මාව සම්පූර්ණ මනුස්සයෙක් කළේ මගේ බිරිඳ- රහල්




වසර ගණනාවක පෙර ‘සිතට හොරා මං ඔබේ වෙලා දැන්‘ කියලා කියූ රහල් අල්විස් කාලෙන් කාලෙට තමයි සංගීත ක්ෂේත්‍රය තුළ දකින්න ලැබෙන්නේ. කාලයක් නිහඬව ඉඳලා විවාහයත් එක්ක සමාජයේ කැපි පෙනුණු රහල් ආයෙමත් සංගීතයට විරාමයක් දීලා. ඒ මයික්‍රෆෝනය වෙනුවට කතුරක් අතට ගත් නිසා. කතුරේ කතාවත් පවුලෙන් ඈත්වීම ගැනත් රහල් මේ විදිහට කතා කරන්න රසඳුන එක්ක එකතු වුණා. මේ රහල් ගැනයි  


මයික්‍රෆෝනයක් අතට අරගෙන සින්දු කියපු රහල් දැන් මයික්‍රෆෝනය පැත්තකින් තියලා කතුරක් අතට අරගෙන කියලා ආරංචියි ..?


මයික්‍රෆෝනය මගේ අතට ආවෙත් බොහෝම අහම්බෙන්. ඒ වගේම තමයි කතුර මගේ අතට ආවෙත් අහම්බෙන්. දැනට මයික්‍රෆෝනය ටිකක් දුරින් තියලා කතුරෙන් වැඩ පෙන්නන්න හිතුවා. කතුර ළඟට ගත්තට මයික­්‍රෆෝනයත් ළඟින් තියා ගන්න තමයි මම උත්සාහ කරන්නේ.


ඔබේම ව්‍යාපාරයක් ඩුබායි වගේ රාජ්‍යයක පවත්වාගෙන යන්න හිතුවේ ඇයි..?


ඩුබායි කොතනද හිටියේ. අද කොහෙද ඉන්නේ. ඒ වගේම තව අවුරුදු විස්සකින් විතර කොයි තරම් දියුණු මට්ටමක ඉඳියිද කියලා මම තවත් රටවල් කිහිපයක් එක්ක සංසන්දනය කරලා බැලුවා. ඒකත් එක්ක මට හිතුණා ඩුබායිවල ව්‍යාපාරයක් පටන් ගන්න හොඳ තැනක් කියලා. මම සාධාරණව ඉපැයූ මුදල් ඉන්වෙස්ට් කරන්න හරි මාර්ගයක් කියලා හිතලා තමයි මම ඩුබායි තෝරාගෙන ව්‍යාපාරය පටන් ගත්තේ. අලුත් සැලුන් එක ඩුබායි ඕපන් කළේ මගේ මුදල් අපතේ යන්නේ නැහැ කියන ලොකු විශ්වාසයත් එක්කයි. ඒ වගේම මම හොඳ සේවාවක් ලබා දෙනවා. මේක ඇත්තටම අහියෝගයක්. මොකද රහල් කියන නමට හරි ලංකාවේ ජනතාව මගෙන් සේවය ලබා ගන්න එයි. ඒත් මෙහේ මාව දන්න අය නැති තරම්. නමුත් මට විශ්වාසයි මගේ සැලූන් එක හරි පොඩියට තිබ්බත් පිළිවෙළට හරියට සේවාව ලබා දෙන නිසා සාර්ථක වෙයි කියලා.


සැලූන් කරන්න තරම්ම ඒ පැත්තෙන් පළපුරුද්දක් ඇති කෙනෙක් ද ඔබ..?


මයික් එක අතට ගනිද්දි වගේම කතුර අතට ගනිද්දි මට පළපුරුද්ද තිබ්බේ නැහැ. ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි ගායනයයි, සැලුන් එකේ වැඩෙයි සාර්ථකව කර ගත්තේ. නමුත් අද මට යම්කිසි දැනුමක්, පළපුරුද්දක් තියෙනවා කොහොමද සැලූන් එකක් රන් කරන්නේ කියලා. මගේ සේවය මම කොහොමද මගේ ළඟට එන අයට දෙන්නෙ කියන එක යම් අවබෝධයක් තියෙන නිසා මම විශ්වාස කරනවා මට සාර්ථක වෙන්න පුළුවන් කියලා. අපි හැමෝම යම් කිසි දෙයක් ආරම්භ කරන්නේ පළපුරුද්ක් එක්ක නෙමෙයි. මේ දේත් එහෙමයි.


එහෙම නැත්තම් ජනප්‍රිය අය මොකක් හෝ ව්‍යාපාරයක් පටන් ගන්න නිසා ඔබත් යොමු වුණාද..?


