මං තාම එහෙම බැඳීමකට ගිහින් නෑ- නවිදි රැපියෙල්



නවිදි රැපියෙල් කියන නම ඔබට නුහුරු වුණත් අමෝදිව නම් ඔබට හොඳට හුරුපුරුදු ඇති. දිල්ෂාන් අමරසිංහගේ සංසාරිණී ටෙලි නාට්‍යයේ අමෝදි හරහා ඔබ හමුවට එන නවිදි රංගනයට පිවිසෙන්නේ ප්‍රදීප් ධර්මදාසයේ දිව්‍යාදරී ටෙලි නිර්මාණයේ තුෂීගේ භූමිකාවෙනි. මේ ඇය හා රසඳුන කළ කතාබහකි.


ආදිත්‍යගේ මරණෙන් පස්සෙ ෂේන්ගේ ආදරය පිළිගත්ත අමෝදි මේ දවස්වල ෂේන් එක්කත් විරසක වෙලා නේද?


ඔව්. මේ දවස්වල පොඩි විරසකයක් තියෙනවා. ආදිත්‍යගෙයි අමෝදිගෙයි ආදරයට ප්‍රේක්ෂකයො ගොඩක් කැමැත්තෙන් හිටියා. ආදිත්‍යගේ මරණයට අමෝදිව සැක කරලා අත්අඩංගුවට ගත්තම ප්‍රේක්ෂකයන් අමෝදි දිහා බැලුවෙ අනුකම්පාවෙන්. අමෝදි කියන්නෙ කොහොමත් අහිංසක චරිතයක්. ඇමැන්ඩා එයාට ගැහුවත් එයා බලාගෙන ඉන්න ජාතියේ චරිතයක්. ඒ නිසාම අමෝදි – ෂේන් ආදරයටත් ප්‍රේක්ෂකයන් කැමැති වුණා. අමෝදි – ෂේන් එකතු වෙනවට ඔවුන් කැමැතියි කියලා ප්‍රතිචාර දක්වනවා.


“සංසාරිණී“ නවිදිට මොන වගේ අත්දැකීමක් වුණා ද?


අමෝදි ආදිත්‍යගෙ ගෙදරට එන්නේ ගෙදර වැඩකරන ලීලගෙ අක්කගෙ දුව විදිහට. ඔවුන් දෙන්නා පෙම්වතුන් වුණාට පස්සෙ නොයෙක් කරදරවලට මුහුණපාන්න සිදුවෙනවා. ඇමැන්ඩා තමයි දුෂ්ටකම් කරන්නේ. ඇමැන්ඩා අමෝදිගෙ බෙල්ල මිරිකන, ගහන තැන් තියෙනවා. ඒ වගේ තැන්වලදි ටනාශා අක්කා ගොඩක් සපෝට් කරනවා. ආදිත්‍යගේ ෆියුරනල් එක තිබුණ දවස් තමයි මට ලොකුම අත්දැකීම් ගෙනාවේ. දවස තිස්සෙම අඬන්න වුණු අවස්ථා තිබුණා. ආදිත්‍යගෙ මරණෙට අමෝදිව අහුකරලා අතට මාංචු දාපු අවස්ථාවත් අමතක වෙන්නෙ නෑ. මේ හැමදේම එක්ක සංසාරිණී මට අත්දැකීම් සමුදායක් එක්කළා.


“සංසාරිණී“ සඳහා ඔබට ආරාධනා ලැබෙන්නෙ කොහොමද?


සංසාරිණී අධ්‍යක්ෂ දිල්ෂාන් අමරසිංහ අයියා තමයි මට ආරාධනා කළේ. සංසාරිණී පවුලටම මං හරි කැමැතියි. හරිම සපෝටිව්. දිල්ෂාන් අයිය ගැනත් කියන්නම ඕන. ඔහු චැලේන්ජ්වලට හරිම කැමැතියි.


ඔබ රංගනයට පිවිසෙන්නේ දිව්‍යාදරී ටෙලි නිර්මාණයෙන්. ඒක අහම්බෙන් සිදුවන්නක්?


ඇත්තටම ඔව්. මං අවුරුදු 6 විතර ඉඳන් රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ඒත් රංගනයට එන්න ඕන කියලා නම් කිසිම අදහසක් තිබුණේ නෑ. මගේ මල්ලි විහඟ රැපියෙල් දිව්‍යාදරී එකේ රඟපානවා. ඒකේ තුෂීගේ චරිතයට ඕන වෙලා තිබුණේ පීනන්න පුළුවන් ගෑනු ළමයෙක්. මල්ලි මගෙන් ඇහුවා කැමැති ද කියලා. මටත් නිකං ට්‍රයි කරලා බලන්න හිතුණා. ඔඩිෂන් ගිහින් තේරුණාට පස්සේ මටත් රඟපාන්න ආස හිතුණා. ඒක විලන් කැරැක්ටර් එකක්. ප්‍රදීප් ධර්මදාස කියන්නෙ හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අධ්‍යක්ෂවරයකු සතු සියලු ගුණාංග ඔහු තුළ තිබුණා. ආසාවෙන් පටන් ගෙන ආසාවෙන් කළා. අමෝදිට වගේම තුෂීටත් අදටත් ආදරේ කරන පිරිසක් ඉන්නවා.


