මගේ චිත්‍රපටයත් ප්‍රදර්ශනයට සූදානම් – ශ්‍යාම් ප්‍රනාන්දු



ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ සිටින සම්මානනීය,අති දක්ෂ,ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු රංගනයෙන් දායක වූ “පැරඩයිස්” සහ “දුස්රා”යන නවතම සිනමා නිර්මාණයන් මේ දිනවල තිරගත වන අතර එම නිර්මාණයන් සඳහා ශ්‍යාම් රංගනයෙන් දායකත්වය ලබාදුන් ආකාරය සහ ඒ ලබපු අත්දැකීම් “මීවිත”අපත් සමග බෙදා හදා ගත්තේ මෙලෙසිනි.

■ ඔබ රංගනයෙන් දායක වන “දුස්රා” සිනමාපටය මේ දිනවල තිරගත වනවා. “දුස්රා”සිනමාපටය ගැන අපි මුලින්ම කතා කරමු?


ඔව්.“දුස්රා”මීට අවුරුදු කිහිපයකට කලින් තමයි වැඩ ඉවර කරලා තිබුණේ. මේ අවුරුද්දේ රිලීස්වෙන එක ගැනත් ගොඩක් සතුටුයි. චන්න දේශප්‍රිය කියන්නේ,ලංකාවේ සිටින බොහෝ දක්ෂ කැමරා අධ්‍යක්ෂවරයෙක්. ඔහු අධ්‍යක්ෂකවරයෙක් විදියට “යූ ටර්න්”චිත්‍රපටය තුළිනුත් කොච්චර පරිණත කෙනෙක්ද කියලා පෙන්නලා දීලා තියෙනවා.


“දුස්රා”ඔහුගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය විදියට ප්‍රේක්ෂකයින්ට අත්දැකීම් ගොඩක් සමීප වෙන ආකාරයේ බොහෝම ආකර්ෂණීය කතා තේමාවක් තමයි මෙහි ගැබ්වෙලා තියෙන්නේ.ඒ නිසා මම හිතනවා දුස්රා සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයෝ ඉතාම ආදරයෙන් වැළඳ ගන්න සිනමාපටයක් වෙයි කියලා.


ශ්‍යාම්ට මේ සඳහා ආරාධනා ලැබුණේ කොහොමද?


චන්න දේශප්‍රිය මහත්මා සහ දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂකතුමන්ලා මම කලින් රංගනයෙන් දායක වුණු නිර්මාණ දැකලා,අදහසක් ඇවිත් එයාලට හිතෙන්න ඇති මාව මේ චරිතයට යොදා ගන්න එක හොඳයි කියලා.


■ “දුස්රා”හි ඔබේ භූමිකාව මොනවාගේද?


ඉහළ මධ්‍යම පාන්තික දරුවෝ හතර පස් දෙනෙක් ඉන්න විවාහක පුද්ගලයෙක්. ඔහු එක්තරා විදියක උගුලකට අසුවෙන චරිතයක්. ඒ ඔස්සේ ඔහුගේ පවුලටත් කිසියම් විදිහකට ඔහුට අත්වන ඉරණම බලපානවා. ඒක මේ කතාවේ මූලික තේමාවට සම්බන්ධවෙලා යන සිද්ධියක් විදියට තමයි තියෙන්නේ.


 මෑත කාලයේ ඔබව සිනමාවෙන් බොහෝ විට දක්නට ලැබුණා ?


ඔව්,මෑත කාලයේ චිත්‍රපට කීපයකම රඟපාන්න අවස්ථාව ලැබුණා. හැබැයි මේ දවස්වල ආසන්නම ලබපු අත්දැකීම තමයි ප්‍රසන්න විතාන මහත්මයාගේ “පැරඩයිස්” චිත්‍රපටය. ඒක තවමත් සිනමා ශාලාවල තිරගත වෙනවා.


