ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට ගෙදරින් තහනම් කරලයි තියෙන්නේ – හිරුෂි




ගහේ කටු උල් කරන්න අවශ්‍ය නැති බව කතාවට කිව්වට එය අපූරුවට ඔප්පු කළ අතළොස්සකුත් නැතුවාම නොවෙයි.


හිරූෂි කියන්නෙත් එකී කුලකයට අයිති කෙනෙක් යැයි කීවොත් අතිශයෝක්තියක් නම් නෙමෙයි.


වෛද්‍ය රනිල් ජයසේනයන්ගේ දියණිය හිරුෂි ජයසේන සමඟයි සති අන්ත පුවත්පතක් කළ සම්මුඛ සාකච්ජාවක් පහතින් ,


කොහොමද මේ දවස්වල ජීවිතේ?


ගොඩක් හොඳියි. මගෙ අලුත් ගීතයක් රිලීස් කරා. ඒ නිසා එයින් ලැබෙන ප්‍රතිචාර සමඟ කාලය ගත කරනවා.


 අලුත් ගීතය ගැන හා හා පුරා කියල විස්තරයක් කිව්වොත්?


මගේ අනිත් ගීතවලට සාපේක්ෂව ඒක සැහැල්ලු ගීතයක්. එහි නම” අල්ලනට බැහැ”.


එයට මමයි කෙවින් ස්මෝකියොයි ගායනයෙන් සම්බන්ධ වෙනවා.එහි සංගීත අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ හසින්ත් පතිරණයි.පද රචනය බුද්ධි සන්දීපයි.තනු නිර්මාණය ශාමෙල් ෂවින්දයි. ඒ වගේම මාත් එක්ක එකට හිටපු යාළුවෝ ටීම් එකක් විදිහට එහි කටයුතු කළා.


වෛද්‍ය රනිල් ජයසේනගේ සංගීත ආභාසයත් ඔබගේ ගමනට රුකුලක් වන්නට ඇති නේද?


අනිවාර්යයෙන්ම මම පොඩි කාලේ ඉඳලම වැඩි කාලයක් හැදී වැඩුණේ මියුසික් ස්ටූඩියො එකේ. එය මට දෙවෙනි ගෙදරක් වුණා කිව්වොත් නිවැරදියි. මගේ පියා ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත බොහොමයකට පද රචනාවෙන් දායක වී තිබුණා. 1980 ඉඳන් මේ වෙනකම් ඔහු ඇල්බම් තුනක් කර තිබෙනවා. පද රචනා පොත් දෙකක් නිකුත් කර තිබෙනවා. මම ඉපදිලා අවුරුදු හයේදි පටන් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. මගේ අම්මටත් ලස්සනට ගායනා කරන්න පුළුවන්. ඔවුන්ගේ ඒ ආභාෂයය වගේම ආශීර්වාදයත් මට නිරන්තරයෙන්ම ලැබුණා.


ඔබ ගීතයක් නිකුත් කරන විට සමාජයේ පවතින රැලි එක්ක ගහගෙන යනවද? නැත්නම් තමන්ගේම ගමනක් යනවද?


රැලි අරමුණු කරගෙන මගේ ගමන මම සැලසුම් කරා නම් සංගීත වේදිකාවලට මම නැඟල ලොකු දුරක් ගිහින් ඉවරයි. මම පුංචි කාලේ ඉඳලම විවිධ රටවල සංගීත ආභාසයන් සමඟ ගනුදෙනු කළ කෙනෙක්. මම හැම විටම කැමතියි ලංකාවේ මිනිස්සුන්ට ශ්‍රව්‍ය වගේම දෘෂ්‍ය ලෙසත්, අලුත් අත්දැකීමක් එක් කරන්න. මගේ ප්‍රධානම අරමුණ ලාංකික සංගීත ආභාසයට වෙනස් සංස්කෘතීන්, වෙනස් සංගීත ආභාසයන් එක්කර නැවුම් වෙනස් නිර්මාණයක් බිහි කිරීමයි. එකී ගමනේදී අප රැල්ලත් එක්ක ගමන් කරන්නත් පුළුවන්. රැලි ගැන නොතක උඩුගම් බලා පිහිනන්නත් පුළුවන් ඒ තුළින් අප නොදන්න ප්‍රේක්ෂක පිරිසකට අපට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඒ නිසා රැල්ලට යන ගීතයක් නිර්මාණය කරන්නත් මම අකමැති වෙන්නේ නැහැ.


