පවුල් ජීවිතේ ලස්සන වෙලා තියෙන්නේ බිරිඳගේ උදව්වෙන්- ගාමින්ද පියවිරාජ්




ගාමින්ද පියවිරාජ්. මේ නම වගේම පොඩි මල්ලි කියූ සැණින් නොදන්න කෙනෙක් නැහැ. හාස්‍ය එක්ක ජනතාවට කිට්ටු වූ ගාමින්ද කලාව එක්ක බොහෝ වැඩකටයුතු කරන කලාකරුවෙක්. ඒ නිසා ඔහුත් එක්ක ඔහු හා පවුල ගැන කතා කරන්න මේ විදිහට ඔහුව රසඳුන අතරට රැගෙන ආවා. මේ කතාබහ ඔහු ගැනයි


ගාමින්ද කොහොමද ජීවිතේ.?


වැඩකටයුතු එක්ක ජීවිතේ සතුටින් ගෙවිලා යනවා.


සුනෙත් එක්ක එකතු වෙලා නිර්මාණය කරන චිත්‍රපටයේ වැඩකටයුතු තවම අවසන් නැද්ද ..?


අලුත් නිර්මාණ කරන්න තවම අවධානයක් ගත්තේ නැහැ. චිත්‍රපටයේ වැඩකටයුතු කරගෙන යනවා. තව මාසෙකින් විතර එහි වැඩ අවසන් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ලංකාවේ ගොඩක් චිත්‍රපට විකාශයට ලයින් අප් වෙලා තියෙන නිසා අපේ චිත්‍රපටය විදෙස් රටවල මුලින්ම තිරගත කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. තවම චිත්‍රපටයට නමක් දාලා නැහැ ,


විදෙස් රටවල මුලින්ම චිත්‍රපටය තිරගත කරන්න තීරණය කළේ මුල්‍යමය පදනමෙන්ද..?  


බොහෝ රටවල්වල චිත්‍රපටයක් කරලා එය ලෝකය පුරා විකාශය කරනවා, අපේ රටේ තමයි එහෙම දෙයක් නොවෙන්නේ. අපි හිතුවා අපේ ෆෑන් බේස් එක ඕස්ට්‍රේලියාවේ ටිකක් වැඩියි. ඒ නිසා මුල්ම දර්ශනය ඕස්ට්‍රේලියාවේ තිරගත කරන්න. මුදල් හම්බ කරන්න තමයි කවුරුත් දේවල් කරන්නෙ . වියදම් කරපු මුදල් හොයන්නත් ඕනනේ. ලංකාවේ චිත්‍රපට පෝලිමේ ඉන්න වෙන නිසා මුලින්ම ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක පෙන්නන්න හිතුවා.


චූටි මල්ලි, පොඩි මල්ලී අනුකරණය කළ බොහෝ දෙනෙක් යූටියුබ් චැනල් කරගෙන යද්දී අලුත් දේවල් එක්ක එළියට නොඑන්නේ ඇයි?


අලුත් දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපිව අනුකරණය කළා කියන්න බැහැ. නමුත් ආකෘතිය එක වගේ. කොහොම නමුත් අපි කරපු වැඩ සටහන බොහෝ අය ෆලෝ කළා. ඒක ට්‍රෙන්ඩ් එකක් වුණා. හරි සතුටුයි තව අය එය වෙනස් විදිහට කරන්න උත්සාහ කිරීම ගැන. අපි එහි වරදක් දකින්නේ නැහැ, තවමත් අපි කරපු වැඩසටහන් බොහෝ අයට මතක තියෙනවා. ඒක තමයි සාර්ථකත්වය කියන්නේ. ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම වෙනස් දේවල් එක්ක යළිත් දකින්න ලැබෙයි.


සීරියස් කතාබහ ඇතුළේ සියුම් විදිහට විහිළුව ගෙනියන්න අදහස් කොහෙන්ද එකතු කර ගන්නෙ..?


