පියල්-ෂෙනාල් අලුත්ම කන්සෙප්ට් එකක්



Gypsies සංගීත කණ්ඩායමේ සිටින තරුණ, ලාබාලතම, ඉතා කෙටි කාලයක් තුළ රසික ජනතාවගේ හදවත් දිනා ගන්නට වාසනාවන්ත වුණ හඬවල් කිහිපයක සංකලනයකින් යුත් දුර්ලභ ගණයේ හඬක් හිමි,දක්ෂ ගායක ශිල්පී ෂෙනාල් නිශ්ශංක සමගිනුයි මෙවර අපේ කතාබහ ඇරඹෙන්නේ.


ෂෙනාල් මේ දවස්වල මොකද වෙන්නේ?


වැඩ ටික ශේප් එකේ හොඳට කරගෙන යනවා. බෑන්ඩ් එකේ වැඩයි,පියල් අංකලු‍යි මායි අලු‍තෙන් පටන් ගත්ත වැඩයි,අපේ සෝලෝ වැඩයි ඔක්කොම හොඳට කරගෙන යනවා. Gypsies බෑන්ඩ් එකේ වැඩ ගොඩක් ඉදිරියේදී එන්න තියෙනවා.


පවුලෙ විස්තර ගැනත් අපි කියමු ?


මගේ ගම ගම්පහ.මම පාසල් ගියේ,කොළඹ නාලන්ද විද්‍යාලයට.මගේ පවුලේ ඉන්නේ අම්මා,තාත්තා සහ අයියා.ඉතින් අපි හොඳ සතුටින් ඉන්න පවුලක්.


Gypsies band එකට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ කොයි කාලේද?


මම බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්නේ හරියටම 2022 දෙසැම්බර්වල.පියල් අංකල්ගෙන් තමයි මට මුලින්ම කෝල් එක ආවේ.මං ගැන කියලා තිබුණේ එයාලගේ කලින් කීබෝඩ් ප්ලේයර් දුෂාන්.ඊට පස්සේ තමයි පියල් අංකල් මට කතා කරලා මාව සම්බන්ධ කරගත්තේ.


ෂෙනාල් අලු‍ත් නිර්මාණ මුකුත් කළේ නැතිද?


අලු‍ත් වැඩ ගොඩක් නිර්මාණය වෙන ගමන් තියෙනවා. මගෙන් ගොඩක් අය අහන්නෙත් අලු‍තෙන් සින්දු එහෙම මුකුත් කරන්නේ නැද්ද?,ඔය විදිහටම ගියාම හරිද කියලා.ඇත්තටම නැහැ,මම මේ දවස් ටිකේ අලු‍තෙන් සිංදු ගොඩක් කරගෙන යනවා. මම පොඩ්ඩක් කල්පනා කළේ ඇත්තටම,මම විශ්වාස කරන පොඩි පොයින්ට් එකක් තියෙනවා පීක් එකේ ඉද්දි සින්දුවක් රිලීස් කරන්න හොඳ නැහැ කියලා.තාම මට ඕනෑ වෙලාව ආවේ නැහැ .මේක ඒකට හොඳම වෙලාව නෙවෙයි.හොඳම වෙලාවට හොඳම එකක් දෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ.


ප්‍රසංගවල තත්ත්වය කොහොමද?


ඔව්.ගොඩක් හොඳයි.මේ මාසෙ බෑන්ඩ් එකේ වැඩයි,පියල් අංකල්ගෙයි මගෙයි “අපි දෙන්නා”කියලා අපේ ඩුවට් එක යනවා. ඒක අලු‍තෙන්ම පටන් ගත්ත අලු‍ත් වැඩක්. ඒත් එක්ක බෑන්ඩ් එකෙත් වැඩ තියෙනවා. දෙසැම්බර්වලට කලින් තව විදෙස් සංචාර හයක් විතර තියෙනවා. එහෙම වැඩ ගොඩක් තියෙනවා. දැන් එන්න එන්නම හිර වේගෙන තමයි යන්නේ.


මොකක්ද මේ “අපි දෙන්නා” කියන අලු‍ත්ම කන්සෙප්ට් එක?


ඒක අපේ අලු‍ත් කන්සෙප්ට් එක. ලංකාවේ ගොඩක් ඩුවර්ස්ලා ඉන්නවනේ. B&S ලා,ජය ශ්‍රී ලා වගේ.ඉතින් ඒ වගේ අපි දෙන්නත් බැලු‍වා වෙනම කන්සෙප්ට් එකක් කරන්න.ඒක වෙනම විදිහට කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ.සමහර වෙලාවට ගොඩක් අයට Gypsiesලව ගන්න අමාරුයි අපේ ෂෙඩූල් එකත් එක්ක. ඉතින් ඒ අයටත් ඒ වගේ වෙලාවක පියල් අංකල්වයි මාවයි ගෙන්වනවා කියන්නේ හරිම ලේසියි.බෑන්ඩ් එකේ වැඩත් එක්ක අපි තාම “අපි දෙන්නා”කන්සෙප්ට් එක ප්‍රොමෝට් කරන්න හරියට පටන් ගත්තෙත් නැහැ. නමුත් ගොඩක් හොඳ විදිහට අපේ වැඩේ කෙරීගෙන යනවා.


“අපි දෙන්නා”කියලා නම යොදා ගන්න හිතුවේ ඇයි?