ඔබ වෘත්තීමය ගායිකාවක්ද?


ඔව් මම වෘත්තීමය ගායිකාවක් ලෙසයි කටයුතු කරන්නේ. මම වෛද්‍ය විද්‍යාව හැදෑරුවා. මම ලංකාවට ඇවිත් පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්න සූදානම් වන විට මම තාත්තා එක්ක ඒ ගැන සාකච්ඡා කළා. කලාවට මම ගොඩක් ආදරේ නිසා මම කලාව තෝරා ගත්තා. එහිදී ප්‍රථමයෙන් හැඟුමන් කියන චිත්‍රපටයක පසුබිම් ගායනයට මට අවස්ථාව ලැබුණා. ඉන්පසු රනිදු, ඉරාජ් ,භාතිය, සන්තුශ්, රවීන් කනිෂ්ක වැනි ගායකයන් සමඟ එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඉන්පසු තවත් චිත්‍රපටවල පසුබිම් ගායනයට ආරාධනා ලැබුණා වගේම ප්‍රසංග වලට සහභාගි වීමටත් අවස්ථාව ලැබුණා. කලාව ඇතුළෙ වැඩ කරනකොට කලාව අත්හරින්න හිතෙන්නෙ නෑ.


ඔබ නිර්මාණයක් එළිදක්වන විට ප්‍රේක්ෂකයාගේ රුචිකත්වය ගැන හිතනවද?


අනිවාර්යයෙන්ම ගීතයක් නිකුත් කරන විට ප්‍රේක්ෂකයාගේ රුචිකත්වය ගැන සිතීම අත්‍යවශ්‍යයි. අපට මිනිසුන් අතරට යන්න පුළුවන් ඒ ගැන අවධානය දුන්නොත් පමණයි. නමුත් ඒත් සමඟම කලාකරුවෙක්ට තමන්ටම ආවේණික අනන්‍යතාවක් තිබෙන්න අවශ්‍යයි .අපට තවත් කලාකරුවෙකුව කොපි කරන්නවත් අපව කාටවත් කොපි කරන්නවත් බැහැ .අපේ අනන්‍යතාවය නැති කරගන්නෙ නැතුව නිර්මාණ කිරීමයි අපගේ ජයග්‍රහණය.


ලස්සන ගායිකාවක් නිසා ප්‍රේමාරාධනාවලිනුත් අඩුවක් නැතුව ඇති නේද


මම ඒ ප්‍රශ්නෙන් පැනලා යනවා. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට ගෙදරින් තහනම් කරලයි තියෙන්නේ.


වෛද්‍ය රනිල් ජයසේන ඔබගේ ගීතයට මොකද කිව්වේ…?


තාත්ති මගේ හැම සින්දුවක්ම අහනවා. තාත්ති තමයි මගේ හොඳම ෆෑන්. අම්මත් එහෙමයි. ඇය මගේ ගීතවල අඩුපාඩුවක් තිබ්බොත් ඒ වැරදි හරි අපූරුවට නිවැරදි කරනවා.


විවිධ භාෂාවලින් ඔබ ගායනා කරනවා අප දැක තිබෙනවා. ඒ අපූරු හැකියාව ඔබගේ ගමන උඩුයටිකුරු කරන්නට හේතුවක් වන්නට ඇති ?


ඔව් ඇත්තටම හින්දි ගීත නිර්මාණයට මම ලොකු අවධානයක් දී තිබෙනවා. මම ගිය අවුරුද්දේ ෂාන් එක්ක ගීතයක් නිර්මාණය කළා. ශාන් කියන්නේ බොලිවුඩයේ දැවැන්ත හඬ පෞරුෂයක්. ශාරුක් ඛාන් ඇතුළු බොහොමයක් සුපිරි තරුවලට හඬ ලබා දුන් සුපිරි ගායකයෙක් ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්. මට ඔහුත් සමඟ ගායනා කිරීමට අවකාශ ලැබීමත් ලොකු භාග්‍යයක්. පසුගිය ජනවාරිවල ගම්මානේ කියලා දමිළ සිංහල මිශ්‍ර ගීතයක් මම රිලීස් කළා. ඒ වගේම භාෂා තුනෙන්ම වෙ‍ෙළඳ දැන්වීම්වලට හඬකවන්නත් මට අවස්ථාව ලැබුණා. එයත් මා ලද විශාල ජයග්‍රහණයක්.




Previous Post Next Post