ඒ දවස් දහය ඇතුළත අපි හතර පාරක් හමුවුණා - සඳුනි නදීශානී




මේ දිනවල සියත නාළිකාවේ විකාශය වන සංසාරේ ටෙලි නිර්මාණය ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලි නිර්මාණයකි. එහි ජෙනීටාගේ චරිතයෙන් ඔබ හමුවට එන ඇය ලංවී ටෙලි නිර්මාණයේ චමරී ලෙසින් ද ඔබ හමුවූවා මතක ඇති. ඉස්කෝලේ ටෙලි නිර්මාණයේ තේමා ගීතය සඳහා පැවැති තරගයේ Best Concept ලෙස ලද ජයග්‍රහණය තම දිවියේ හැරවුම් ලක්ෂ්‍යය කරගත් ඇය නර්තනයේ ද උපන් හපන්කම් ඇත්තියකි. ගඟන පියවර, ලංවී, අයිස් ලන්තය, සංසාරේ මෙන්ම මේ දිනවල වේදිකාගත වන පවුර වේදිකා නිර්මාණයේ නීතියේ දෙවඟන ලෙස ද ඔබ හමුවට එන ඇය සඳුනී නදීශානීය.


මේ දිනවල ඔබ ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වන්නේ සංසාරේ ටෙලි නිර්මාණයේ ජෙනීටා නිසා. කොහොමද ඒ අත්දැකීම?


සියත නාළිකාවේ විකාශය වන සංසාරේ ටෙලි නිර්මාණයේ ජෙනීටාගේ චරිතය ගොඩක්ම ප්‍රේක්ෂකයන් අතරට ගියා. සංසාරේ ලක්ෂ්මන් පුෂ්පකුමාර සහ නිපුණ වල්පිටගමගේ සම අධ්‍යක්ෂණයෙන් විකාශය වන ටෙලි නිර්මාණයක්. මුඛරිකම නිසා ජෙනීටාට කැමතියි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ගොඩක් දෙනෙක් කියනවා ඔයා හොඳට ඒ චරිතය කරනවා. හරිම කටකාරයි නේද කියලා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක හරිම සතුටුයි.


ලංවී ටෙලි නිර්මාණයේ චමරී කියන්නෙත් සඳුනිට අලුත්ම අත්දැකීමක් නේද?


දිල්ශාන් අමරසිංහගේ ලංවී ටෙලි නිර්මාණයේ චමරිගේ චරිතයටත් ගොඩක් අය කැමැතියි. චමරී කියන්නේ පොලිස් කාන්තාවක්. ටෙලි නාට්‍ය අවසන් වෙලත් අදටත් චමරීට ප්‍රතිචාර ලැබෙන අවස්ථා තියෙනවා. පහුගිය දවසක මම සීනිගම ගියා. එතැනදි කිහිප දෙනෙක්ම මාව අඳුනගෙන ඔයා නේද චමරී කියලා ඇවිත් කතා කළා. ගොඩක් දුරට මට ලැබුණෙ කටකාර චරිත. ඔයාට ගැළපෙන්නෙ ඒ වගේ චරිත කියල කියන අයත් ඉන්නවා.


සඳුනිගේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන සඳහන් කළොත්?


පොළොන්නරුව, ඇළහැර, බකමූණ කියන ඈත ගමක ඉපදිලා ගොඩක් දුක් විඳලා තමයි මං මෙතැනට ආවේ. පුංචි කාලෙ ඉඳන්ම මට නර්තන හැකියාව තිබුණා. ඩාන්සින්, ඩ්‍රාමා දෙක ඒ කාලෙ ඉඳන්ම ඉගෙන ගත්තා. ඩාන්සින්වලට තමයි ගොඩක්ම දක්ෂ. ගමේ සංස්කෘතික මධ්‍යස්ථාන හරහා ළමයින්ට නැටුම් පුහුණු කළා. ඊට පස්සේ ලාලිත්‍යා කියල මගේම කලායතනයක් පිහිටුවගෙන ඒ හරහා ළමයින්ට නර්තනය ඉගැන්නුවා. ඔය අතරේ තමයි දෙරණ නාළිකාවෙන් ඉස්කෝලේ ටෙලි නාට්‍ය තේමා ගීතය සඳහා ඩාන්සින් කම්පෙටිෂන් එකක් තිබුණේ. ඒකට ඉදිරිපත් වෙලා ඒකෙන් Best Concept වුණා. එතැන තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. එතැනින් තමයි මම මෝටිවේට් වුණේ. ඒ වෙද්දිත් මං විවාහ වෙලා දෙදරු මවක්. ජයග්‍රහණය හරහා ලැබුණු මෝට්වේෂන් එකක් එක්ක මං පවුලත් අරන් කොළඹට ඇවිත් දරුවන්ව කොළඹ ඉස්කෝලවලට දාලා ගොඩක් දුෂ්කර දිවියක් ගත කළා. ඊටත් පස්සෙ තමයි රංගනයට සම්බන්ධ වුණේ.