■“පැරඩයිස්”කියන්නේ ජාත්‍යන්තර සිනමා අත්දැකීමක්. රංගධරයෙක් විදියට එවැනි අවස්ථාවක් ලැබීම ගැනත් කතා කරමු ?


ඔව්,විශේෂයෙන් ප්‍රසන්න විතානගේ මහත්මයත් එක්ක මම අවුරුදු කීපයක ඉඳලා චිත්‍රපට කීපයකට දායක වෙලා තියෙනවා.ඉතින් ඒකෙදි ඔහුට දැනුන මගේ තියෙන හැකියාවන් නිසා වෙන්න ඇති මේ චරිතයටත් මාව තෝරගත්තේ. මේක ඉතින් විශේෂයෙන්ම දර්ශනා රාජේන්ද්‍රන් සහ රෝෂන් මැතිව් කියන රංගන ශිල්පීන් එක්ක වැඩ කරන්න ලැබීමත් ලොකු අත්දැකීමක්. අපිත් සිනමාවෙන් දකින,ඔවුන්ගේ රසිකාවියෝ විදියට ඉන්න, එයාලත් එක්ක වැඩ කරන්න ලැබීම හොඳ අත්දැකීමක්. ගුණාත්මක සිනමාවක් ගැන සහ සිනමා කර්මාන්තයක් විදිහට ටිකක් අපේ සිනමාවෙන් එහා ගිය නිර්මාණයක වැඩ කරන්න ලැබෙන එකත් පොදුවේ ලංකාවේ ඕනෑම රංගන ශිල්පියෙකුහටම අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි.ඒ මොකද අපේ සීමාවෙන් එහා සිනමා කර්මාන්තය ක්‍රියාත්මක වෙන විදිය,බෙදා හැරීමේ සහ නිෂ්පාදන ක්‍රියාවලීන් සිදුවන ආදිය ගැන අත්දැකීමක් ලැබෙනවා නම් ඒක හැමෝටම ගොඩක් හොඳයි.මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී ගොඩාක් රංගන ශිල්පීන්ට ඒ වගේ ලෝකයේ වෙනත් රටවල නිෂ්පාදනය වන නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්න ඕනෑ කියලා.


■“පැරඩයිස්”කියන්නේ,ඔබේ දෙවැනි ජාත්‍යන්තර සිනමා අත්දැකීම?


ඔව් “පැරඩයිස්”ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දෙකම එකතුවෙලා කරපු නිර්මාණයක්.කලින් “පොන්නියන් සෙල්වන්”කියන ඉන්දියානු චිත්‍රපටයට සම්බන්ධ වෙන්නත් අවස්ථාවක් ලැබුණා.ඒකත් ඇත්තටම ප්‍රසන්න විතානගේ මහත්මයා සම්බන්ධීකාරකවරයෙක් විදිහට සම්බන්ධ වුණ නිසා තමයි ඒ අවස්ථාවත් මට ලැබුණේ. ඒ චිත්‍රපටයෙත් නිෂ්පාදන ක්‍රියාවලිය මට හොඳ අත්දැකීමක් වුණා.


■ වර්තමාන සිනමාවේ තිබෙන යළි පිබිදීම පිළිබඳ මොන වගේ මතයක්ද ඔබ දරන්නේ?


ඔව්,ඇත්තටම හොඳයි.මේ වෙනකොට ගොඩාක් ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවල්වලට එන්න පටන් අරගෙන තියෙනවා.මේ අවුරුද්දේ මුල ඉඳලම ගත්තම ලංකාවේ ගොඩක් චිත්‍රපට ආදායම් ලැබීම් අතින් ගොඩක් සාර්ථක වුණා.ඒ වගේම ගුණාත්මක අතිනුත් හොඳ චිත්‍රපට ගොඩක් නිර්මාණය වුණා. ගොඩක් ජාත්‍යන්තර සිනමාවලට පවා අවධානයට ලක්වුණා. ඒ වගේම සිනමා කර්මාන්තයක් විදියට ලංකාව ඇතුලේ පසුගිය දිනවල “සිංහබාහු” සහ “විසල් ආදරේ” වැනි සිනමාපට හොඳ ආදායම් වාර්තා තබමින් ඉදිරියට ගියා.මේ අවුරුද්ද සිනමා කර්මාන්තය පැත්තෙන් ගොඩක් දුරට ඉදිරියට අරන් තියෙනවා කියලා හිතනවා.


