වේදිකාවෙන් ඉවත් වෙන්න කොහෙත්ම අදහසක් නැහැ - තරංගා රාජමන්ත්‍රී



දශක දෙකකට ආසන්න කාලයක් වේදිකාවේ සහ පුංචි තිරයේ දස්කම් දක්වන ඇය තරංගා රාජමන්ත්‍රී යි. දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයෙන් සහ කැලණිය ශාන්ත පාවුළු බාලිකා මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය කලාවේ දිගු ගමනක් පැමිණ ඇත.


ඔබේ පවුලේ අයත් කලාවට සම්බන්ධ ද?  


මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි, මල්ලිලා දෙන්නයි. ඒ අය නම් කලාවට සම්බන්ධයක් නැහැ. නමුත් මගේ අම්මා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවෙ. “ආයාචනා” චිත්‍රපටයටත් ඇය රංගනයෙන් දායක වුණා. ඇයත් නර්තන අංශයෙන් තමයි කටයුතු කළේ. විවාහයත් සමඟ ඇයට දිගටම කලාවෙ රැදෙන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ. මම කලාවට සම්බන්ධ වෙනවට මගෙ අම්මාගේ ආසාවක් තිබුණා.


ඔබ ටෙලි නාට්‍ය කලාවට සහ වේදිකා නාට්‍ය කලාවට යොමු වුණේ කොහොමද?


පාසැල් යන කාලෙ ගොඩක්ම නර්ථන අංශයෙන් තමයි මම ඉදිරියෙන් හිටියෙ. ඒ කාලෙ තමයි නාට්‍ය හා රංග කලාව ගැන හොයන්න සහ ඉගෙන ගන්න ආසාවක් ඇති වුණේ. ඒක මගෙ පොඩි කාලෙ ඉඳන්ම හීනයක් වුණා. “AL ඉවරයි” කියන ටෙලිනාට්‍යට තමයි මම මුලින්ම රංගනයෙන් දායක වුණේ. ඒ වගේම සිරස නාලිකාවෙ විකාශනය වුණ “සිරි වාසල” ටෙලිනාට්‍යටත් මම රංගනයෙන් දායක වුණා. ඊට පස්සෙ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න තිබෙන අවස්ථාවන් සඳහා යොමු වුණේ.


ඔබ සම්බන්ධ වුණ වේදිකා නාට්‍ය කිහිපයක් මතක් කළොත්?


මුලින්ම මට “හුණුවටය” කියන දැවැන්තම වේදිකා නාට්‍යයකට තමයි සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. නිලූකා රාජමන්ත්‍රී කියලා කියන්නෙ මගෙ මහත්තයාගෙ අක්කා. දවසක් එයාට නාට්‍යයකට සම්බන්ධ වෙන්න බැරි වෙලා ඒ සඳහා මම සහභාගි වුණා. ඇය මාව නිමල් ජයසිංහ මහත්මයට හඳුන්වලා දුන්නා. එදා පැයක වගේ පෙර පුහුණුවීමක් තමයි තිබුණෙ. ඒකෙන් පස්සෙ මට හුණුවටයේ වේදිකා නාට්‍යයේ ප්‍රධානම චරිතයක් ලැබුණා. ඉන් පස්සෙ හුණුවටය නාට්‍යයට දිගටම සම්බන්ධ වුණා. චරිත කිහිපයක්ම රඟ දැක්වුවා. මගේ රංගන ජීවිතයේ මම ලබපු ලොකුම භාග්‍ය තමයි ඒ අවස්ථාව ලැබීම. එතැනින් එහාට දිගටම මට වේදිකා නාට්‍ය හම්බ වුණා.


මේ වෙනකොට ඔබව වේදිකාවෙන් දැකිය හැකි වන්නේ කුමන නාට්‍යය හරහාද?


මේ වෙනකොට මම රිචඩ් මානමුදලි මහත්මයාගේ “ආයෙත් ඇවිත්” කියන වේදිකා නාට්‍යයේ ප්‍රධාන භූමිකාව කරනවා. රිචඩ් මහත්මයාගෙම “ඇත්තටම බොරු” නාට්‍යයෙත් රඟපානවා. ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ඒ නාට්‍යයෙත් දකින්න පුළුවන්. ඒ අය සමඟ සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබීමත් ලොකු භාග්‍යයක් විදියට සලකනවා. ඒ වගේම විදුර අබේනායක මහතාගේ “ගුරු ගීතය” නාට්‍යයටත් සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. ඒ වගේම මේ දවස්වල මගේම වේදිකා නාට්‍යයකට සහ කෙටි චිත්‍රපටයකට සූදානම් වෙනවා. ඒ දේවල් කරන අතරෙම මගේ නර්තන කණ්ඩායමේ වැඩ කටයුතුත් කරනවා. වේදිකාවෙන් ඉවත් වෙන්න නම් මගෙ කොහෙත්ම අදහසක් නැහැ.


ඔබේ මේ ගමනට උදව් උපකාර කරන පිරිස මතක් කළොත්?


විවාහ වුණාට පස්සෙ වැඩි පිරිසක් තමන් කරන රැකියාව වගේ දේවල් නවත්වනවා. නමුත් මමත් විවාහ වෙලා ඉන්නෙ. මටත් දරුවෙක් ඉන්නවා. මගේ පවුල තුළ මවකගේ භූමිකාවත් කරන ගමන් තමයි මම මේ හැම දෙයක්ම කරන්නෙ. මේ හැම දෙයක්ම පසු පසින්ම මට මේ වන තෙක්ම සියයට සියයක්ම ශක්තියක් වෙලා ඉන්නෙ මගෙ මහත්තයා. ඔහු කලාවට සම්බන්ධ නැතත් මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව වැඩ කරනවා. ඔහු ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරනවා.


කලාව සම්බන්ධ ඉදිරි බලාපොරොත්තු මොනවාද?


රිචඩ් මානමුදලි මහතාගේ “වක්‍ර” ටෙලිනාට්‍යය ඉදිරියේදී විකාශය වෙන්න තිබෙනවා. ඒ නාට්‍යයේ ලොකු දුවගෙ චරිතයට තමයි සම්බන්ධ වෙන්නෙ. ඒකෙත් තවම රූගත කිරීම් සිදු කරගෙන යනවා. මම අවුරුදු 20 ක වගේ කාලයක් හරිම හිමින් ගමනක් ආපු කෙනෙක්. ප්‍රතිපත්ති කඩා ගන්නෙ නැතිව, දක්ෂතාවයෙන් පමණක් වේදිකාව පැත්තෙන් වගේම ටෙලිනාට්‍ය පැත්තෙනුත් සිනමාව දක්වාම ඉදිරියට යන්නයි බලාපොරොත්තුව.



Previous Post Next Post