සමාජයෙන් දකින අහන දේවල් එක්ක තමයි අලුත් අදහස් ගොඩනැ­‍ෙඟන්නේ. අවුරුදු ගණනාවක් තිස්සේ ඇති කරගත් පළපුරුද්ද නිසා වෙන්න ඇති සීරියස් කතාබහක් වුණත් එය හාස්‍යජනක දෙයක් හැටියට නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැම දෙයක්ම හාස්‍ය උත්පාදනය පැත්තට හරවන්න හුරුවක් ඇති වෙලා. සමාජයෙන් දිනපතා ඇහෙන විවිධ කතා එක්ක තමයි අපි හාස්‍ය නිර්මාණ සමාජයට එකතු කරන්නේ කියන්න පුළුවන්.


බිරිඳ එක්ක කාලය ගතකරනවාටත් වඩා ඔබ චූටි මල්ලි වූ සුනෙත් එක්ක කාලය ගතකරනවා කිව්වොත් හරි නේද ..?


සුනෙත් හා මම දිනපතා මුණ ගැහෙන දෙන්නෙක්. බොහෝ දුරට දෙන්නා එකට වැඩවලට සම්බන්ධ වෙනවා වැඩියි. ඒනිසා අපි නිතරම මුණගැගෙනවා. අපේ හිතවත්කමට දැන් අවුරුදු 25ක් වෙනවා. ගෙදර බිරිඳ දරුවා එක්ක වැඩිපුර කාලයක් ඉන්නවට වඩා සුනෙත් එක්ක නිර්මාණවලට සම්බන්ධ වෙන කාලේ වැඩියි


අවුරුදු 25ක බැදීම් ඇතුළේ ඇත්තටම තරහාවීම් නැද්ද?


ඔය දෙන්නා තරහා වෙලා නැද්ද කියලා අපෙන් බොහෝ දෙනෙක් අහනවා, ඇත්තටම තරහා වෙලා රණ්ඩු කරගෙන වාද කරගෙන නැහැ කවදාවත්. එහෙම වුණා නම් අපි අවුරුදු 25ක් තිස්සේ මේ විදිහට එකට දකින එකක් නැහැ. දැන් වෙන් වෙලා බොහෝකල්. එහෙම නැති නිසයි අපි තවම එකට වැඩ කරන්නේ. අපි අතර හොඳ අවබෝධයක් තියෙනවා.


මාධ්‍යට සම්බන්ධ වෙලා දශක දෙකකට වැඩියි. තවම කාර්‍යබහුල ජීවිතෙන් මිදිලා නැද්ද?


ඒ කාලේ වගේම තවම කාර්‍යබහුලයි. අඩු තරමින් මටයි සුනෙත්ටයි උත්සවයක ආරාධිත අමුත්තෝ විදිහට සම්බන්ධ වෙන්න හෝ ආරාධනා ලැබෙනවා. වෙළෙඳ දැන්වීම් වැඩ වලටත් සම්බන්ධ වෙනවා. නිර්මාණ එක්ක තමයි දවස ගෙවෙන්නේ.


ඔය කාර්‍යබහුල ජීවිතේ එක්ක කොහොමද කුටුම්බය රැක ගන්න මහන්සි වෙන්නෙ..?


මගේ බිරිඳ ශ්‍යනි අබේරත්න. එයා අපේ කම්පැනි එකේ අධ්‍යක්ෂකවරියක් විදිහට වැඩ කරනවා. දුව අකී පියවිරාජ්. එයාගේ වයස අවුරුදු 16යි. පාසල් යනවා. අපිට ඉන්නේ දුව විතරයි. ගෙදර සියල්ල එදා ඉඳලා අද වෙනකල් බලලා කරන්නේ මගේ බිරිඳ. එයා තමයි දුවව පාසල් වගේම අමතර පංති එක්කගෙන යන්නෙ එන්නෙත්. මම මට පුළුවන් හැම වෙලාවකම උදව් කරනවා. බිරිඳ ගේ උදව්වෙන් තමයි පවුල් ජීවිතේ ලස්සන වෙලා තියෙන්නේ.


ගාමින්ද ඔබ කලාකරුවෙක් වීම ගැන ඔබේ දුව සතුටු වෙනවද..?


