බකින්හැම් මාලිගයේ කැරොල් ගී ගැයූ ලංකාවේ කෙල්ල – බිනූ උමායා




පසුගිය දවස්වල අපේ රටේ මුද්‍රිත මාධ්‍ය වගේම විද්‍යුත් මාධ්‍යවලත් ඇය ගැන කතා බහ කළා. ඒකට හේතුව වුණේ එංගලන්තයේ චාල්ස් රජු වෙනුවෙන් බකින්හැම් මාලිගයේදී කැරොල් ගීත ගායනා කළ කණ්ඩායමේ හිටපු එකම විදේශීය ජාතිකයා මෙන්ම එකම ශ්‍රී ලාංකිකයා ඇය වීම. තවමත් වයස අවුරුදු පහළොවක දැරියක් වන ඇය නමින් බිනූ උමායා තෙන්නකෝන්.මේ බිනූගේ කතාවයි.


● කවුද බිනූගේ පවුලේ ඉන්නේ?


මගේ පවුලේ ඉන්නේ මමයි අක්කයි අප්පච්චියි අම්මයි


පාසැල?


එංගලන්තයේ Wilmington Gramar School for Girls පාසලේ තමයි මම ඉගෙනගන්නේ.


● අම්ම තාත්තා අක්කා මොකද කරන්නේ?


මගේ අම්මා එංගලන්තයේ පෙරපාසල් පාලිකාවක් හැටියට කටයුතු කරනවා. තාත්තා ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මේජර් වරයෙක් නමින් ජගත් තෙන්නකෝන්. දැන් එංගලන්තයේ පුද්ගලික සමාගමක සහකාර කළමණාකරුවෙක් හැටියට කටයුතු කරනවා. අක්කා මාස්ටර් උපාධිය හදාරනගමන් බාහිර ක්‍ෂුද්‍රජීවී විද්‍යාඥවරියක් හැටියට වැඩකරනවා.


කොහොමද මේ කැරොල් ගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ?


මම Bexley Music සංගීත විද්‍යාලයේ ශිෂ්‍යාවක්. අපේ පාසලට බකින්හැම් මාලිගාවෙන් ආරාධනයක් ඇවිත් තියෙනවා චාර්ල්ස් රජතුමා ඉදිරියේ කැරොල් ගීත ගායනා කරන්න කණ්ඩායමක් ඉදිරිපත් කරන්න කියලා. එතැනදී මගේ සංගීත පාසලේ විදුහල්පතිනිය මගෙන් අහනවා ලන්ඩන්වල ප්‍රසංගයක් තියෙනවා ඔයා කැමැතිද යන්න කියලා. ඉතිං මමත් මේ අවස්ථාවට සහභාගි වෙන්න කැමැති වෙනවා.


● සංගීත පාසලෙන් ඔබ විතරද මේ අවස්ථාවට සහභාගි වෙන්නේ?


අපේ පාසලෙන් තුන්දෙනෙක් තෝරාගන්නවා. එයින් දෙන්නෙක් සංගීත භාණ්ඩ වාදනය කරන්න මම තමයි ගීතය ගායනා කළේ.


● වැඩිපුර කැමැති විෂය මොකක්ද?


මම වැඩිපුරම කැමැති ඉංග්‍රීසි සහ විද්‍යා විෂ්‍යයන් වලට.


● බිනූට සංගීත භාණ්ඩ වාදනය කරන්නත් පුළුවන්ද?


ඔව්. මට ගිටාරය වාදනය කරන්න පුළුවන්. පියානෝ සහ සැක්සෆෝන් වාදනය දැනට පුහුණු වෙනවා.


● බකින්හැම් මාලිගාවට ගිය ගමන මොන වගේ අත්දැකීමක්ද?


ඇත්තටම මාලිගාවට යනතුරු අපි දැනගෙන හිටියේ නැහැ අපි යන්නෙ මාලිගාවටයි කියලා. මොකද අපේ විදුහල්පතිතුමිය අපිට කිව්වේ ලන්ඩන්වල කොන්සර්ට් එකක් තියෙනවා කියලා. නමුත් මාලිගාවට යද්දි ඇත්තටම අපි පුදුම වුණා. එංගලන්තයේ අගමැතිවරයා රජතුමා මුණගැහෙන්න යන දොරටුවෙන්ම තමයි අපිව මාළිගාව ඇතුළට එක්කගෙන ගියේ. මේක මගේ ජීවිතයට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් හැටියටයි මම දකින්නේ.


