යාය දාහතේ දුක් කඳු පිටින් වින්ද මට “වියළි” හරි ළඟයි- සමන්ත කුමාර



චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්ෂණය කරන වියළි ටෙලිනාට්‍යයේ තිර පිටපත් රචකයා ඔබයි. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?


මීට පෙර මම තිර පිටපත් කරපු, ගිරිදේවි ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ සම්මාන ලබාගෙන තිබුණා. ශාන්ති දිසානායකගේ නවකතාවක් ඇසුරෙන් තමයි, ගිරිදේවි තිර පිටපතක් බවට පත්වුණේ. ඒ අතරේ චන්දන ඉරුගල්බණ්ඩාර ඇවිත් තිර පිටපතක් රචනා කරන්න මට කතා කළා. ඒ වෙද්දිත් ඔහු ශාන්ති දිසානායකගේ දඩමංකඩ නවකතාව තෝරාගෙන තිබුණා. ඒ අනුව අපේ මූලික කතාබහ ඇරඹිලා අපි මේකට ශාන්ති දිසානායකගේ පොත තෝරාගෙන කතාබහ කොට වියළි නාට්‍ය තිර පිටපත ලිව්වා.


දඩමංකඩ නවකතාවම ටෙලිනාට්‍යයක් බවට පත්වුණාද? නැතිනම් වෙනස්කම් සිදුවුණාද?


මෙතෙක් මම ලියපු ටෙලිනාට්‍ය පිටපත්වලින් නවකතා පිටපත් ලිව්වේ දෙකයි. ඒ ශාන්ති දිසානායකගේ ගිරිදේවි සහ වියළි ටෙලිනාට්‍යයි. ඔය අතරේ තව එකක් ඉදිරියේ දී විකාශනය වෙන්න තියෙනවා. ඒ පොතත් ශාන්ති අක්කගේ අදුන්ගිරි පොතින් යාදින්නී ලෙස පිටපත ලියැවෙනවා. ඒකෙ රූගත කිරීම් අවසානයි. ඉදිරියේ දී එයත් විකාශනය වෙන්න නියමිතයි. අනිත් සියලුම පිටපත් මගේ ස්වතන්ත්‍ර වුණා. නවකතාවකින් ටෙලිනාට්‍යයක් ලියැවෙද්දී ඒ ඒ වස්තු බීජය ගත්තට ඒ අයුරින්ම ලියැවෙන්නේ නැහැ. ස්වතන්ත්‍රයකින් ලියැවෙනවාට වඩා නවකතාවකින් පිටපතක් ලියන්න ඉතාම අසීරුයි. බොහෝ පාඨකයෝ නවකතා කියවනවා. නවකතාවක් කියවද්දී ඒ සිතුවිලි පාඨකයන් රූප බවට පත් කරගෙන තියෙන්නේ. ඒක අපි රූප මාධ්‍ය තුළ පොදු රූපයක් බවට පත් කළ යුතු වෙනවා. මේ සිතුවිලි තමයි රූප මාධ්‍ය බවට හරවන්න වෙන්නේ. නවකතාවක දි සිතුවිලිවලින් ඕනෑ තැනක යන්න පුළුවන්. ඕනෑ දුරක, ඕනෑ වපසරියක ඇවිදින්න පුළුවන්. ඒ තුළ අපිට කාල අවකාශ අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන් ශාන්ති දිසානායකගේ පොත්වල අතීත ආවර්ජනයන් වැඩියි. රූප මාධ්‍යයේ දී අපිට පෙන්විය හැකි සීමාවල් ටිකක් තියෙනවා. රූපවාහිනියේ මාධ්‍ය සදාචාරයට යටත්ව පෙන්විය හැකි කොටස් තියෙනවා. බැරි කොටස් තියෙනවා. ඒ නිසා නවකතාවකින් රූප මාධ්‍යයට ගෙන එද්දී සිතිය යුතු තැන් තියෙනවා. නවකතාවක් ටෙලිනාට්‍යයක් කරද්දී වෙනස්කම් කරන්න සිදුවෙනවා. සමහරවිට චරිත ඉවත් කරන්න, එකතු කරන්න සිදුවෙනවා. දඩමංකඩ පොතෙත් වෙනස්කම් කළා. කිරිහාමි චරිතය, ශාන්ති චරිතය මම කතාවට ඇතුළත් කළා. මූලික වස්තු බීජයට හානි නොකර ශාන්ති අක්කාට දැනුම් දීලා අපි එහෙම වෙනස්කම් කළා.


සමන්තගේ උපන් ගම අනුරාධපුරය. වියළි වටපිටාව සහ ඒ පරිසරයත් සමන්තට ටිකක් හුරු පුරුදුයි නේද?


