ශ්‍රැති සමඟ ඉදිරියට එන තාත්තයි දුවයි



90 දශකයේ රසික සිත් ගී හඬින් මුසපත් කළ ගායන ශිල්පී පරපුරට එක් වූ ආදරණීය ඔහු ශ්‍රේෂන් මුතුකුමාරණයි. එදා ගුවන්විදුලියේ, ප්‍රසංග වේදිකාවේ, කැසට් පටයේ, මංගල සාදයේ ඔහුගේ ගී හඬ ප්‍රතිරාව නැංවුණි. යම් විරාමයන් ජීවිතයේ වරින් වර තිබුණු නමුත් වසර තිහක් පුරා ඔහුගේ ගී හඬ වේදිකාවට, ප්‍රසංගයට, මංගල සාදයට මුසු වෙමින් අවුත් වර්තමානය වන විට ඔහුගේ තනිය අකා මකා දමන්නට තවත් තැනැත්තියක් ඔහු හා අත්වැල් බැඳගෙන සිටීම විශේෂත්වයකි. ඒ “ශ්‍රැති” සමඟ බැඳි “තාත්තායි දුවයි” නිසා ය.


ශ්‍රැති සමඟ තාත්තායි දුවයි ගැන කියමු ද….?


ඔව්. මගේ දුව කවීෂා මුතුකුමාරණයි මමයි එකතු වෙලා මියුසික් බෑන්ඩ් එකක් කරගෙන යනවා. මේක අපි “ශ්‍රැති” කියා නම් කළා. අද බොහෝ අය ගීත ගයන්නේ කිසිම ශ්‍රැතියක් නැතුවයි. නමුත් “ශ්‍රැති” බෑන්ඩ් එකේ සංගීතයත්, ගායනාත් ශ්‍රැතිය ආරක්ෂා කරමින් ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවා. අපේ මියුසික් ට්‍රැක්ස් හරියටම ශ්‍රැතියට අනුව පටිගත කර තිබෙනවා. ඒ වෙනුවෙන් මම ගොඩාක් මහන්සි වුණා. මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කළා. එහි ප්‍රතිඵලයක් හැටියට මේ වන විට විශාල ඉල්ලුමක් අපේ “ශ්‍රැති” බෑන්ඩ් එකට තියෙනවා.”


තාත්තායි දුවයි කියා තව නමක් ඇයි….?


මේ ශ්‍රැති මියුසික් බෑන්ඩ් එක කරගෙන යන්නේ මමයි මගේ දුවයි. මගේ දුව කවීෂා හපුගොඩ ශාන්ත මේරීස් විද්‍යාලයේත් පසුව ගලහිටියාව මහා විද්‍යාලයේත් ඉගෙන ගත්තා. ඇය කලා විෂය ධාරාවෙන් උසස් පෙළ අවසන් කරලා මේ දවස්වල නිදහසේ ඉන්න නිසා මේ සංගීත කටයුතුවලට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙලා ඉන්නවා. එයා හොඳට ගායනා කළාට එයාගේ වැඩි කැමැත්ත තිබුණේ නර්තනයටයි. එයා නර්තනයට ඉතා දක්ෂයි. නමුත් දැන් මාත් එක්ක බෑන්ඩ් එකට එක්වෙලා සංගීත කටයුතු කරගෙන යනවා. දුව මේ දවස්වල ගිටාර් වාදනය ඉගෙන ගන්නවා. එයා සිංහල සිංදු වගේම හින්දි, දෙමළ, ඉංග්‍රීසි ගීතත් ගායනා කරනවා. එයාගේම ගීතත් තියෙනවා. අපේ බෑන්ඩ් එකේ මියුසික් කරද්දි මමත්, දුවත් ගීත ගයනා කරනවා. අපි මේ බෑන්ඩ් එකට නම දැම්මේ “ශ්‍රැති” කියලා විතරයි. නමුත් මමයි දුවයි මේ බෑන්ඩ් කරන නිසා “තාත්තායි දුවයි” කියලා නමකුත් අපේ මියුසික් බෑන්ඩ් එකට රසිකයින්ගෙන් ලැබුණා.”


සංගීත සැපයීම, ගායනය තාත්තාටයි දුවටයි විතරක් තනියම කරන්න පුළුවන් වැඩක් ද…?


