සජිත කියන්නෙ හරිම උත්සාහයෙන් වැඩ කරන කෙනෙක් - තිලක්ෂිණී රත්නායක




නෙරංජන් චන්ද්‍රාදිත්‍යගේ ‘රියැලිටි’ කෙටි නාට්‍ය හරහා කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඇය පුංචි තිරය මෙන්ම රිදී තිරය බබළවන මැණිකක් ලෙස ඔපමට්ටම් වී ඇතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඇයට හමුවූ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් මෙන්ම අගනා නිර්මාණ ඒ සඳහා දායක වූවායැයි සිතේ.


‘තණමල්විල කොල්ලෙක්, මාණික්කාවත, කොඩිගහයට, කූඹියෝ මෙන්ම නොනිමි’ ටෙලි නිර්මාණ අතර ඉහළින්ම වැජඹෙන අතර ඒවා සම්මානිත වූ අවස්ථා ගණනද බොහෝය. ඇගේ රංගනයෙන් රිදී තිරයේ දිගහැරුණු අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’, ප්‍රසන්න විතානගේගේ ‘උසාවිය නිහඬයි’, ලලිත් රත්නායකගේ ‘විෂමභාග’ ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා ගත් සිනමා නිර්මාණයන්ය. මේ දිනවල තිරගත වන චන්න දේශප්‍රියගේ ‘දුස්රා’ නැවත වරක් ඇය ගැන කතාබහට ලක් කිරීමට සමත් සිනමා නිර්මාණයක් ලෙස සඳහන් කළ හැකිය. අද අපේ කතාබහට එක්වන ඇය සිනමාව මෙන්ම පුංචි තිරය ද ඉහළින්ම ජයගත් තිලක්ෂිණී රත්නායකය.


මේ දිනවල සිනමාව තුළ වැඩිපුරම කතාබහට ලක් වන චරිතය ඔබ කිව්වත් හරි. ‘දුස්රා’ කියන්නෙ ඔබට වෙනස්ම අත්දැකීමක්. කොහොමද ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ?


‘දුස්රා’ කියන්නෙ චන්න දේශප්‍රියගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වගේම ඔහුගේ කුලුඳුල් සිනමා තිර පිටපත. ස්ක්‍රිප්ට් එක ලියලා ෆයිනල් වුණාටත් පස්සෙ තමයි චන්න අයියා මට රතී කියන චරිතයට ආරාධනා කළේ. චන්න දේශප්‍රිය කියන්නේ අවුරුදු තිස්ගාණක් තිස්සේ කැමරාකරණය හරහා සිනමාව එක්ක බද්ධ වුණු ජ්‍යෙෂ්ඨ චරිතයක්. මේ වෙද්දි ඔහු සිනමා නිර්මාණ 50කට විතර කැමරාකරණයෙන් එක් වෙලා සිනමාව ගැන බොහෝ අත්දැකීම් ලබල තියෙනවා. ඔහුගේ ඒ ආරාධනය මං හරිම සතුටින් භාරගත්තා.


‘දුස්රා’ වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් දුවන සිනමාපටයක්. ඒක ඔබට ගැටලුවක් නොවේද?


මෙහෙමයි, ලෝක සිනමාව ගත්තත් නෙට්ප්ලික්ස්, ප්‍රයිම් වගේ ‍දේවල කන්ටෙන්ට් එක ගත්තොත් ඒවලට රේටින් එකක් දානවනේ. 18+, 16+, හරි වයලන්ස් කන්ටෙන්ට් ඒ වගේ. එහෙම ස්ටේට්මන්ට් එකක් දාන්නෙ එයාල ඉලක්ක කරන ඕඩියන්ස් එක ගන්න. ළමුන්ට වඩාත් සුදුසුයි, 18ට වැඩි අයට වඩාත් සුදුසුයි මේ වගේ ටැග් ලයින් එකක් දාන්නෙ සාමාන්‍යයෙන් අපි ප්‍රමුඛ කරගන්න ප්‍රේක්ෂකාගාරය දැනුම්වත් කරන්න. චිත්‍රපටයෙන් කතා කරන තේමාව ගත්තොත් වැඩිහිටියන්ගේ ආදර සම්බන්ධතා වෙන්න පුළුවන්. එයාලගෙ පළිගැනීමක්, ද්වේශයක්, අපයෝජනයක්, අපහරණයක් එහෙම නැත්නම් වෛරී සහගත ක්‍රියාදාමයක් වුණොත් ඒක ළමුන්ට නරඹන්න අපහසුයි. ළමා මානසිකත්වයට ඒක බලපෑමක් වෙනවා. ඒ වගේ තැනකදි තමයි 18+ කැටගරි එකෙන් එන්නේ. මං කලින් සම්බන්ධ වුණු ‘විෂමභාග’ විශේෂයෙන්ම ළමුන් වෙනුවෙන්ම නිර්මාණය වුණු සිනමාපටයක්. නමුත් ඒක වැඩිහිටියන්ට බලන්නත් පුළුවන්. ඒ වගේ කතාවේ ස්වාභාවය අනුව අදාළ ඕඩියන්ස් එකට දැනුම්දෙන්න තමයි ඒ වගේ ටැග් ලයින් එකක් පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒක මට ගැටලුවක් නෙවෙයි.