● රජු ඉදිරියේද මේ ගීත ගායනා කළේ?


රජ පවුලේ වැඩකටයුතු කරන කාර්යමණ්ඩලය තමයි එදා මේ අවස්ථාවේ සියලු කටයුතු කළේ. රජතුමාව අපිට දකින්න ලැබුණේ නැහැ. වීඩියෝ එක එතැනදී රෙකෝඩ් කරල පසුව තමයි රජතුමාට පෙන්නන්නේ.


● වෙනත් භාෂා ගැන තියෙන දැනුම කොහොමද?


මම සාමාන්‍ය පෙළ සඳහා චීන භාෂාව ඉගෙනගත්තා. දැන් චීන භාෂාව ටිකක් කතාකරන්න පුළුවන්. දැනට මට සිංහල, ඉංග්‍රීසි චීන භාෂා ගැන දැනුමක් තියෙනවා.


● කැරොල් ගීතය භාෂා කිහිපයකින් ගායනා කළාද?


ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි ගායනා කළේ.


● විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වෙනවද?


පාසලට සම්බන්ධ නැති ආයතනයකට සම්බන්ධ වෙලා මිනිස්සුන්ට විවිධ ආකාරයෙන් උදව් කරන කටයුතුවලට මම දායක වෙනවා. ඒ හැරුණම පාසලේ ගීතිකා කණ්ඩායමට වගේම ඉංග්‍රීසි සොසයිටියකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.


● බිනූ සංගීතය පැත්තට යොමු වෙන්නෙ පුංචි කාලෙමද?


ඔව්. මගේ අම්මා කියන්නේ වයස අවුරුදු දෙකහමාර වෙන කාලේ ඉඳන් මම සංගීතයට කැමැතියි කියලා. මගේ අක්කා නිසා තමයි මටත් සංගීතය ගැන ආසාවක් ඇතිවෙන්නේ.


● අක්කා සංගීතය හදාරනවද?


මගේ අක්කා ඉස්සර මම වගේම ගීතිකා කණ්ඩායමේ හිටියා. මම දැන් සංගීතය හදාරණ සංගීත පාසලේ Grade 6 දක්වා ඉගෙනගත්තා. ඒ කාලෙ මමත් අක්කා එක්ක ගියා. කාලයක් යද්දි මමත් සංගීතයට කැමැති නිසා මගේ අම්මා ඒ පාසලට මාවත් ඇතුළත් කළා.


● දෙමව්පියන් සංගීතයට සම්බන්ධකමක් තියෙනවද?


අම්මයි තාත්තයි සංගීතයට සම්බන්ධ නැහැ. ඒත් තාත්තාගේ පැත්තෙන් මගේ නැන්දල සිංදු කියනවා.


● ගීතිතා කණ්ඩායමේ වෙන කවුද හිටියේ?


මේ ගීතිකා කණ්ඩායම හදලා තිබුණේ පාසල් කිහිපයකින්ම ළමයින් තෝරාගෙන. මම විතරයි වෙන රටක කෙනෙකුට එතැන හිටියේ. අනෙක් හැමදෙනාම ඒ රටේ අය.


● රජමැදුරෙන් කොහොමද බිනූගේ පාසල මේ වෙනුවෙන් තෝරාගන්නේ?


මගේ සංගීත පාසල පිහිටලා තියෙන නගරයට එළිසබෙත් රැජින ඉන්න කාලේ නිතර ඇවිත් ගිහින් තියෙනවලු. ඇය මේ පරිසරයට හරි ආසාවෙන් ඉඳලා තියෙන්නේ. මේ නිසා තමයි මාලිගාවෙන් අපේ පාසලට ආරාධනා කරන්නේ.


● බිනූ කවදාද ලංකාවට ආවේ?


මම ලංකාවට ආවේ ජූලි 28.


● ඇයි හදිසියේම ආවේ?


මම ලංකාවට ආවෙ මගේ අත්තම්මගේ දානෙ කටයුතුවලට සහභාගි වෙන්න.


● අත්තම්මා කොහේද ඉන්නේ?


අත්තම්මා ඉන්නේ හෝමාගම අපේ ඥාති කෙනෙකුගේ ගෙදර.


● නැවත ලංකාවෙන් යන්නෙ කවදාද?


මේ මාසෙ 19 වැනිදා මම නැවත ලංකාවෙන් යනවා. ඊට කලින් ගීතයක් කරන්නත් අදහසක් තියෙනවා.


මහේෂ් එදිරිසිංහ





Previous Post Next Post