■ අධ්‍යක්ෂ කාර්යයට එළැඹෙන්න දැන් කාලෙ හරි කියලා හිතෙන්නේ නැද්ද ?


මම අධ්‍යක්ෂණය කරලා තියෙන චිත්‍රපටයක් දැන් ප්‍රදර්ශනයට සූදානම් වෙමින් තියෙනවා.ලොකු චිත්‍රපට පෝලිමක් තියෙන නිසා බලාගෙන ඉන්නවා ඉඩක් ලැබුණු වෙලාවට ප්‍රදර්ශනය කරන්න.


■ මේ දිනවල නිරතවෙලා ඉන්න රංග කාර්යයන් මොනවාද?


මේ දිනවල ඉඳලා ඉදිරියටම නම් මම වැඩක් භාර අරගෙන නැහැ.පසුගිය මාස කීපයකදී නිෂ්පාදන කාර්ය අවසන් වුණු චිත්‍රපට කිහිපයක්ම තියෙනවා.


■“දුස්රා”වෙනුවෙන් මොනවගේ කැපකිරීම්ද ඇත්තටම කරන්න සිද්ධ වුණේ?


මගේ චරිතය වෙනුවෙන් නම් මට ලොකු කැප කිරීමක් කරන්න වුණේ නැහැ.මොකද ඒක සමකාලීන සමාජයේම තියෙන ප්‍රශ්න ඇසුරෙන් කරන චරිතයක් නිසා.ඇත්තෙන්ම “දුස්රා”ප්‍රේක්ෂකයින් බලනකොට දකින්න ලැබෙයි චිත්‍රපටයේ විශාල කැපකිරීමක් කරලා තියෙන්නේ තිලක්ෂණී රත්නායක රංගන ශිල්පිණිය. ලංකාවේ රංගන ශිල්පිණියකට කැමරාව ඉදිරිපිට මුහුණ දෙන්න අපහසු දර්ශන විශාල සංඛ්‍යාවකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක ලංකාවේ චිත්‍රපට ඇතුළෙත් විශාල චරිත නිරූපණයන් විදියට ඔබට දකින්නට ලැබෙයි.


■ ශ්‍යාම් ටෙලි නාට්‍යවලට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ නැද්ද,නැත්නම් ඔබ භාරගන්නේ නැද්ද?


ටෙලි නාට්‍ය කීපයකට ගිය අවුරුද්දේ සම්බන්ධ වෙලා හිටියා.මේ ආසන්නයේදී සහ ඉදිරියේදී භාරගත්තු එහෙම ටෙලි නාට්‍ය නැහැ.ටෙලි නාට්‍යවලට දායක වෙන්න මට විතරක් නෙවෙයි,ගොඩක් අයට නිෂ්පාදන ක්‍රියාවලිය පැත්තෙන් ගොඩක් අපහසු වී ගෙන එනවා.


■ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු කොහොමද?


මේ දවස්වල නම් ටිකක් ගෙදරට වෙලාම ඉන්නවා.ඉස්සරහට භාරගනිපු විශේෂ වැඩක් එහෙමත් නැහැ.ඒ අතර ආධුනික රංගන ශිල්පීන් එක්ක රංගන වැඩමුළුවකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වැඩත් එක්ක තමයි ඇත්තටම මේ දවස් ගොඩක් ගත වෙන්නේ.


පාරමී කෞෂිකා





Previous Post Next Post