සමහර අය මට බොබ් මාලේ වගේ කියනවා - ඩිලාන් සංජන



සංගීතය යනු විශ්ව භාෂාවක් බව අතීතයේ පටන්ම පිළිගත් සත්‍යයක්. ඒ මහා විශ්ව භාෂාවේ සිව් මානයන් සොයා යමින් සංගීතය නම් ඔසුවෙන් විඩාපත් ජන හදවත් සුවපත් කරන අපූරු සංගීතවේදීන් යුවළක් අපට මුණගැසුනා. ඒ. ඩිලාන් සංජන සහ ඔහුගේ ප්‍රිය බිරිඳ මලිෂා ඇල්ලේපොල. ඇතැම් විට නමින් ඔහු කවුරුන් දැයි කියා ඔබ නොදන්නවා විය හැකියි. නමුත් ඔහු සංගීතවත් කළ ගීත නම් ඔබ අප සැවොම දන්නා ප්‍රසිද්ධ නිර්මාණයන් බව නොරහසක්. “හොඳින් යන්න වෙන් වී…. හොඳක් වෙන්න පතමී….” මේ දිනවල ඔබට මට ඇහෙන ජනප්‍රිය ගායන ශිල්පිනී රයිනි චාරුකාගේ අලුත්ම ගීතය. හිතට දැනෙන මේ ගීතයේ සංගීත නිර්මාණය සිදු කරන්නේත් ඩිලාන් සංජන විසින්.


ඔබ දෙපළ හරි අපූරු සංගීතවේදියෙක් සහ සංගීතවේදිනියක්. මුලින්ම දැන ගන්න කැමතියි සංගීත ගමන වගේම ජීවන ගමනත් ඔබ දෙදෙනා එකට යන්න තිරණය කළ හමුවීම ගැන.


මම මාතලේ ඉපදිලා හැදුණු වැඩුනු කෙනෙක්. ඩිලාන්ගෙ ගම හපුතලේ. පුංචි කාලේ ඉඳන්ම මගේ පියාගේ සංගීත ආභාෂයත් එක්ක මමත් සංගීතයට නැඹුරු වුණා. ඩිලාන්ගේ පවුල් පරිසරයත් එහෙමයි. ඒ පසුබිම් එක්ක ඔහුත්, මමත් සංගීත කටයුතු වෙනුවෙන් කොළඹ ආවා. ඒ ආපු ගමනේ අවසන් ප්‍රතිඵලය විදියට තමයි ඩිලාන්ගෙයි මගෙයි ආදර කතාව පටන් ගන්නෙ.


ආදරණීය බිරිඳ විදියට ඩිලාන් සංජන ගැන හොඳින්ම දන්න කාන්තාව ඔබ. ඔබේ හඬින්ම ඔහු ගැන දැන ගන්න කැමතියි.?


ඩිලාන් පුංචි කාලේ ඉඳලම සංගීතයට බොහොම ප්‍රිය කරපු කෙනෙක්. ඔහුට තියෙන්නේ සංගීතයට උපන් හැකියාවක්. ලෝකේ තියෙන හැම සංගීත ශෛලියක්ම ඔහු හදාරලා තියෙනවා. පාසල් කාලෙන් පස්සේ කොළඹ ඇවිත් රෙකෝඩින් ඉංජිනියර් කෙනෙක් විදියට නුගේගොඩ ගබ්දාගාරයක ඔහු වැඩ කලා. සංගීතවේදි කසුන් කල්හාර, නදීක ගුරුගේ වගේ ප්‍රවීණයන් එක්ක තමයි ඩිලාන් ඒ කාලේ වැඩ කළේ. පසු ගිය කොරෝනා කාලෙදි ඩිලාන් ආපහු හපුතලේට ඇවිත් ගෙදරම ගබ්දාගාරයක් නිර්මාණය කළා. දේශීය වගේම විදේශීය සංගීත නිර්මාණවලටත් ඔහු දායක වෙනවා. ඩිලාන් ගායනය, තනු නිර්මාණය, පටිගත කිරීම් සියල්ලටම දක්ෂයි. මේ වෙද්දි අපි දෙන්නම පූර්ණ කාලීනව වෘත්තීමය සංගීතවේදියෝ විදියට වැඩ කටයුතු කර ගෙන යනවා.


ඩිලාන් මේ වෙනකොට කරලා තියෙන සංගීත නිර්මාණ කටයුතු මොනවද ?


මම රයිනි චාරුකා, රනිල් මල්ලවාරච්චි, මිහිඳු ආරියරත්න, දිමංක වෙල්ලාලගේ, සංජීව ලෝලියන්ස්, සුමුදු ගුරුගේ වගේ ප්‍රවීණ, ජනප්‍රිය ගායන ශිල්පීන් රැසකගේ ගීතවලට සංගීත නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම සිරස ටීවි එකේ ‘වැහි පබලු සේල’ කියන නාට්‍යයේ අමිලා නදීෂානි ගායනා කරන තේමා ගීතයට වගේම මුළු නාට්‍යයේම සංගීතය නිර්මාණය කළේ මම. ‘රස්තියාදුකාරයා’ කියන නාට්‍යයට සහ ‘බඹර වළල්ල‘ චිත්‍රපටයට මම සංගීතය නිර්මාණය කළා. ඊට අමතරව ලංකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී වෙළඳ දැන්වීම් බොහෝ ප්‍රමාණයකට සංගීත නිර්මාණ කටයුතු කරලා තියෙනවා.


ඩිලාන්, ඔබ කොයි විදියටද මලීෂව හඳුන්වන්නේ ?


