මෙගා කියන්නෙ කියන තරම් නරක දෙයක් නොවෙයි - චානක කරුණාරත්න

 



දෙරණ නාළිකාවේ මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන “සිත නිදි නෑ“ නාට්‍යයෙන් අපට හමුවන නව රංගන ශිල්පියෙක් තමයි චානක කරුණාරත්න කියන්නේ. මිත්‍රත්වය විදහා දක්වන ඩොක්ටර් කළිඳුගේ චරිතය ප්‍රේක්ෂක ඔබට නුපුරුදු නැහැ. මේ ඇරඹෙන්නේ ඔහු සමඟ අපේ පිළිසඳරයි.


ඔබ දැන් වෛද්‍යවරයෙක් වෙලා නේද ?


මේ දවස්වල මම දෙරණ නාළිකාවේ විකාශය වන ‘සිත නිදි නෑ‘ ටෙලි නාට්‍යයේ ඩොක්ටර් කළිඳුගේ චරිතයට පණ පොවනවා. සැබෑ ජීවිතයේ මම ගුරුවරයෙක්.


මේ ඔබ රංගනයෙන් දායක වෙන පළවෙනි නාට්‍යයද ?


නෑ. මම මීට කලින් චරිත් කොතලාවලගේ තිමිර කියන නාට්‍යයට දායක වුණා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු උතුවන්කන්දේ සරදියෙල් ටෙලි නාට්‍යයේ කුඩා චරිතයකට සම්බන්ධ වුණා. ඊට අමතරව මට ලක්ෂාන් වත්තුහේවාගේ නිර්මාණ දෙකක් වුණු ආන්‍යා සහ කඳුළු නිර්මාණවලට දායක වෙන්න ලැබුණා.


ඔබ වේදිකාවට සමීප නැද්ද ?


කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ දී වේදිකා නාට්‍ය කීපයකට සම්බන්ධ වුණා. නමුත් ප්‍රසිද්ධ ගණයේ වේදිකා නාට්‍යවලට මම දායක වෙලා නැහැ.


රඟපෑම ඔබේ හීනයක් සැබෑ වීමක්ද, නැතිනම් අහම්බයක්ද ?


මම විනෝදාංශයක් විදියට තමයි රංගන කටයුතු එදා ඉඳන් අද දක්වාම කරගෙන එන්නේ. වෘත්තීමය වශයෙන් නළුවෙක් වෙන හීනයක් තිබුණේ නැහැ. පොඩි කාලේ ඉඳලම රඟපාන්න ආසාවක් තිබුණා. ඒ නිසාම පාසල් කාලේ ඉඳන් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලවලට දායක වෙලා තියෙනවා. පසුකාලීනව උසස් අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න ඕන නිසා අධ්‍යාපනය පැත්තට වැඩි අවධානයක් දුන්නා. මගේ පාසල හේනෙගම මධ්‍ය විද්‍යාලයත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන.


සිත නිදි නෑ නාට්‍යයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?


හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම මගේ සිසුන් සහ මවුපියන් කතා කරලා මගේ රංගනය අගය කරනවා. තාත්වික රංගනයක් මගෙන් දකින්න පුළුවන් කියල යාළුවෝ මට කියනවා. ඒ වගේම තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂකතුමාගේ ඉඳන් ප්‍රවිණ රංගන ශිල්පීන්ගෙන් හරිම මිත්‍රශීලි සහයෝගයක් මට ලැබෙනවා. ඒක මගේ රංගනය සාර්ථක කර ගන්න විශාල පිටුවහලක්.


ඔබේ ගුරු භූමිකාව ගැනත් කතා කරමු?


ඔව්, මම ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරයෙක්. මගේම කියලා ආයතනයක් තියෙනවා “Edu For English Academy” කියලා. දෙල්ගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ තමයි මගේ ආයතනය තියෙන්නෙ. මම ඇතුළු ආචාර්ය මණ්ඩලයක් මේ ආයතනය හරහා දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම වගේම අනෙක් විෂයයන්වලටත් අදාළ දැනුම ලබා දෙනවා.


මෙගා ටෙලි නාට්‍ය කලාව ගැන ඔබට තියෙන අදහස මොකක්ද ?


අපි මේ ජීවත් වෙන කාලෙත් එක්ක බැලුවම අතීතෙට වඩා අද කලාව වෙනස්. වෘත්තියක් විදියට කලාව, රංගනය සිදු කරන කෙනෙකුට ලංකාව ඇතුළේ කලාකරුවෙක් විදියට ජීවත් වෙන්න නම් වාණිජ ස්වරූපයක් මේ කලාව තුළ තියෙන්න ඕන. වාණිජ ස්වරූපයක් පවතින්නේ නැතිනම් අපේ කලාකරුවා හැමදාම දුප්පත්. ඒ වගේ තත්ත්වයකදී මෙගා නාට්‍ය කියන දේ අවශ්‍ය වෙනවා. ඒ වගේම අනෙක් අතින් ප්‍රේක්ෂකයා තුළත් වැඩි කැමැත්තක් මෙගා නාට්‍ය සඳහා නිර්මාණය වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. සතියකට වතාවක් බලන නාට්‍යයකට වඩා හැමදාම විකාශය වෙන නාට්‍යයක් කුතුහලය එක්ක ප්‍රේක්ෂකයා බලන්න කැමතියි.


මෙගා කීව ගමන් වැඩි දෙනෙක් හිතන්නේ සල්ලි මත පදනම් වුණු ප්‍රමිතියක් නැති නිර්මාණ කියලා. ඒත් ඒක වැරදියි. අපි දකිනවා ඕන තරම් හොඳ මෙගා නිර්මාණවල වටින දෙබස් සමාජගත වෙනවා. ඒ වගේ දෙබස් ඛණ්ඩවලින් නාට්‍යයට එහා ගිය වැදගත් සමාජ කාර්යයක් සිද්ධ වෙනවා කියල මට හිතෙනවා.


ඔබ ඉදිරියේදී රඟපාන්න විශේෂ කැමැත්තක් දක්වන චරිත තියෙනවද ?


මම සැබෑ ජීවිතයේදී වෘත්තීය විදියට කරන්නේ ගුරු වෘත්තිය නිසා මම කැමතියි රංගනයෙදිත් මට ගුරු භූමිකාව රඟ දක්වන්න පුළුවන් චරිතයක් ලැබෙනවා නම්.


ඔබට මතක් කරන්න ඉන්න පිරිස ගැනත් කියමු?


මගෙ බිරිඳ රශ්මි පෙරේරා. බිරිඳත් ගුරුවරියක්. ඇයගෙන් ලොකු සහයක් මට ලැබෙනවා. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මගෙ අම්මා, තාත්තා වගේම බිරිඳගේ අම්මා, තාත්තත් ඉන්නෙ අපිත් එක්ක. කුඩා කාලයේ ඉඳන්ම මේ වෙනතුරු දෙමාපියන්ගෙන් ලොකු සහයෝගයක් මගේ කලා කටයුතුවලට ලැබුණා. ඔවුන් අද මම ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ලක්ෂාන් වත්තුහේවා මගේ සමකාලීන මිත්‍රයා විශේෂයෙන් සිහිපත් කරන්න ඕන. ඔහු මට රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථා ලබා දුන්නා විතරක් නෙවේ රංගනය පිළිබඳ හොඳ දැනුමකුත් මට ලබා දෙනවා.


කුමුදිකා ඩී. සපුතන්ත්‍රි



Previous Post Next Post