ඔව්... අනිවාර්යයෙන්ම. ශාන්ති අක්කගෙ පොත්වල බොහෝ විට කොලනි සමාජය තමයි ලියැවිලා තියෙන්නේ. කාන්තාවට මුල්තැන දීපු නවකතා ඇය අතින් වැඩිපුර ලියැවිලා තියෙනවා. මමත් කොලනි සමාජයක ජීවත් වුණු කෙනෙක්. ශාන්ති අක්කා සේනපුර යාය හතර සහ මම රාජාංගණය යාය දාහත. අපිට එකම සමාජයේ සිද්ධීන් තමයි සිදුවෙන්නේ. ඒ හැලහැප්පීම් අපිට සමානයි. ඒ තුළ ගැටෙන චරිත සහ ඒ සිදුවීම් මට ගොඩක් සමීපයි. මම අත්දුටු, මම දැක්ක, මම කතා කරපු චරිත තමයි මේ නාට්‍ය තුළ ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ  අත්දැකීම් පාදක වීමම මේ නාට්‍ය සාර්ථක වෙන්න හේතු වුණා කියලයි මට හිතෙන්නේ. වියළි කතාව තුළ මම දැකපු, අත්විඳපු දේ තියෙනවා.


වියළි අධ්‍යක්ෂ චන්දන ඉරුගල්බණ්ඩාර වගේම නිෂ්පාදිකා දිලූපා නිරෝෂනී ද අල්විස් මේ වියළි සාර්ථක කරන්න හේතු වෙන්න ඇති නේද? පිටපත ලිවීමේදී ඔවුන්ගෙන් ලැබුණු නිදහස සහ සහයෝගය කොහොමද?


චන්දන මුල් කොටස් පහළොව ලියද්දි පූර්ණ නිදහස මට ලබා දුන්නා. වියළි කියන්නේ චන්දනගේ කුළුඳුල් අධ්‍යක්ෂණය. ඔහු තුළ මම කෙරෙහි විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසයත්, ඒ වගකීමත් එක්ක මට කළ හැකි උපරිම දේ මම කළා. ඒ වගේම දිලූපා නිරෝෂණී ‘අ’ යන්න, නිෂ්පාදනය වෙනුවෙන් බොහෝ දේ කළා. ඇය මෙයට නිෂ්පාදනයෙන් අත නොගසන්න වියළි, වියළි වන්නම තිබුණා. දෙවැනි අදියර නිෂ්පාදනය කරන්න ඇය ලොකු ශක්තියක් වුණා. පිටපත ලිවීමේදී ඔවුන්ගෙන් මට කිසිදු බලපෑමක් තිබුණේ නැහැ. ගැටලුවක් වුණේ නැහැ.


වියළි ටෙලිනාට්‍ය රූගත කිරීම් කරද්දී ප්‍රායෝගිකව ගැටලුවලට මුහුණ දෙන්නත් සිදු වුණා නේද?


ඔව්... අපේ දර්ශන තල අලි ප්‍රහාරවලින් විනාශ වුණා. ඒ වගේම අපේ ප්‍රධාන චරිතයක් වුණු සරත් චන්ද්‍රසිරි සහෝදරයා මිය ගියා. මේ දේවල් එක්ක රචනයේ දී අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. පළමු කොටස් පහළොව අවසානයේ දී දෙවැනි කොටස්වලට යද්දී කළුගේ හේනේ තිබුණු ප්‍රධාන පැල අලි ප්‍රහාරවලින් විනාශ වෙලා ඒ පැලේ පදිංචි වෙලා හිටපු එක්කෙනෙක් මැරිලා තිබුණා. අපිට නැවතත් ඒ පැල හදන්න වුණා. මාලාගේ පැල විනාශම වෙලා තිබුණා. ඒ හැමදේම අපි අලුතෙන් ඉදි කළා. නාට්‍ය රූගත කිරීම් කරන අතරේ දවසක පහුවදා පාන්දර නැගිටලා බලද්දී දෙවැනි වරටත් කළුගේ පැල බිමට සමතලා වෙලා තිබුණා. එදා වරුවක් විතර රූගත කිරීම නතර කරලා අපි නැවතත් පැල හැදුවා. එවැනි අභියෝග රාශියකට අපිට මුහුණ දෙන්න සිදුවුණා.


චන්දන ඉරුගල්බණ්ඩාරගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වෙන්නේ වියළි. අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔහු ගැන සමන්තට තිබුණු විශ්වාසය කොහොමද?


මම මෙතෙක් කළ බොහෝ තිර පිටපත් නවක අධ්‍යක්ෂවරුන්ටයි ලිව්වේ. ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ කර පිටින් මම රචකයෙක් වුණේ නැහැ. ඉන්දික ධර්මතිලකගේ පළමු අධ්‍යක්ෂණය ගිරිදේවි ටෙලිනාට්‍යයි. ඒ හරහා ඔහු අධ්‍යක්ෂවරයෙක් වුණා. මේ ක්ෂේත්‍රය තුළ කාලයක් සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස ලබාගත් ඇත්දැකීම් අධ්‍යක්ෂවරයෙක් වෙන්න සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. මම චන්දන ඉරුගල්බණ්ඩාරව විශ්වාස කළා. ඒ වගේම චන්දන ජයසිංහ කැමරා අධ්‍යක්ෂවරයා ලෙසින් විශාල සහයෝගයක් ලබා දුන්නා. චන්දන පිටපත කියවලා චරිත අවබෝධ කරගෙන තිබුණා. ඒ හරහා ඔහු ඔහුගේ කැමරාව පිහිටෙව්වා. ඒකත් වියළි සාර්ථක වෙන්න විශාල හේතුවක් වුණා.