“දිව්‍යාදරී“ කියන්නෙ යෞවනයට කතා කරන ටෙලි නිර්මාණයක්. ඔබේ මුල්ම අත්දැකීම අපහසුවක් වෙන්න නැතුව ඇති?


මගේ වටේ හිටිය හැමෝම වගේ මගේ වයසට ගැළපෙන අය වුණ නිසා හරිම නිදහසක් දැනුණා. මගේ පළවෙනි රංගන අත්දැකීම කියලා පොඩ්ඩක්වත් බය හිතුණෙ නෑ. අපි කතාබහ කරලා හරිම නිදහසේ වැඩ කළා. ඒ වගේම ප්‍රදීප් අයියගෙන් ලැබුණු සහයෝගය ගොඩක් වටිනවා. අද මං මේ තැන ඉන්නෙ ඔහු නිසා.


“පරපුරු පෙම“ නවිදිට වෙනස්ම අත්දැකීමක් නේද?


ඔව්. මොනරා ටීවී එකේ විකාශය වන මිහිර සිරිතිලකගේ පරපුරු පෙම වෙනස්ම අත්දැකීමක්. මිහිර අයියා ඔඩිෂන් එකේදී මුලින්ම ඇහුවේ ගහගන්න පුළුවන් ද කියලා. ගෙදරදිත් මල්ලිගෙන් ගුටි කෑවොත් මිසක් මට ගහගන්න බෑ. සඳුඡායා කියන්නෙ කාටවත්ම බය නැති කරාතේ ගහගන්න කොල්ලෙක් වගේ චරිතයක්.


රංගන ජීවිතේ අමතක නොවන අත්දැකීම් ඇති?


මං තාම මේ ක්ෂේත්‍රයට අලුත්. ඒත් සංසාරිණී කියන්නෙ මට ලැබුණු ලොකු අවස්ථාවක්. ඒකෙ එක ජවනිකාවක ගීත්මා, සාරංග, විදුරවි සහ මම පික්නික් එකක් ගිහින් කෑම්ප් එකක සීන් එකක් කරන්න තිබුණා. ගලාගෙන යන වතුරෙ ගලක් උඩ වාඩි වෙලා ඉන්න සීන් එකක් එදා මට තිබුණේ. දිල්ෂාන් අයිය ඇහුවා කරන්න පුළුවන් ද කියලා. මාත් කැමැති වුණා. ෂොට් එකත් හරි ලස්සනට අරගෙන නැඟිටල එන්න හදද්දි මං ලිස්සන වතුරට වැටිල ගහගෙන යන්න ගියා. සෙට් එකේ අයිය කෙනෙක් තමයි අල්ල ගත්තේ. ඒ වගේම ආදිත්‍යගේ මරණෙට අමෝදිව අත්අඩංගුවට ගනිපු වෙලාවෙ මාංචු දැම්ම සීන් එකත් අමතක වෙන්නෙ නෑ.


නවිදිගෙ පවුලෙ තොරතුරු ටිකකුත් කියමු?


මං පදිංචි වෙලා ඉන්නේ කොළොන්නාවේ. මං අධ්‍යාපනය හැදෑරුවේ ජාත්‍යන්තර පාසලක. සාමාන්‍ය පෙළ දක්වා නර්තනය කළා. ඊට පස්සේ නාට්‍ය හා රංග කලාව විෂයයක් හැටියට කළා. ඊට අමතරව පිහිනුම් සහ නෙට්බෝල් කළා. පාසල් වේදිකාව මට නුහුරු නෑ. මේ වෙද්දි මං ව්‍යාපාර කළමනාකරණය හදාරන දෙවැනි වසරේ සිසුවියක්. මට ඉන්නෙ අම්මා, තාත්තා, මල්ලි වගේම ආච්චි, සීයා. මං වැඩිපුරම ආදරේ සීයාට. ඒත් එයා දැන් ජීවතුන් අතර නැහැ. මගෙ තාත්තා සංගීතය කරන කෙනෙක්. අපේ ගෙදර තියෙන්නෙත් සංගීතමය පරිසරයක් නිසා මාත් ගොඩක් කැමැතියි සංගීතයට. ගිටාර් එකයි මායි තමයි ගොඩක් දුරට කාමරේට වෙලා ඉන්නේ.


නවිදි ආදරවන්තියක් ද කියල ඇහුවොත්?


ඇත්තම කිව්වොත් මං තාම කවදාවත් එහෙම බැඳිමකට ගිහින් නෑ. මං සාමාන්‍යයෙන් වැඩිය එළියට යන්නෙ නැති යාළුවොත් ගොඩක් නැති තනියෙන් ඉන්න චරිතයක්. පිරිමි ළමයි එක්ක කතාබහ කරලා නෑ කිව්වොත් ඒක බොරුවක්. ඒත් තාම ආදරයක් දක්වා ගිහින් නැහැ. ඉදිරියේදි මාත් ආදරය කරාවි.


 නාමලී ගමගේ



Previous Post Next Post