ජනප්‍රිය අය කරන බිස්නස් මොනවද කියලා මම හොයන්න යන්නෙ නැහැ. මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ මම ජීවිතේ වැටුණු කාලයක් තිබුණා. ඒ වැටීම තුළින් මට නැඟිටින්න අත දුන්නේ කතුර. ඒ නිසා තමයි මම සැලූන් ව්‍යාපාරයක් විදිහට වැඩි දියුණු කරගත්තේ. කවුරුත් කරන නිසා නෙමෙයි.


රහල් ගායකයෙක් විදිහට නැවත දකින්න ලැබෙන්නේ නැද්ද..?


මයික් එක අතට ගත්ත මම ගායකයෙක් වෙන්නේ මගේ කැමැත්තට. සින්දු කියන්න කියලා කවුරුවත් මට මයික් එක අතට දුන්නෙ නැහැ. අවුරුදු දෙක තුනක් මම සම්පුර්ණයෙන්ම සංගීතය ඈත් කරලා තිබුණේ. රහල් අල්විස් කියන ගායකයා මම අමතක කළා. නමුත් ආයෙමත් ගීත කිව්වා. දැන් ටික දවසකට කලින් ආයෙමත් මම ගායක භූමිකාව ටිකක් පැත්තකින් තියලා ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. තව ටික කාලෙකින් ආයෙමත් මම සින්දු කියයි. ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වෙයි. එතකල් මගේ හඬින් ගීත ගැයෙන්නෙ නැහැ. ඒක තාවකාලික සමුගැන්මක් විතරයි.


දැන් ජීවත් වෙන්නෙ ඩුබායි ද..?


මම ලංකාවේ දවස් 15ක් හා ඩුබායි රාජ්‍යයේ දවස් 15ක් ජීවත් වෙනවා. දැනට එහෙම තමයි මගේ සැලසුම් සිදු වෙන්නේ. සම්පූර්ණයෙන් ඩුබායි නතර වෙන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.


රහල් අල්විස් කියන්නෙත් ජනප්‍රියත්වය කියන දෙයින් මමත්වයට පත් වෙලා ඉන්න කෙනෙක් ද..?


සමහර විට මාව දකින අය එක එක විදිහට දකිනවා, මම ඒක දන්නවා, නමුත් මාව ආශ්‍රය කරන අය මාව දන්නවා. මම සාමාන්‍ය විදිහට ඇඳලා බාටා සෙරෙප්පු දාලා ෂෝට් එකක් දාලා පාරේ යන්නෙ. සමහරු අහලා තියෙනවා මේ ඔයා රහල් අල්විස්මද කියලා. ඒ තරම් මම සාමාන්‍ය කෙනෙක්. මම රහල් අල්විස් කියන කැරැක්ටර් එක මේන්ටේන් කරන්නේ ප්‍රසංග වේදිකාවේ හෝ රූපවාහිනී වැඩසටහන්වලදි පමණයි. එතැනින් පස්සේ මම ගායකයාව අයින් කරලා ජීවත් වෙන කෙනෙක්, කොහෙත්ම මම ජනප්‍රියත්වයෙන් මමත්වයට පත් වුණු කෙනෙක් නෙමෙයි.


පවුලේ අයගෙන් ඈත් වෙලා වෙන රටක ජීවිතේ ගෙවන්න අසීරු ඇති..?


ජීවිතේ මම ලබපු අමිහිරිම අත්දැකීමක් තමයි පවුලෙන් ඈත් වෙලා ජීවත් වෙන එක. ඒක මගේ ජීවිතේ අසීරු දෙයක් වුණා. ඒත් මම ජීවිතේට අත්දැකීම් එකතු කර ගන්න කැමති මනුස්සයෙක්. ඒ නිසා අකමැත්තෙන් වුණත් මම මේ තීරණය ගත්තා. මගේ අම්මා, තාත්තා, බිරිඳ, දුව, මේ පවුල එක්ක මම නිතරම හිටපු කෙනෙක්. ඩුබායි එන්න තීරණය කළාට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න පහසු වුණේ නැහැ,


බිරිඳ කිව්වේ නැද්ද ඔය තීරණය ගන්න එපා කියලා ..?


එහෙම නම් කිව්වේ නැහැ. නමුත් මගේ බිරිඳට දෙවැනි දරුවා ඉපදෙන්න ඉන්න කොට තමයි මම ඇය ඉන්න තත්ත්වය ගැන නොහිතා මේ තීරණය ගත්තේ. එයා ළඟ මම ඉන්නම ඕන කාලේ මම ඩුබායි ආවා. සමහර දවස්වලට මගේ ඇස්වලට කඳුළු ඇවිත් තියෙනවා. එයාලගෙන් ඈත් වීම ගැන. මේක අමාරු කාලයක් වුණත් පවුලේ අයගේ සුභසිද්ධිය උදෙසා සියල්ල මම දරා ගත්තා.