සමහර අවස්ථාවල මෙහි ඔබට අඩ නිරුවත් දර්ශනවලට මුහුණ දෙන්න වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?


මං ඒක දකින්නෙ මෙහෙමයි. රංගන ශිල්පිනියක් විදිහට මගේ කාර්ය මනුෂ්‍යයා නිරූපණය කරන එක. කතාව අනුව ඒ ඒ තැනට අනුව ගැළපෙන ඇඳුම අඳින්න වෙනවා. ඒ වගේම ඒ චරිතයට අදාළ දේ කරන එක රංගන ශිල්පිනියගේ හෝ ශිල්පියාගේ වගකීම. ගොඩක් දුරට ඕක අහන්නෙ කාන්තා පාර්ශ්වයෙන් විතරයිනේ. පිරිමි එහෙම හිටියට ඔවුන්ගෙන් කවුරුත් ප්‍රශ්න කරන්නෑ. එතැනයි ගැටලුව තියෙන්නේ. මං ඔය ප්‍රශ්නෙ දිහා බලන්නෙ එතැන ඉඳන්.


මං මේ චරිතය කරන්නේ මෙන්න මේ සීමාවේ ඉඳන්. සමහරු එහෙම වාරණ දාගන්නවා. ඔබත් එහෙම චරිතවලට වාරණ දාගන්නව ද?


ඇත්තටම මං චරිත ඇතුළෙ නම් වාරණ දාගන්නෙ නැහැ. මං වාරණ දාගන්නෙ ප්‍රඩක්ෂන්. එක ඇතුළේ. ඒ ප්‍රඩක්ෂන් එක භාරගනිද්දී. චරිතය මොකක්ද? පිටපත මොකක්ද? කියන එකට කලින් මම බලන්නෙ කවුද මට මේ වැඩේට කතාකරන්නෙ කියලා. චරිතෙ කොතරම් හොඳ වුණත් නිර්මාණය කොතරම් හොඳ වුණත් අපිට වැඩකරන්න බැරි කට්ටියක් නම් ඉන්නෙ වැඩ කරන්න අමාරුයි. ඒ නිසා මං මුලින්ම බලන්නෙ ඉන්න පිරිස කවුද කියලා. එයාල එක්ක මට වැඩකරන්න බැරි නම් මං ඒ වැඩේ භාරගන්නෙ නෑ. චරිතයයි, කතාවයි මට ගැළපෙන්නෙ නැත්නම්, මට ඒක කරන්න බැරිනම් මම වාරණ දාගෙන ඒක කරන්න යන්නෙත් නෑ. මං බෑ කියනවා. මට කරන්න පුළුවන් නම් විතරයි මං භාරගන්නේ.


නිර්මාණය තුළ රතීට වයස් කාණ්ඩ කිහිපයක් එක්ක ගැටෙන්න වෙනවා. වෙලාවකට ඇය ඉන්නේ ළමයින්ගේ ලෝකයේ?


ඔව්. රතී තරුණියක් වුණත් ඒ පළාතේ ඇගේ වයසට ගැළපෙන පිරිස අඩුයි. අනිල් විතරයි සම වයසේ ඉන්න එකම කෙනා. අනෙක් අය වයසින් අඩු අය. ඒ නිසා රතී පොඩි අය එක්ක ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඔවුන් එක්ක තමයි ඇයට ගැටෙන්න වෙන්නේ. රතී එකම සීමාවක කොටු කරපු චරිතයක් නෙවෙයි.


කොහොමද රතීට ලැබෙන ප්‍රතිචාර?


