බොලිවුඩ් සිනමාවේ ඉහළින්ම වැජඹෙන නිළිය අලියා භාත්



ආලියා භාත් මේ වන විට බොලිවුඩ් සිනමාවේ ඉහළම හිණිපෙත්තේ වැජඹෙන නිළියක බව කීවොත් කිසිවෙකුත් ඊට විරුද්ධ වෙන එකක් නැහැ. ඉන්දියාවේ මෙන්ම ලෝකයේ රටවල් රැසක ඇයගේ රසික රසිකාවියන් විසිර සිටිනවා. ලංකාවේත් ඇයට ආදරය කරන, ඇගේ රඟපෑම් අගය කරන සිනමාලෝලීන් විශාල සංඛ්‍යාවක් සිටින බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ සූදානම් වන්නේ ආලියාට ඇලුම් කරන අපේ සිනමා රසිකයන් වෙනුවෙන් ඇයගේ පෞද්ගලික ජීවන තොරතුරු ටිකක් කියන්නයි.


මේ වන විට 31 වැනි වියෙහි පසුවන ආලියා උපන්නේ 1993 මාර්තු 15 වැනි දින යි. ඇය උපත ලැබුවේ ඉන්දියාවේ වුවත්, ජීවත් වන්නේ ඉන්දියාවේ වුවත් ඇය ඉන්දියානු පුරවැසියකු නොවන බව බොහෝ දෙනකු නොදන්නා කාරණයක් විය හැකියි. ඇය සැලකෙන්නේ බ්‍රිතාන්‍ය පුරවැසියකු හැටියට යි. ආලියාගේ මව වන සෝනි රස්ඩාන් බ්‍රිතාන්‍යයේ උපන් කෙනෙක්. නමුත් ඇය කුඩා කාලයේ සිටම හැදුණේ වැඩුණේ ඉන්දියාවේ යි. ආලියා ද බ්‍රිතාන්‍ය පුරවැසියකු වී ඇත්තේ මවගේ මෙම පසුබිම නිසයි.


ආලියා ඉන්දියාවේ ප්‍රසිද්ධම සිනමා පවුලක සාමාජිකාවක්. ඇයගේ පියා වන මහේෂ් භාත් එරට ප්‍රධානම පෙ‍ෙළ් චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඔහු සිනමා අධ්‍යක්‍ෂවරයකු හැටියටත් කටයුතු කර තිබෙනවා. ආලියාට වැඩිමල් සොහොයුරියක් ද සිටින අතර ඇයගේ නම ෂහීන්.


ආලියාගේ පියා මහේෂ් භාත් සෝනි රස්ඩාන් සමඟ විවාහ වීමට පෙර තවත් විවාහයක් කරගෙන සිටියා. ඔහුගේ පළමු බිරිය වූයේ කිරන් භාත්. එම විවාහයෙන් මහේෂ්ට දරුවන් දෙදෙනකු සිටින අතර ඒ පූජා භාත් සහ රහුල් භාත්. ඉතින්, ඔවුනුත් ආලියාගේ සමීප ඥාතීන්. මේ වන විට ජනප්‍රිය, දක්‍ෂ නළුවකු වන එම්රාන් හෂ්මි ද ආලියාගේ ඥාති සහෝදරයකු බව සඳහන්.


ඇය 12 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබීමෙන් පසු අධ්‍යාපන කටයුතු අවසන් කළා. ඒ රඟපෑමේ පිස්සුව තදින්ම හිතට කාවැදී තිබුණු නිස යි.


තමාගේ පියා මහේෂ් භාත් වූ නිසා තම ළමා කාලය ඉතා සුන්දර එකක් වන්නට ඇතැයි බොහෝ දෙනකු සිතන්නට හැකි වුවත් එය එසේ නොවන බවක් ද ඇය සඳහන් කර තිබෙනවා. ළමා වියේ දී ආලියා සහ පියා අතර එතරම් සමීප බැඳීමක් නොවූ බවයි පැවසෙන්නේ. ආලියාගේ මව සෝනි වරක් පවසා තිබුණේ තමා මෙම දරුවන් හැදුවේ තනිවම බව යි. සැමියා දරුවන් සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදැක්වූ බවකුත් ඇය කියා තිබුණා. ආලියා සඳහන් කරන ආකාරයට ඇය සහ පියා අතර යම් සමීප සම්බන්ධයක් ඇතිව තිබුණේ ඇය රඟපෑමට එක් වීමෙන් පසුව යි.


ආලියා මුල්වරට චිත්‍රපටයක රඟපාද්දී ඇයගේ වයස අවුරුදු 5 ක් පමණයි. පියා විසින් නිෂ්පාදනය කරන ලද ‘සංගාර්ෂ්’ නමැති සිනමාපටයේ යි ආලියා පළමු රංගනය ඉදිරිපත් කළේ. එහි ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවේ ප්‍රීටි සින්ටා. ප්‍රීටි රඟපෑ චරිතයේ ළමා කාලය යි ආලියා නිරූපණය කළේ. නමුත් එය ඉතා කෙටි චරිතයක්. පසු කාලයේ මාධ්‍යවේදියකු ඇයගෙන් පළමු රංගනය ගැන විමසූ විට ආලියා පවසා තිබුණේ තමාට ඒ ගැන ඒ හැටි මතකයක් නැති බව යි.


ආලියා විවාහ වී සිටින රන්බීර් කපූර් මුල් වරට ඇයට දැක ගන්නට ලැබී තිබුණේ ඇයට වයස අවුරුදු නවයේදී යි. සංජේ ලීලා බන්සාලි අධ්‍යක්‍ෂණය කළ Black චිත්‍රපටයේ ළමා චරිතයක් සඳහා ඇය තිර පරීක්‍ෂණයකට ගියා. මෙම චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයා වූයේ රන්බීර්. එදින තමයි ඔවුන් මුල් වරට මුණගැසී තිබුණේ. ඒ වන විට රන්බීර්ගේ වයස අවුරුදු 20ක්. තමුන් දෙදෙනා අනාගතයේ අඹුසැමියන් වන බවක් එදා මේ දෙදෙනා සිහිනෙන්වත් නොසිතන්නට ඇති.


කෙසේ නමුත් ආලියා Black හි චරිතය සඳහා තේරුණේ නැහැ. නමුත් බන්සාලි ඊට වසර තුනකට පසු මේ දෙදෙනා යොදා ගෙන ‘බාලිකා වාදු’ නමින් චිත්‍රපටයක් කිරීමට සැරසුණා. එහෙත් එම චිත්‍රපටයේ කටයුතු අතරමඟ නතර වුණා.


ආලියා පවසන්නේ ඉතා දිගු කාලයක සිටම රන්බීර් තමාගේ සිහින කුමරකු වූ බවයි. එසේ වුවත් මේ දෙදෙනා පෙම්වතුන් බවට පත් වුණේ 2018 වසරේ ‘බ්‍රහ්මාස්ත්‍ර’ චිත්‍රපටයේ රඟ පෑ කාලයේ යි. 2022 අප්‍රේල් 14 වැනි දින ආලියා සහ රන්බීර් යුග දිවියට එළැඹුණු අතර මේ වන විට ඔවුන් සිඟිති දියණියකගේ මවුපියන් ය.


කසුන් අරවින්ද




Previous Post Next Post