දැන් ඉන්නේ දූවරුම දෙන්නෙක්. ලොකු වගකීමක් හැටියට දැනෙනවා ඇති..?


පුංචි දුවෙක් මට ආයෙමත් ලැබුණේ. ඒ මේ මාසේ 14 වෙනිදා. දුවලා දෙන්නෙකුගේ තාත්තා කෙනෙක් කියන්නේ හරි වාසනාවක්. මොකද මගේ ලොකු දුව රයිලි අල්විස්ගෙන් ලොකු දෙයක් දැක්කා. එයාගේ හුරතල් එක්ක ජීවිතේ හරි ලස්සනට ගෙවුණා. තාත්තා කෙනෙකුට දුවෙක් ඉන්නම ඕන. දැන් දුවලා දෙන්නෙකුට තාත්තා කෙනෙක්. දරුවන්ගේ හිනාව දකිද්දී හැම මහන්සියක්ම, පීඩනයක්ම නැති වෙනවා. මාව ආදරණීය තාත්තා කෙනෙක් කළේ දූවරු දෙන්නෙක්. මගේ බිරිඳ ට මම ස්තුතියි කියනවා මාව සම්පූර්ණ මනුස්සයෙක් කළාට පවුල තුළ. ඒක වගකීමක් හැටියට නොගෙන යුතුකම් හැටියට දැකලා පවුල් ජීවිතේ ගෙවනවා. හරියට ආදරෙන් මාව මගේ දෙමාපියන් හැදුවා වගේ.


බිරිඳ කිව්වේ නැද්ද ව්‍යාපාරයක් පටන් නොගෙන දන්න සංගීතය කරගෙන ඉන්න කියලා ..?


මට ලැබුණු බිරිඳ හොඳම බිරිඳක් කියලා කියන්න ඕන. ඇය සෙව්වන්දි ජයවීර. මේ ගමන යන්න ඇයගෙන් මට ලොකු හයියක් ලැබෙනවා. එහෙම කරන්න එපා මෙහෙම කරන්න. මේ විදිහට ජීවත් වෙන්න එහෙම කියලා නැහැ. එහෙම කිව්වා නම් ඒ හැලහැප්පීම් එක්ක තමයි ජීවිතේ ගෙවන්න වෙන්නේ. එහෙම ජීවිතයක් ගෙනියන්න අමාරුයි. නමුත් එයා තේරුම් ගත්ත දෙයක් තියෙනවා. ඒ තමයි මම මොනවා හරි කරන්න කියන්නේ යම්කිසි හොඳ දෙයක් නිසා කියලා. යම්කිසි දෙයක් කරන්න එපා කියන්නේ හේතුවක් උඩ කියලා. ඒ තේරුම් ගැනීම් එක්ක විශ්වාසයෙන් මේ ගමන යනවා. මට නීතිරීති දාන්නේත් නැහැ මම නීතිරීති දාන්නේත් නැහැ. හරි දේ තෝරා ගන්න දෙන්නටම අවබෝධයක් තියෙනවා. ඒ නිසා සතුටින් ජීවත් වෙනවා.


ඔබේ පළමු ගීතය තවම ජනප්‍රිය මට්ටමින් තියෙනවා, ඒ ගැනත් කියලම කතාබහට සමුදෙමු..?


‘සිතට හොරා මං‘ කියන්නේ මගේ මුල්ම ගීතය. ඒ ගීතය අදටත් ජනප්‍රියයි. මාව ආමන්ත්‍රණය කරන්නෙත් ‘සිතට හොරා කිව්ව රහල් අල්විස්‘ කියලා. මගේ නමත් එක්ක ඒ ගීතය නිතරම ගෑවිලා තියෙනවා, ඒ ගීතයට ලැබෙන ප්‍රතිචාර තව ගීත සීයක් කළත් ලැබෙන්නේ නැහැ කියලා මම දන්නවා. රසිකයෝ වයස් භේදයකින් තොරව ආදරේ කරන්නේ. සමහර ගීත තියෙනවා ටික කාලයක් ජනප්‍රිය වෙලා මතක නැතිව යන. මේ ගීතය එදා වගේම අදටත් ජනප්‍රියයි. ඒ ගීතයට දවස ගානේ රසිකයින් එකතු වෙනවා කියන්න පුළුවන්.


හර්ෂණී වීරරත්න



Previous Post Next Post