පොඩි කාලේ ඉඳන්ම මම ඇඩ් පිස්සුවක් තිබුණු ළමයෙක් සාෂා කරුණාරත්න

 



සාෂා කරුණාරත්න අපි හඳුනා ගන්නේ නිවේදිකාවක් සහ හඬ ශිල්පිණියක් ලෙස. මේ වෙද්දී නම් සාෂා මාධ්‍යවේදිනියක් සහ අන්තර්ගත නිර්මාණකාරිනියක් ලෙස අතිශය ජනප්‍රිය චරිතයක්. මැත කාලයේ ඇය සහභාගි වූ වැඩසටහනකට ඇය කියූ ඇගේ ජීවිතේ ළමා කාලයේ අත්දැකීම් නිසා මේ දිනවල තවත් සාෂා ගැන කතාබහට ලක් ව තිබෙනවා. ඒ නිසාම රසඳුන අපි හිතුවා සාෂා කරුණාරත්න එක්ක කතා බහ කරන්නට


සාෂා මේ දිනවල මොකද කරන්නෙ?


මේ දවස්වල බැක් ටු බැක් වැඩ තියෙනවා. සෝෂල් මීඩියා වීඩියෝවලට තමයි මේ දවස්වල මම මගේ වෙලාව වෙන් කරලා තියෙන්නේ. ඒ වැඩත් එක්ක මම සවුදිවලට තායිලන්තයට යනවා. ඒ රටවලට ගිහින් ට්‍රැවල් වීඩියෝ හදන්න තියෙන්නේ. ඔය වැඩ කටයුතු නිසා බැක් ටු බැක් වැඩවල හිරවෙලා ඉන්නේ.


ජීවිතේ පුංචිම තැනින් පටන් ගෙන අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ?


මට හොඳ අධ්‍යාපනයක් සහ හොඳ පවුල් පසුබිමක් එක්ක ජීවිතේ පටන් ගන්න ලැබුණා. ඒ දේ ලැබුණේ මගේ මවුපියන් නිසා. ඒ නිසා ජීවිතේ පුංචිම තැනින් කියන්න බැහැ. මම දන්නවා මට වඩා පුංචිම තැනින් පටන් ගෙන මට වඩා දුර ගිය අය. මම දැන් ඉන්න තැන ගැන සතුටුයි. නමුත් මීට වඩා ලොකු දුරක් යන්න ඕනේ. ඒ නිසා මම දැන් ඉන්න තැන ගැන ලොකුවට හිතන්නේ නැහැ.


පාසලේ දී හිටිය මිතුරියන් අදටත් ඉන්නවද?


ඔව්. මගේ පාසලේ හිටිය යෙහෙළිය තවම මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. එයාට දැන් බබෙක් ඉන්නවා. එයා ලස්සන සතුටුදායක ජීවිතයක් ගත කරනවා. අපි දෙන්නා නිතර හමුවෙන්නේ නැති වුණාට තවම අපි දෙන්නගේ ජීවිතේ ලොකු බැඳීමක් තියෙනවා. යාළුවෙක්ට එහා ගිය සහෝදරියක් වගේ. පාසල් කාලයේ මිතුරියන්ට වඩා හොඳ මිතුරෝ ටිකක් මට හිටියේ. ඒ හැමෝම හොඳ ලස්සන ජීවිත ගත කරනවා. ගොඩක් අය දැන් ලංකාවේ නැහැ. හැබැයි ගෘප් චැට්වලින් කට්ටිය කතා කරනවා. අදටත් ඒ යාළුකම් ඒ විදිහටම තියෙනවා.


කළුයි කැතයි කියද්දි කොහොම හරි සුදු වෙන්න ඕනේ කියලා හිතුනේම නැද්ද?


