වයස නම් හරි ඒත් තව ටික කාලයක් ඉන්න වෙයි - සංගීත් ප්‍රභූ



සංගීත් ප්‍රභූ කියන්නෙ මෙි දවස්වල අතිශය ජනප්‍රියත්වයට ලක්වුණු චරිතයක්. සංගීත් ප්‍රභූ කියන්නේ අනුරාධපුරයෙන් කොළඹට ඇවිත් කලාව තුළින් දිගු ගමනක් යන පෙර මග සලකුණු තබපු රංගන ශිල්පියෙක්. පුංචි තිරයේ ආදරේ නොඅඩුව ලබන සංගීත් මේ කාලය වැඩිපුර වෙන් කරලා තියෙන්නේ සිනමාවට කියලා දැන ගන්න ලැබුණා. ඒ නිසා ඒ ගැන වගේම ඉදිරි කලා නිර්මාණ සහ ඔහුගේ ව්‍යාපාර ගැන රසඳුන සමඟ කතා කළා.


මේ දවස්වල මොකද වෙන්නේ


සික්ස් පැක් නාට්‍යය විකාශය අවසන් වුණා. තව අලුත් නිර්මාණයක් පටන් ගන්න තියෙනවා. ඒ එක්කම සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. එක නිර්මාණයක වැඩ කටයුතු කරගෙන යන ගමන් ඉන්නේ.


අපි ඒ නිර්මාණය ගැන කියමු?


ෂර්ලි සමරසිංහ අයියාගේ සිලිලාරේ චිත්‍රපටයේ රූගත කිරීම් තමයි සිද්ධ වෙන්නේ. මට එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්න ලැබුණා.


ප්‍රධාන චරිතයක් ලැබුණු පළමු නිර්මාණය ද?


ඔව්. ඒකත් එක්කම ඊළඟට ලැබුණෙත් ප්‍රධාන චරිතයක්ම තමයි.


මොකක් ද ඒ නිර්මාණය?


ඒ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා. චිත්‍රපටයේ පිටපත ලියන්නේ ගිරිරාජ් කෞශල්‍ය මහතා.


සිනමා නිර්මාණ කීයක් මේ වෙද්දී භාර ගෙන තියෙනවද?


සිනමා නිර්මාණ තුනක් භාරගෙ තියෙනවා. ෂර්ලි සමරසිංහ අයියාගේ සිලිලාරේ, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ සහ චරිත් අබේසිංහ අයියාගේ ෆිල්ම් එක.


සිනමාවට ද මේ කාලේ වැඩි ඉඩක් දීලා තියෙන්නේ?


හැමෝගෙම ආසාව සිනමාවට දායක වෙන්නනේ. මම කෙමෙන් කෙමෙන් ඒ අවස්ථාව වෙත ළඟා වෙනවා. ඒ නිසා මේ කාලයේ කලාවෙන් සිනමාවට ඉඩක් දෙන්න හිතුවා. ඒ අතරතුර මගේ ව්‍යාපාර පැත්තටත් වැඩි ඉඩක් වැඩි කාලයක් වෙන් කරන්න හිතුවා.‍


මේ කාලයේ ව්‍යාපාර පැත්ත කොහොමද?


දැන් හොඳයි. මගේ තව ව්‍යාපාර කිහිපයක් පටන් ගත්තා. ඒ සැලෝන් ම නෙවෙයි. ඒ ව්‍යාපාර ගැන ඉස්සරහට දැන ගන්න ලැබෙයි. මේ දවස්වල ව්‍යාපාර වෙනුවෙන් මහන්සි වෙනවා.


දැන් කවද්ද සංගීත්ගේ විවාහය සිද්ධ වෙන්නේ?


වයස නම් හරි. ඒත් තව ටික කාලයක් ඉන්න වෙයි.


ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම සතුටුයි. මම නම් හරි ආසයි අපේ නිර්මාණයක් බලලා ඒ ගැන කතා කරනවට. කලාකරුවෙක්ට ඒ ලැබෙන ප්‍රතිචාරය ඉතාම සාර්ථකයි. මම ගරු කරනවා ඒ ආදරේට. මම නළුවෙක් විදියට හරි කැමතියි ඒ ආදරේ ලබන්න. අපිට ලැබෙන නිර්මාණ අපිට දැනෙන විදියට හිතලා එකිනෙකට වෙනස් විදියට රඟපාන එක තුළින් මමත් පුද්ගලිකව සතුටු වෙනවා.


සංගීත් ප්‍රභූගේ හැරවුම් ලක්ෂ­්‍යයක් ද කවඩියා කියන්නේ?