අද වෙද්දි වියළි තිර පිටපත කරලා අවසානයි. තිර පිටපත් රචකයා විදිහට සෑහීමට පත් වෙනවද?


ඔව්... සියල්ල ලියලා රූගත කිරීම් ද අවසන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව තුළ ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක දී ප්‍රේක්ෂකයාගේ හදවතට දැනෙන්න දෙයක් කළ යුතු වෙනවා. අපේ ප්‍රේක්ෂකයන් හරිම සංවේදීයි. ඉතින් අපිට පුළුවන් නම් අපේ නිර්මාණය තුළ හදවතට කතා කරන්න, සංවේදිකම ඇති කරවන්න පුළුවන් නම් ඒක ප්‍රේක්ෂකයන් අතරට ගමන් කරනවා. ඒ නිසා වියළි අවසානයේ දී එය ඉතාමත් සංවේදී විදියට රචනා කරන්න මට පුළුවන් වුණා. ඒ සියලු චරිත ඉතාමත් ඛේදවාචකයන්ට මුහුණ දෙන්න සිදුවන, හදවතට දැනෙන සිදුවීම් මාලාවකින් නාට්‍ය අවසන් වෙනවා. ඒ අනුව මම සාර්ථක වුණා කියලා මට හිතෙනවා.


වර්තමානයේ දී බොහෝ ටෙලිනාට්‍ය පිටපත් රචකයන් තම පිටපත් ලියන්නේ ඒ ඒ දවසට අදාළ රූගත කිරීම් කරන කොටසේ ඉඳන්. ඒ සම්බන්ධයෙන් කිසිම පෙර සූදානමක් ඔවුන්ට නැහැ. විශේෂයෙන් මෙගා පිටපත් රචකයන් වැඩි දෙනෙක් කරන්නේ මෙයයි. පිටපත් රචකයෙක් විදියට සමන්ත මෙය අනුමත කරනවද?


මම මෙතෙක් දීර්ඝ ටෙලිනාට්‍ය තවම ලියලා නැහැ. හැම ටෙලිනාට්‍යයක්ම කොටස් සියයට අඩුවෙන් තමයි ලියැවුණේ. ඒ නාට්‍යවලදී මට ඒ අත්දැකීම් ලබන්න සිදුවුණේ නැහැ. පිටපත් ලියාගෙන යමින් නාට්‍ය රූගත කිරීම් කළත් මට අවශ්‍ය පමණ ලියාගෙන යන්න නිදහස තියෙනවා. එහෙම හදිසියෙන් ලියාගෙන යාම මම අනුමත කරන්නේ නැහැ. අපේ ප්‍රේක්ෂකයන් ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වෙන්නත් ඒක එක හේතුවක් වේවි.


ඔබ අනුරාධපුරයෙන් කොළඹට ආ කෙනෙක්. අනුරාධපුරෙන් නගරයට ඇවිත් මෙලෙස නිර්මාණ තිළිණ කරන්න පුළුවන් වෙයි කියලා හිතුවද?


අපිව යම් තැනකට ගෙනියන්නේ හීනයි. කැපවීම්, හීන සහ උත්සාහය අපිව යම් තැනකට අරගෙන යනවා. ඒ කාලෙ දී කටු මැටි බිත්තියේ නළු නිළියන්ගේ පින්තූර අලවගෙන හීන මවද්දි මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. හැබැයි අරමුණක් තිබුණා. ඒ අරමුණේ හදාගත්තු වපසරියත් එක්කයි මේ ගමන එන්න පුළුවන් වුණේ. අඩුම ගාණේ අපේ ගෙදර රූපවාහිනියක්වත් තිබුණේ නැහැ. අපිට තිබුණු ලොකුම දේ ගුවන්විදුලියයි. එයින් අපි ගුවන්විදුලි නාට්‍ය ඇහුවා. සින්දු ඇහුවා. රූපවාහිනියක් බලන්න ආසා වුණු වෙලාවට ළඟ ගෙදරකට ගිහින් ටීවී එක බැලුවත් අපිට ඒ ගෙවල්වල ගැරහුම් තමයි ලැබුණේ. ඒ දවස්වල නයිට් රයිඩර්, ටාසන් බලන්න ගියාම අපේ දෑස් ඉදිරියෙම ඒ කට්ටිය ටීවී වහපු දවස් ඕනෑ තරම් මම අත්විඳලා තියෙනවා. ඒ අසරණකමම අපිට ජීවිතයට යම් ශක්තියක් එකතු කළා. ඒ විදිහට මාව ප්‍රතික්ෂේප කරපු අයම මේ තුළින් මාව දකිද්දී මෙහෙම හැඟීමක් ඇතිවෙයි කියලා ඒ කාලේ මම හිතුවේ නැහැ.


• දිශානි ජයමාලි



Previous Post Next Post