නැහැ. ඇත්තටම එහෙම හිතිලා නැහැ. පොඩි කාලේ මම අවුවේ පිච්චෙන නිසා ගෙදරින් උත්සාහ කළා මට ක්‍රීම් ගාන්න. කළු නොවී පොඩ්ඩක් පාටට ඉන්න. නමුත් හැම වෙලේම මගේ ඔලුවේ තිබ්බේ මගේ ජීවිතේ මම දැකලා තියෙන ලස්සනම කෙනා තමයි මගේ අම්මා. මගේ අම්මා තලෙළු කාන්තාවක්. මගේ අම්මා එච්චර ලස්සන නිසා කවදාවත් ළමයෙක් හැටියට මට හිතිලා නැහැ සුදු වෙන්න. මගේ අම්මා එච්චර ලස්සනයි නම් මගේ අම්මාගේ පාට මමත්, කොහොමද එහෙම නම් මම කැතයි කියන කෙනෙක් හරි වෙන්නේ. ඒ නිසා කළුයි කැතයි කියලා මිනිස්සු මට කිව්වට ඒ ගොල්ලෝ වැරදියි කියන මතයේ මම හිටියේ. ඒ අය කළුයි කැතයි කියද්දී හිත රිදුණා. හැබැයි ඒ අය හරියි කියලා මම හිතපු නිසා නෙවෙයි.


පුංචිම කාලේ ඇයි හිතුණේ කොහොම හරි tv එකට එන්න ඕනෙ කියලා,


මගේ තාත්තා බටහිර සංගීතයේ සංගීතඥයෙක්. ඒ නිසා මට පොඩි කාලේ ඉඳන් ආසාව තිබුණේ සින්දු කියන්න රඟපාන්න වගේ දේවල්වලට. නිවේදනය නම් මගේ හිතේ තිබ්බෙම නැහැ. මම හිතුවෙම කවදා හරි මම ටීවී එකේ සින්දු කියනවා, රඟපානවා කියන හීන. ඒ හීනෙටම තමයි පොඩි කාලේ ඉඳන් උත්සාහ කළේ. ඒ හැර වෙන හීන මට තිබිලා නැහැ.


මේ ගමන් මඟ එන්න පහසු වුණාද?


නැහැ. මට තියෙන්නේ හාවගෙයි ඉබ්බාගෙයි කතාවේ ඉබ්බාට තිබ්බා වගේ ගමනක්. හරි හිමින් ආව ගමනක්. මේ ගමන එන්න පහසු වුණෙත් නැහැ. හේතුව මිනිස්සු අතරේ බහුතරයක් ඉන්නේ හොඳ මිනිස්සු නෙවෙයි. ඒ හින්දා බාධක මැද්දේ ප්‍රශ්න ගොඩක් මැද්දේ මිනිසුන්ගේ තියෙන සමහර ගතිගුණ සමඟ ගැටෙමින් ඉදිරියට ආවා. ඒ ගමන එද්දි තිබ්බ ප්‍රශ්න සහ හිත් රිදීම් වැඩියි.


වොයිස් ආටිස් කෙනෙක් වීම කොහොමද දැනෙන්නෙ?


ඒක මගේ පොඩි කාලේ ඉඳන්ම තිබුණ පිස්සුවක්. මම දැනන් හිටියේ නැහැ ඒක ජොබ් එකක් කියලා. හැබැයි ටීවී බලද්දී මම වැඩියෙන්ම කළේ ඇඩ් බලන එක. මම ඒ ඇඩ් බලන ගමන් ඒ විදිහට මම කියනවා. පොඩි කාලේ ඉඳන්ම මම ඇඩ් පිස්සුවක් තිබ්බ ළමයෙක්. ඒ නිසා වෙන්න ඇති මට ඒ හැකියාව ආවේ. ඕනෙම ක්ලයන්ට් කෙනෙක්ට අවශ්‍ය දේ කිව්වම මට අදහසක් තියෙනවා මම කොහොමද මගේ වොයිස් එක වෙනස් කරන්නේ කියලා. සමස්තයක් වශයෙන් මොන වගේ ෆීල් එකක් ද ඒ ඇඩ් එකට ඕනේ කියන එක මට තේරෙනවා. මම පොඩි කාලේ දැනන් හිටියේ නැහැ මේකත් රැකියාවක් කියලා. අද මගේ රැකියාවෙත් කොටසක් වෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි. මොකද මම පොඩි කාලේ ඉඳන් ආස දෙයක් අද මගේ රැකියාවේත් කොටසක් වෙලා.


