පස්සේ..


ඔව්. ඔහු හිටියේ කැනඩාවෙ. ඔහු ලංකාවට ආවෙම දුවගෙ වෙඩින් එකට.


විශ්මි ජයනිකා




Previous Post Next Post