ගොඩක් සතුටුදායකයි. නරඹපු හැම දෙනාම වගේ ෆිල්ම් එකට කැමතියි. ගොඩක් අය රතී කියන චරිතයට කැමැතියි. ගොඩක් අය කියනවා ඔයා ඒ චරිතය හොඳින් නිරූපණය කරනවා කියලා. දැනට ලැබෙන ප්‍රතිචාර හොඳටම හොඳයි. තවම කවුරුත් බෑඩ් කමෙන්ට්ස් නම් දුන්නෙ නෑ. කවුරුත් රසවිඳින්න බෑ කියල තිබුණෙත් නෑ. චිත්‍රපටයක් හරි ටෙලි නාට්‍යයක් හරි හැමවිටම අපට අත්දැකීම් එකතු කරනවා. ඒ හරහා තමයි රංගන ශිල්පීන් විදිහට අපි පරිණත වෙන්නේ. හැම නිර්මාණයකින්ම අපි යමක් ඉගෙනගන්නවා. පිටපත භාරගෙන රූගත කරලා, සංස්කරණය කරලා, හඬ කවලා, සංගීතය මුසු කරලා ප්‍රේක්ෂකයන් අතට භාරදෙනකල් තමයි අපි හැමදේම කරන්නේ. ඊට පස්සේ ප්‍රේක්ෂකයා ඒක භාරගැනීම. ඒකෙන් තෘප්තිමත් වීම තමයි අපිට තියෙන ලොකුම සතුට. මමත් ඒ සතුට මේ වෙලාව අත්විඳිමින් ඉන්නවා.


දූස්රා නිෂ්පාදකවරයා විදිහට කටයුතු කරන්නේ ලක්ෂාන් අබේනායක. ඔහු රංගනයෙනුත් දායක වෙනවා. ඔහුගේ රංගන දායකත්වය ගැන සඳහන් කළොත්?


ඔහු ගැන විශේෂයෙන්ම කතා කළ යුතුයි. අපි හමුවෙන්නෙ පළමු වතාවට. ඔහු ප්‍රංශ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ චරිතයක්. ඔවුන්ගේ ආදරය ඉහළින්ම ලබන චරිතයක්. මං ඒක අත්වින්දේ ‘දූස්රා’ අරන් රුසියාවේ මොස්කව් සිනමා උලෙළට සහභාගි වුණු වෙලාවේ. මාත් එක්ක චන්න දේශප්‍රිය සහ ලක්ෂාන් අබේනායක සම්බන්ධ වුණා. ඒ මොහොතේ ලෝකෙ පුරාම ඉන්න ටෙලි නාට්‍ය වගේම සිනමා ප්‍රේක්ෂකයෝ ඇවිත් හිටියා. ඔවුන් ලක්ෂාන් නළුවෙක් විදිහට පිළිගත්ත හැටි ඔහු එක්ක කතා කළ හැටි මං දැක්කා. නළුවෙක් විදිහට මුළු යුරෝපයම වගේ ඔහු හඳුනනවා. එහෙම කෙනෙක් ඉන්නව කියල මම දැනගත්තෙත් දුස්රා නිසා. ඔහු අපිත් එක්ක රඟපාන්න ආව දවසේ ඔහුගේ අත්දැකීම්, දැනුම පැත්තකින් තියලා හරිම නිහතමානී විදිහට අපිත් එක්ක ගනුදෙනු කළා. ඔහු මෙහි නිෂ්පාදකවරයා වුණාට අධ්‍යක්ෂවරයාට අවනත වෙමින් හරිම සහයෝගයෙන් වැඩ කළා. අපිත් එක්ක වැඩ කළේ අපේ ළඟ ඉඳගෙන අපේ මට්ටමටම බැහැලා. ඒ ගුණාංගය අගය කළ යුතුමයි.


ඔබයි සජිතයි නිර්මාණයක් තුළ හමුවෙන්නෙත් පළමුවතාවට. ඔහුගෙන් ලැබුණු සහාය ගැන කතා කළොත්?