අපේ Gypsies එකේ තියෙන හොඳම සින්දුවක් තමයි “ලු‍ණු දෙහි”කියන සින්දුව.ඒ සින්දුවෙන් කියැවෙන්නේ හොඳම යාළුවෝ දෙන්නෙක් ගැන.ඒක පටන්ගන්නෙත්,අපි දෙන්නා එක්වීලා කියලා. තව ඉතින් ඒ හින්දම පියල් අංකල් එක පාරක් කිව්වා අපි පියල්,ෂෙනාල් කියලා යනවාට වඩා හොඳයි “අපි දෙන්නා”කියලා කියමු කියලා.ඉතින් ඒක හැමෝටම අලු‍ත් වෙනසක් වෙයි.


ප්‍රේක්ෂක ආදරයත් ඔබ නොඅඩුවම ලබනවනේ,ඒ ගැනත් අපි කතා කරමු?


ඇත්තටම ඔව්.ගොඩක් හොඳයි.දවසින් දවස ආදරේ වැඩිවීමක් දකින්න ලැබෙනවා.ඒක ගැන හරිම නිහතමානී සතුටක් දැනෙනවා.ඇත්තටම මනුස්සයෙක්ට ජීවිතේ ලැබෙන්න පුළුවන් උපරිම සතුටක් තමයි ඒක. අපි හින්දා තව කෙනෙක් සතුටක් ලබනවා කියන්නේ,ඒක ඇත්තටම මට ලබන්න පුළුවන් ලොකුම දෙයක්. සතියකට තුන් පාරක් විතර ඒ ක්‍රවුඩ් එක දැක්කේ නැත්නම් එහෙම මට නිකං ඩ්ප්ප්‍රෙස් වගේත්.ඒ ආදරේට මමත් දැන් හුරුවෙලා තියෙන්නේ.ඒ ගැන මාරම සතුටුයි.


ඉතා කෙටි කාලයක් තුළ තමන්ගේම කියලා අනන්‍යතාවයක් හදාගන්න පුළුවන් වීම පිළිබඳව මොනවගේ සතුටක්ද තියෙන්නේ?


ඔව්,ඒක ගැන හැමදේටම වඩා සතුටුයි. කොහෙත්ම හිතපුවත් නැති දෙයක් නෙමේ වුණේ. එකපාරටම තමයි මට මේ දේවල් ලැබුණේ.මම පියල් අංකල්ට ස්තුති කරනවා, පියල් අංකල් නැත්නම් මට මේ තැන ලැබෙන්නේ නැහැ වගේම මේ තැන හැදෙන්නේ නැහැ.මම බෑන්ඩ් එකට ගිය දවසෙම අපේ අයියට කිව්වා මට අවුරුද්දක් දෙන්න ෂෙනාල් ලොකු තරුවක් වෙන්න තියෙනවා කියලා. පියල් අංකල් ඒක කලින්ම දැක්කා. ඒ වගේ හිතපු නැති විදිහට මම තැනකට ආවා.ඒ වගේම සුනිල් අංකල්ගේ ආශිර්වාදයත් හැම වෙලාවෙම Gypsies අපිත් එක්ක තියෙනවා.


ෂෙනාල් තරුණයෙක් විදියට ෆැෂන්වලටත් ලොකු ප්‍රියතාවයක් දක්වනවාද?


අනිවාර්යයෙන්ම ඔව්.ෆැෂන් කියන්නේ මගේ ජීවිතේ අංක එක. ගොඩක් වෙලාවට මම උත්සාහ කරන්නේ පුළුවන් තරම් වෙනස් දෙයක් කරන්න.ෆැෂන් ගැන,ඇඟ ගැන මම මාරම විදියට හිතෙනවා.ඉතින් මට ඕනේ පුළුවන් තරම් වෙනස් දෙයක් කරන්න. මම කැමැතියි මම කරන දෙයක් බලලා තව කවුරුහරි එහෙම කරනවනම්. ෆැෂන් කියන්නේ ඕනෑම කෙනෙක්,ඕනෑම වයසක හිටියත් අනිවාර්යෙන්ම කරන්න පුළුවන් දෙයක්. හැමෝම ලස්සනට ඉන්න ඕනෑ කියලා තමයි මම හිතන්නෙ.


රසිකාවියන්ගේ ආදරයත් නොඅඩුවම ලැබෙනවා නේද?


ඔව්.හොඳයි හොඳයි, ඒ ලැබෙන ආදරේ හොඳටම හොඳයි.


මේ වෙනකොට ෂෙනාල් ආදරවන්තයෙක්ද?


අනේ නැහැ.


මොන වගේ ආදරයක්ද සොයන්නේ?


මට තවම එහෙම එකක් ගැන ලොකු අදහසක් නැහැ. එෆයාර් එකක් ගැන හිතනවා කියන්නේ ඔළුවට පොඩි බරක් වගේ.මගේ ජොබ් එකත් එක්ක දැන්මම මට එෆයාර් එකක් බැලන්ස් කරන්න බැහැ. මම දන්නවා එහෙම දෙයක් පටන් ගත්තොත් මම මේක අනාගන්නවා ෂුවර් ඇන්ඩ් ෂෝට් කියලා. ඒක නිසාම මම මටම නීති දාගෙන ඉන්නේ,ආදරයක් ගැන දැන්මම හිතන්නේ නෑ කියලා.


පාරමී කෞෂිකා



Previous Post Next Post