මුලින්ම සම්බන්ධ වුණේ චමිල් පතිරණගේ කලම්බු ඩ්‍රාමා එකට. ඒකෙ සහාය අධ්‍යක්ෂණය කළේ අසිත රාජපක්ෂ. ඒ මගේ පළවෙනි නිර්මාණයේ අධ්‍යක්ෂ සහ සහාය අධ්‍යක්ෂ. ඒ දෙන්නා මට විශේෂ මගේ පළමුවැනි මියුසික් වීඩියෝව කළෙත් ඒ දෙන්නා නිසා. කලම්බු ටෙලි ඩ්‍රාමා එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ වෙළෙඳ දැන්වීමක් හරහා හඳුනගත්ත දිල්රුක්ෂි අක්කා හරහා. ඊට පස්සේ ගඟන පියවරට සම්බන්ධ වෙන්නේ දෙවැනි ෂෙඩියුල් එකේ ඉඳන්. ලංවී ටෙලි නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ මගේ ෆේස්බුක් ප්‍රොපයිල් එක හරහා. ඒ අතරේ මං යූටියුබ් එකට කළ ඩ්‍රාමා එකේ රොසලින් කියන කැරැක්ටර් එකත් ගොඩක් ජනප්‍රිය වුණා. මේ දවස්වල සංසාරේ ජෙනීටා ගැන තමයි කතා වෙන්නේ.


රංගනයටත් වඩා නර්තනය සඳුනිගේ ජීවිතේ ලොකු පෙරළියක් කළ ක්ෂේත්‍රයක් නේද?


මං පුංචි කාලෙ ඉඳන්ම ගොඩක්ම දක්ෂ වුණේ නර්තනයට. ඉස්කෝලේ තේමා ගීතය සඳහා පැවැති නර්තන තරගයෙන් ලැබුණු ජයග්‍රහණය තව තවත් මාව ඉදිරියටම තල්ලු කළා කිව්වත් හරි. 2023 දී ඉන්දියාවේ පැවැති නර්තන සංස්කෘතික හුවමාරු තරගයෙන් නෘත්‍ය ප්‍රවීණ කියන ගෞරව නාමය පිරිනැමුවා. ඒ වගේම පහුගියදා BMICHහිදී ලැබුණේ මං මෙතෙක් ආව දුෂ්කර ගමන ගැන සලකා පිරිනමනු ලැබූ රංග ශිරෝමී රත්න ප්‍රසාදිනී ජාතික අභිමානී කියන ගෞරව සම්මානය. දෙව් සඳ සංස්කෘතික පදනම මඟින් විවිධ ක්ෂේත්‍රයන් සලකා පිරිනමනු ලබන ඒ සම්මානය මට ලැබුණේ රංගනය සහ නර්තනය කියන අංශ සඳහා.


ඔබ විවාහකයි. ඒ හමුවීමෙත් රසමුසු තැන් ඇති?


ඔව් මං විවාහකයි. මට දුවල දෙන්නෙක් ඉන්නවා. ඔහු මට හමුවෙන්නේ බස් එකකදි. ඒකත් රසවත් කතාවක්. පළවෙනි දවසෙ හමුවීමේදී ලැබුණු ෆෝන් නම්බර් එක මං බෑග් එකට දාගත්තා. ඒත් මං කෝල් කරන්න ගියේ නෑ. ඊට මාස ගාණකට පස්සේ දවසක මගේ යාළුවා එයාගෙ ඇඳුමට මැච් වෙනවා කියලා මගෙන් ඒ බෑග් එක ඉල්ල ගත්තා. ඒ දවස්වල යාළුවගේ ෆෝන් එක කැඩිලා එයත් එයාගේ පෙම්වතාට කතා කළේ මගේ ෆෝන් එකෙන්. ඒ අතරේ බෑග් එකේ තිබිලා මගේ යාළුවට අර නම්බර් එක හමුවෙලා නිකන් මිස් කෝල් එකක් දාලා. ඔහු හිතලා තියෙන්නේ මං තමයි ගන්න ඇත්තෙ කියලා කෝල් බැක් කරලා. එයා ආමි එකේ. එහෙම තමයි කතාබහ පටන් ගත්තේ. නිවාඩුවට ආපු වෙලාවෙ අපි හමුවුණා. ඒ දවස් දහය ඇතුළත අපි හතර පාරක් හමුවුණා. ඒ හමුවීම අන්තිමට අපිව ඉක්මන් විවාහයක් දක්වා අරන් ගියා.



Previous Post Next Post