ඔව්. මායි සජිතයි හමුවෙන්නෙ පළමු වතාවට. මේ නිර්මාණය තුළ කාන්තා චරිත අඩුයි. මාත් එක්ක එකතු වුණේ විශාකා සිරිවර්ධන සහ වසන්ති රංවල කියන ප්‍රවීණ රංගන ශිල්පිනියන්. සජිත, ස්ටීව්, ශාන් ප්‍රනාන්දු, තරිඳු කාවින්ද, රුවන් මදනායක, සමන්ත පරණ ලියනගේ, ජයනාත් බෝදාහන්දි තමයි මගේ චරිතය එක්ක ගැටුණේ. ඒ හැමෝම පිරිමි චරිත. හැමෝගෙන්ම පුදුමාකාර සහයෝගයක් ලැබුණා. හරිම විනෝදකාමී සතුටුදායක පරිසරයක් සෙට් එක තුළ පවත්වාගන්න ඔවුන් නිතරම උත්සාහ කළා. ඒ නිසා හරිම සැහැල්ලුවක් දැනුණා. සජිත ගැන විශේෂයෙන්ම කිව යුතුයි. සජිත කියන්නේ හරිම උත්සාහයෙන් වැඩ කරන කෙනෙක්.


තිලක්ෂිණී රත්නායක, රංගන ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රයට ආපු විදිහ කිව්වොත්?


මං ක්ෂේත්‍රයට එන්නේ 2011 වසරේ. ඒ නෙරංජන් චන්ද්‍රාදිත්‍යගේ ‘රියැලිටි’ කියන කෙටි නාට්‍යයට රංගනයෙන් දායක වෙමින්. සිනමාපටයක් විදිහට මුලින්ම සම්බන්ධ වුණේ අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටයට. ඊට පස්සේ ප්‍රසන්න විතානගේගේ ‘උසාවිය නිහඬයි’, ලලිත් රත්නායකගේ ‘විෂමභාග’ සිනමා නිර්මාණවලට දායක වුණා. හතරවැනි සිනමා නිර්මාණය විදිහට ඩිලන්ත රංගනාත්ගේ ‘ඩිංගා’ සිනමාපටයට එක්වුණත් ඒක තාම තිරගත වුණේ නැහැ. ඊට පස්සේ තමයි චන්න දේශප්‍රියගේ ‘දුස්රා’ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. ‘දුස්රා’ මේ දිනවල තිරගත වෙනවා. පාලිත පෙරේරාගේ එලිෆන්ට් පාස් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් මුලින්ම දායක වෙන්නේ ‘කූඹියෝ’ ටෙලි නිර්මාණයට. ‘කූඹියෝ’ ඉතාම ජනප්‍රිය වුණා. ඊට පස්සේ ‘තණමල්විල කොල්ලෙක්’ , ‘මාණික්කාවත’, ‘නොනිමි’, ඉතාම ජනප්‍රිය වුණු ‘කොඩිගහ යට’ වගේම ‘සඳමාලි’ මං මෙතෙක් දායක වුණු ටෙලි නිර්මාණ විදිහට ගන්න පුළුවන්.


ඔබ ක්ෂේත්‍රයට එන්නේ හැදෑරීමක් එක්ක?


මං සම්බන්ධ වුණු හැම නිර්මාණයකම ශිල්පීන් මතක් කරන්න ඕන. මට කලාව තුළ උදවු කළ පිරිස බොහෝමයි. කෞෂල්‍යා ප්‍රනාන්දු, චන්දන අලුත්ගේ ප්‍රමුඛ සෝමලතා සුබසිංහ නාට්‍ය කණ්ඩායම ගැන මතක් කරන්නම ඕන. ඒ මගේ අනිත් පවුල. ඒ වගේම මට හැමදේදිම ළඟ ඉන්න නිතරම මාව දිරිමත් කරන මගේ යාළුවෝ ටිකත් මතක් කරන්න ඕන.


පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමු?


මං පදිංචි වෙලා ඉන්නේ කොළඹ. අධ්‍යාපනය හදෑරුවේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. මං තමයි පවුලේ එකම ළමයා. විශේෂයෙන්ම මං මගේ අම්මටයි තාත්තාටයි ස්තුතිවන්ත වෙනවා මට මේ ගමන් එන්න අවශ්‍ය වටපිටාව හදල දුන්නට. ඔවුන් මාව තේරුම් අරන් මට අවශ්‍ය ආර්ථිකමය පසුබිම හදපු නිසා තමයි අද මං මේ තැන ඉන්නේ. මේ වෙද්දි මං විවාහකයි.


ඔහු ගැනත් කියමු?


ඔහු නලීන් ලුසේනා. ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක්. අපි දෙන්න අතරේ හොඳ තේරුම් ගැනීමක් අවබෝධයක් තියෙනවා. දෙන්නම එකම ක්ෂේත්‍රයේ නිසා මේ ගමන සාර්ථකව යන්න ඔහුගෙන් ලොකු සහායක් ලැබෙනවා.


 නාමලී ගමගේ



Previous Post Next Post