දුව සමාජය ලෝකේ ගැන හොඳ දැනුමක් තියෙන දරුවෙක්. මගේ නිර්මාණ ගැන එයා සතුටු වෙනවා. සමහර වෙලාවට ඒ නිර්මාණ ගැන මාත් එක්ක කතාබහ කරලා තියෙනවා. ඒ වගේම දුවත් කලාවට ලැදි හා දක්ෂ දරුවෙක්. සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගවලින් ඉංග්‍රීසි අංශයේ හොඳම නිළිය වුණා දුවට සිංදු කියන්න පුළුවන්. මම චිත්‍රපට නරඹද්දි දුවත් මාත් එක්ක බලනවා. සිනමාව රසවිඳිනවා. එයා සිනමා රසිකාවියක්.


අකී හා සුනෙත්ගේ දරුවන් ඔබ හා සුනෙත් වගේ සමිප ඇසුරක්ද තියෙන්නේ ..?


ඔව්. සුනෙත්ට ඉන්නේ දුවයි පුතයි. දෙන්නම අපේ දුව එක්ක යාළුයි නමුත් දැන් ඉස්සර තරම් නිතරම මුණගැහෙන්නේ නැහැ. නමුත් හදිසි අවස්ථාවක දුවව නතර කරලා ගමනක් බිමනක් යන්න වුණොත් අපි දුවව සුනෙත්ගේ ගෙදර තියලා යන්නේ. අපි දෙන්නා වගේම දරුවොත් හිතවත්.


ඔබේ ජීවන සහකාරිය ඔබ මුලින්ම දකින්නේ පාසල් කාලේ. විවාහයෙන් පස්සේ කාර්‍යබහුල වෙද්දී කලාකරුවෙකුගේ බිරිඳක් වීම ගැන ඇය දොස් කියලා නැද්ද ..?


ශ්‍යනි හා මම කතාබහ කරන්න පටන් ගන්නේ පාසල් කාලේ. මම කොළඹ ආනන්දේ. එයා කොළඹ බාලිකාවක ඉගෙන ගත්තේ. පාසල් අධ්‍යාපන අවසන් වෙලා තමයි පෙම්වතුන් වෙන්නේ. විවාහ වෙන්නෙ 2005 දි. අපි නොදන්න ලයිව් කළේ 2002 දී. අපි ජනප්‍රිය වෙන්න කලින් තමයි ආශ්‍රය කරන්නේ. ඒ නිසා අපි සමාජය එක්ක ගැටෙන්න ඕන වගේම මේක ජොබ් එක කියලා එයා තේරුම් අරන් ඉන්නේ. වැඩවලට ගියාට පස්සේ ඉවර වෙන වෙලාවක් කියන්න බැහැ. ගෙදර යද්දී රෑ වෙනවා. අපි කරන්නේ අට පහ රස්සවක් නෙමෙයි. මේ ගැන අවබෝධයක් ඇයට තියෙනවා. ඒ නිසා ප්‍රශ්න අඩුයි. ලොකුවට චෝදනාත් නැහැ.


ඔබ ව්‍යුහගත ප්‍රශ්න විසඳීම් ගැන ඉගැන්වීම් කටයුතු කරන බව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ නේද? ඒ ගැනත් කියලම අපි කතාබහ අවසන් කරමු..?


මමයි සුනෙත් අපි දෙන්නා 5s හෙවත් ව්‍යුහගත ප්‍රශ්න සංකල්පය ගැන වැඩිදුර ඉගෙන ගෙන ඒ පිළිබද ආචාර්යවරුන් හැටියට කටයුතු කරනවා. ආයතන වශයෙන් අපි සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධව වැඩ කරන්න පටන් අරගෙන දැන් අවුරුදු හතක් වෙනවා. මේ සම්බන්ධව ලෝක මට්ටමින් හොඳ පිළිගැනීමක් හා ඉගැන්වීම් තිබුණට ලංකාවේ පාවිච්චි වෙනවා අඩුයි. දැන් ටිකක් ප්‍රචලිත වෙමින් තියෙනවා. ඒ ගැන බොහෝ දෙනෙක් හොයනවා. අපිත් අපිට පුළුවන් උපරිමයෙන් ඒ සම්බන්ධ ව වැඩ කරනවා.



Previous Post Next Post