අපි ප්‍රසංගවලදී සංගීතය සපයන්නේ නවීණ තාක්ෂණය යොදාගනිමින් සහ මියුසික් ට්‍රැක්ස් උපයෝගි කරගෙන යි. එකම ශිල්පියෙක් මියුසික් ට්‍රැක්ස් ගොඩාක් තියාගෙන ඒවා තමන්ම ඉදිරිපත් කරමින් ගීත ගායනා කරන විශාල ප්‍රසංගයක් මම විදේශ රටකදී දුටුවා. ඔහුට වාදනය සැපයූ කිසිම වාද්‍ය භාණ්ඩයක් හෝ වාදන ශිල්පියෙක් හිටියේ නැහැ. ඒක දැකලා මට ඒ ලොකු ආශාවක් ආවා. එවැනි දෙයක් ලංකාවෙත් කරන්න පුළුවන් කියලා මගේ හිතට තදින් දැනුණා. මේ වෙද්දි විශාල මුදලක්, කාලයක් යොදවලා ලොකු මහන්සියක් වෙලා මියුසික් ට්‍රැක්ස් විශාල ප්‍රමාණයක් අපි හදාගෙන තියෙනවා. ඒ ට්‍රැක්ස්වලට අපි ගීත ගායනා කරනවා. දැනට කිසිම වාදන භාණ්ඩයක් ප්‍රසංගවලදී අපි භාවිත කරන්නේ නැහැ. ඉදිරියේදී ප්‍රසංගවලදී දුව ගීටාර් වාදනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. වාදනයෙන් තවත් එක් කෙනෙක් විතර අපි සම්බන්ධ කර ගන්න සූදානමක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගීත එක්දහස් පන්සීයකට වැඩිය පුහුණු වෙමින් ප්‍රේක්ෂකාගාරය ඉල්ලන ඕනෑ ම ගීතයක් ගයන්න සූදානමින් ඉන්නවා. මේ නිසාම අපට බොහෝ ප්‍රශංසා, ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. විශේෂයෙන්ම නව පරපුරේ රසික පිරිස දුවගේ ගීතවලට කැමතියි. එයා අනෙකුත් භාෂාවල ගීතත් ගායනා කරන නිසා ලොකු ප්‍රතිචාරයක් තියෙනවා.”


90 දශකයට ආයිත් යමු ද…..?


මම මුලින් ම ක්ෂේත්‍රයට එන්නේ 1993 වර්ෂයේදී ‘බට්ටී මගේ සුදු මැණිකේ ඔයා….’ ගීතය මගේ ම නිර්මාණයක් විදිහට එළිදැක්වීමත් සමඟයි. ඊට පස්සේ මගේ ම ගීත 16ක් මම එළිදැක්වූවා. එතැනින් නොනැවතී තව තවත් ගීත නිර්මාණය කළා. මේ වන විටත් ගීතයක් නිර්මාණය කරලා එළි දක්වන්න කටයුතු කරගෙන යනවා. මගේ අතීතයට ගියොත් මගේ තාත්තා අපේ ගමේ නාඩගම්, නූර්ති, ටීටර් වගේ දේවල්වලට ගොඩාක් සම්බන්ධ වුණා. අපට පුංචි කාලේ ගීත අහන්න රේඩියෝ තිබුණේ නැහැ. රේඩියෝවක් තියෙන ගෙදරකට ගියත් ‘බැටරි නෑ කොල්ලෝ’ කියලා රේඩියෝව වහලා දානවා. ගමේ සල්පිළක, පිංකමක පීකර් ගස් බැඳලා සිංදු දාලා තිබුණත් හුළං පාරට ගීතයේ හඬ එහා මෙහා වෙලා තමයි අපට ඇහෙන්නේ. තාත්තාගේ ලොකු කැමැත්තක් තිබුණා මම ගායන පැත්තෙන් ලොකු ගමනක් එයි කියලා. ඒත් එයා ජීවත්ව සිටියදී මට ඒ ආශාව ඉටු කර දෙන්න බැරි වුණා.


ඔබගේ බිරිඳත් ඔබට විශාල සහායක් ලබා දෙනවා නේද…?


ඔව්. මගේ බිරිඳ ලක්ෂ්මි සරෝජිණී රාජ්‍ය ආයතනයක රැකියාව කරනවා. මගෙයි දුවගෙයි මේ ප්‍රසංග ගැන ප්‍රචාරණ කටයුතු සඳහා ඇය ලොකු වෙහෙසක් ගන්නවා.


ඔබේ පුතා ගීත නොගයන්නේ ඇයි…?


මගේ පුතා සඳුන් මුතුකුමාරණට ඉතා හොඳින් ගයන්න පුළුවන් වුණත් එයා ගීත ගයන්නේ නැහැ. පුතා මේ ක්ෂේත්‍රයට කැමති නැහැ. ඉස්සර මම ප්‍රසංගවල ගීත ගයද්දි සමහර ප්‍රසංගවලින් මුදල් නොගෙවූ අවස්ථා තිබුණා. එවැනි අවස්ථාවක මගේ ඇස්වලින් වැටුණු කඳුළක් මගේ පුතාගේ මූණට වැටිලා තියෙනවා. ඒ ගැන මේ ළඟදිත් පුතා මතක් කළා. මං විඳපු දුක නිසා පුතාට සංගීත ක්ෂේත්‍රය එපා වුණා. එයා පෞද්ගලික ආයතනයක රැකියාව කරගෙන සතුටින් ඉන්නවා. සංගීතයට සම්බන්ධ නැහැ. නමුත් ඉදිරියේදී එයා මොනවා කරයි ද කියන්න බැහැ. මගේ පුතා සංගීත ක්ෂේත්‍රයට එනවාට මම නම් කැමතියි.


තුෂාරී කළුබෝවිල



Previous Post Next Post