ඔව්. ඇත්තටම ජීවිතේ තියෙන්නෙම එකිනෙක හැරවුම්. එතකොට මම හැරෙන තැන් සහ හැරුණු තැන් ගොඩයි. ඉන් එක හොඳ හැරවුමක් තමයි කවඩියා කියන්නේ. අදටත් කවඩියාට ප්‍රේක්ෂකයින් ආදරෙයි. සල් සපුනා නාට්‍යය, ඒ නාට්‍යය හරහා තමයි මාව යම් පමණින් ක්ෂේත්‍රය තුළ හඳුනා ගන්නේ. නාඩගම්කාරයෝ හි කවඩියා තමයි මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. ඒ කාලේ තමයි මම මගේ ව්‍යාපාර පටන් ගන්නේ. ඒකත් එක්ක ලැබුණු දායාද ගොඩයි. ඒ ගැන අද මට සතුටුයි.


සංගීත් වගේම සංගීත්ගේ අම්මා දැකපු හීනයක් තමයි අද මේ සැබෑ වෙලා තියෙන්නේ


අපේ අම්මාගේ හිතේ තිබ්බ තව ආසාවක් තමයි මාව පුළුල් තිරයේ දකින එක. චිත්‍රපටයක කොහොමද මාව පේන්නේ කියන එක. ඒ අවස්ථාව විතරයි මේ වෙනකම් මට පෙන්වන්න බැරි වුණේ. මම අම්මාට කිව්වා කවදාහරි දවසක චිත්‍රපටයකින් මාව පෙන්වනවා කියලා. ඒ වෙලාව තමයි මේ. හැබැයි අපි ඉන්න ඕනේ වෙලාව එනකම් නෙවෙයි. ඒ වෙලාව එන්න ඕනේ කරන කැපවීම් අපි කරොත් ඕනෙම දෙයක් අපිට ලැබෙනවා. අපි උත්සාහවන්ත වෙන තාක් කල් අපිට දේවල් ළඟා වෙනවා. මම හැම කෙනෙක්ටම කියන්නේ වෙලාව එනකම් බලන් ඉන්න එපා. වෙලාවට වැඩ කරන්න. එතකොට වෙලාව එනවා අපිට ඕනේ විදියට.


අනාගත බලාපොරොත්තු මොනවද?


මටම කියලා ගෙයක් හදන්න ආසයි.


අනුරාධපුරෙන් කොළඹට එද්දී මුලින්ම ආවේ කොට්ටාවට නිසා ව්‍යාපාර පටන් ගත්තේ කොට්ටාවෙනේ, එතකොට ගේ හදන්නෙත් කොට්ටාවේ ද?


අනිවාර්යෙන්ම. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ­්‍යයක් ගෙන දුන් නගරය කොට්ටාව. මගේ ජීවිතේ අතේ රුපියලක් නැතුව හිටියෙත් කොට්ටාවේ. හැබැයි ඒ රුපියල හොයා ගත්තෙත් කොට්ටාවෙන්. මගේ ජීවිතේ මාව වෙනස් කරපු නගරය කොට්ටාව. මම කොට්ටාව ටවුන් එකේම ඉඳලා ඇති එදා වේලවත් හොයා ගන්න බැරිව. මම ගොඩ ගියෙත් කොට්ටාවෙන්ම තමයි. කොට්ටාව කියන්නේ මට වාසනාව තියෙන නගරයක්. ඒ නිසා කොට්ටාව දාල යන්නේ නැති වෙයි.


රංගනයට අලුතින් එන්න ඉන්න අයට කියන්න තියෙන්නේ මොනවද?


මගෙනුත් අනන්තවත් අහනවා චාන්ස් එකක් ගන්න බැරි ද කියලා. මම නම් කියන්නේ චාන්ස් එකක් ඉල්ලනවාට වඩා කළ යුත්තේ තමන් කැමති කලාවට නම් ඒ ක්ෂේත්‍රය ගැන හදාරන්න. මේ ක්ෂේත්‍රය ගැන හදාරන්න ඕනෑ තරම් තැන් තියෙනවා. තමන්ගේ ඉලක්කයට යන්න චාන්ස් එකක් ඉල්ලන එක නෙවෙයි කළ යුත්තේ. මට වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ නම් මම කළ යුත්තේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න එක මිසක් චාන්ස් එකක් ඉල්ලන එක නෙවෙයිනේ. කලාවත් එහෙමයි මේ තුළ යම් හැදෑරීමක් කළ යුතුයි. තමන්ගේ හීන අතහරින්න එපා. ඒ හීනෙට යන්න වැඩ කරන්න.


 අනුෂා රණසිංහ



Previous Post Next Post