දැන් ඉන්නෙ තාත්තා එක්කනේ, තාත්තා සාශා ඉන්න තැන ගැන, කරන කියන දේ ගැන මොකද කියන්නෙ?


අම්මෝ තාත්ති නම් යන යන තැන මගේ ගැන පම්පෝරි ගහනවා. තාත්ති මගේ ගැන හරි ආඩම්බරයි. මම ඒක දන්නවා. එයා නිතර නිතර ඒ ගැන කියනවා.එයා මගේ ගැන හොයලා බලන දේවල් ගැන කියන දේවල්ාවලින් සීයට දෙදාහක්ම තේරෙනවා. එයා හරි ආසයි මගේ ගැන කවුරු හරි කතා කරනවා අහන්න. මගේ ගැන තාත්තා මොනවා හරි කිව්වොත් එයා කියන්නේ දහ ගුණයකින් වැඩි කරලා. ඒ හින්දා තාත්තා මගේ ගැන මොනවා හරි කිව්වොත් ඒ කියන්නේ ආදරේ වැඩිකමට කියලා පොඩ්ඩක් හිතේ තියා ගන්න.


අම්මාව දැන් සාශාට හමුවෙන්නේම නැද්ද?


නැහැ


ජීවිතේ ගැන, ලැබීම් නොලැබීම් ගැන මොකද හිතන්නෙ?


ලැබීම් නොලැබීම් හරියට කාඩ් ගහනවා වගේ. කාඩ් අතක් ලැබුණාම අපි අතට එන කාඩ් ටික වෙනස් කරන්න බැහැනේ. අපි අතේ තියෙන කාඩ් ටිකෙන් මොකක් හරි ගේමක් ගහන්න පුළුවන් වෙන්න ඕනේ. දුර්වලම කාඩ් ටික අතට ආවත් තමන්ට ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා මොලේ පාවිච්චි කරොත්. ඒ වගේම තමයි ලැබීම් නොලැබීම්. හැමදේම ලැබුණු මනුස්සයා නෙවෙයි ලෝකයේ ඉහළම තැන ඉන්නේ. උපතින් අපිට ලැබෙන ලැබීම් නොලැබීම් ගැන මම ලොකුවට හිතන්නේ නැහැ. තියෙන දෙයින් මොකක් හරි ගේමක් ගහන්න පුළුවන් නම් එතන තමයි ලැබීම තියෙන්නේ.


අද වෙද්දි සාශා ආදරවන්තියක් නේ, ඒ ආදරේ ගැන කියමුද?


ඒක මට ඇත්තටම හරි පෞද්ගලික දෙයක්. ඒ ගැන මම ප්‍රසිද්ධියේ කතා කරන්න කැමැති නැහැ. ඒක වෙලාව ආවම සමහර විට කියයි. එතකම් මගේ පෞද්ගලික දේ පෞද්ගලිකවම තියා ගන්න කැමතියි.


අනාගත බලාපොරොත්තු මොනවද?


යන ගමන තව දුර සහ පුළුවන් තරම් සාර්ථකව ගෙනියන්න. මම කරන්න හිතන් ඉන්න ගොඩක් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒ හැම දෙයක්ම සාර්ථක කර ගන්න ගමන් හුඟක් ආසාවෙන් බලන් ඉන්නවා අනාගතේ කොහොම වෙනස් වෙයිද කියලා බලන්න. සෝෂල් මීඩියා වගේම රූපවාහිනී නිවේදිකාවක් විදියටත් වැඩ කරනවා. ඉවෙන්ට්ස්, මියුසිකල් shows ප්‍රසන්ට් කරනවා. මම කැමති ප්‍රොජෙක්ට්ස් එක්ක දිගටම වැඩ කරන එක තමයි අනාගත බලාපොරොත්තු.


 අනුෂා රණසිංහ



Previous Post Next Post