ඇය ඉතාමත් දක්ෂ හොඳ හඬක් තියෙන ගායිකාවක්. මලීෂා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායිකාවක්. විශේෂයෙන්ම හින්දි ගීත ගායනයෙදී ඇය බොහොම දක්ෂයි. තුරුණු ශක්ති සංගීත තරගාවලියේ දෙවන අදියරෙන් මධ්‍යම පළාතේ ප්‍රථමස්ථානය දිනා ගන්න ඇය සමත් වුණා. බෙල්වුඩ් සංගීත නිකේතනයෙන් මලීෂා සංගීතය හදාරලා තියෙනවා. එක් අවස්ථාවක මලීෂා ඇගේ පියාත් සමඟ ඉන්දියානු සංචාරයකට සම්බන්ධ වුණා සංගීත කටයුත්තකට. ඇය ගායනා කළ හින්දි ගීත වලට ආකර්ෂණය වුණු හින්දු ජාතිකයින් මලීෂට කියලා තිබුණා ඉන්දීය හඬක් ඇයට තියෙන්නේ කියලා. ආශා බෝස්ලේ, ලතා මංගේෂ්කර් වගේ ඉන්දීය ගායන ලෝකේ පතාක චරිතවල හඬක් ඇයට පිහිටලා තියෙන්නෙ කියලා ඔවුන් ඇයව අගය කරලා වගේම ඉන්දියාවේ සංගීත අවස්ථා දෙන්නත් කැමති වෙලා.


මලීෂා ඔබේම ගීත නිර්මාණය කරලා තියෙනවද ඔබ ?


ඩිලාන්ව හඳුන ගත්තේ මගේම ගීත කීපයක් නිර්මාණය කරන්න කොළඹ ඇවිත් හිටිය කාලේ. සංගීතවේදී රෝහණ වීරසිංහ, එච්.එම් ජයවර්ධන, තිස්ස සිරි පෙරේරා වගේ ප්‍රවීණ තනු නිර්මාණ ශිල්පියෝ මගේ ගීතවලට තනු නිර්මාණය කළා. බන්දුල නානායක්කාරවසම්, ආනන්ද හේවාරන්හිඳගේ කියන පද රචකයින් මගේ ගීත නිර්මාණය කරලා දුන්නා. ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ මහත්මයා එක්ක මම යුග ගීතයක් නිර්මාණය කරලා ගායනා කළා. ඒ කාලේ පාරමී කියලා කැසට් පටයකටත් මම ඔහු සමඟ තවත් යුග ගායනාවක් කරලා තියෙනවා. මීට අමතරව මම බොහෝ නිර්මාණවලට දායක වුණා. ඩිලාන් මුණගැහුනට පස්සේ ඔහුත් මට ගීත කීපයක් නිර්මාණය කරලා දුන්නා.


ඔබේ පියාත් දක්ෂ සංගීත ශිල්පියෙක්. ඒ නිසා ඔහු ගැනත් පොඩි හැඳින්වීමක් කළොත්?


මගේ අප්පච්චි චන්ද්‍රසේන බී ඇල්ලේපොල. ඔහුත් ගුවන් විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායකයෙක්. අප්පච්චි වසර තිහක පටන් දේශීය සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා.


ඩිලාන්ගේ කොණ්ඩ විලාසිතාව ගැනත් කතා නොකරම බෑ. ඔබ අපිට බොබ් මාලෙව නැවත සිහිපත් කරනවා වගෙයි?


මම හැම මියුසික් ස්ටයිල් එකක්ම ඉගෙන ගත්තා. බොබ් මාලෙගේ රෙගේ ස්ටයිල් එකත් මම ඉගෙනගෙන තියෙනවා. ඔව් සමහර අය මට බොබ් මාලේ වගේ කියලා කියලා තියෙනවා. ඒ වගේම මම ඉපදුනේ බොබ් මාලේ මිය ගිහින් අවුරුද්දකට පස්සේ. ඒ ගැන දන්න හිතවතුන් කියන්නේ මම බොබ් මාලෙගෙ නැවත ඉපදීමක් කියලා. මේ මගේ ස්වභාවික කොණ්ඩය. ඒ වගේම මම කොණ්ඩය කෘත්‍රිමව හදලා නෑ. කොණ්ඩය වැවෙනකොට ඉබේම තමයි මේ විදියට කොණ්ඩ මෝස්තරේ හැදුනේ.


ඔබ ඉගෙන ගත්ත දේවල් අනාගත පරම්පරාවට බෙදලා දෙන්න අදහසක් නැද්ද ?


අනිවාර්යයෙන්ම. මම දැන් නිවසේ ඉඳන් ළමයි කීප දෙනෙක්ට ශබ්ද පරිපාලනය ගැන, හඬ පුහුණුව වගේම වාදනය පිළිබඳවත් දැනුම ලබා දෙනවා. ගොඩක් අයගෙන් මට උගන්වන්න කියලා ඉල්ලීම් ලැබෙනවා.


අවසාන වශයෙන් ඔබ දෙදෙනාගේ ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු.


අපි හපුතලේ ටවුන් හෝල් එකේ සංගීත ප්‍රසංගයක් පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අලුත්, ගුණාත්මක නිර්මාණ හරහා උසස් රසවින්ඳනයක් ලංකාවේ ජනතාවට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. සංගීතයෙන් යහපත් සේවයක් කරන ගමන් අනාගත පරම්පරාවටත් මේ දැනුම බෙදා දෙන්න අපි ලෑස්තියි.


කුමුදිකා ඩී සපුතන්ත්‍රී



Previous Post Next Post