සඳ කිඳු රඟ... ගයන කුමාරි ආල තරණයට ප්‍රංශයෙන් ලංකාවට ආ Diona Dias

 


හෙක්ටර් ඩයස් කියන්නේ කවුදැයි ලාංකික සහෘද සංගීත ලෝලීන්ට අමුතුවෙන් කියන්නට වගක් නැති නිසාම ඩියෝනා කියන්නේ පුතුන් දෙදෙනෙක් සහ දුවක් ඉන්න ඒ ‘තාත්තාගේ’ ආදරණීය දූ වග පමණක් ලියන්නම් ඉතින්.


ඇයි ඩියෝනා හදිස්සියෙන් වගේ දවස් දහයකට දොළහකට ලංකාවට ආවේ?


ආ... අහන්න ඒක විශේෂයි...


පසු ගැයුමෙන්ම සවන් සනහා ලූ පුංචි කෙල්ලගේම සින්දුව අගෝස්තුවේ 16 වැනිදා එළි දකිද්දී, 


“ආල තරණය” එන ඇසිල්ලේ ඈ නැතුව කොහොමදැයි හිතුණ නිසාමයි ඩියෝනා ලංකාවට ආවේ... කොහොමත් ”ආල තරණය” සහෘද ශ්‍රාවක සංධ්වනිය උදෙසා තිළිණ වෙද්දී ආල තරණය ගැන නොකියා ඩියෝනා ප්‍රංශයටම වී ඉඳලා කොහොමද?


එහෙම හිතුණෙත් මට......


ඩියෝනා ඔබ ගායිකාවක්. කොහොමද ඔබ ගායිකාවක් කියන එක ඔබට දැනෙන්නේ?


ගීතයක් ගයන්නේ අහගෙන ඉන්න අයට හැඟීමක් දෙන්න කියලා මට හිතෙන්නේ. ඉතින් මම දැන් ගායිකාවක් කියන්නේ ගැයුමෙන් අනික් අය පිනවන කෙනෙක් කියලා තමා දැනෙන්නේ.


ඩියෝනා ඔබ ගයද්දී ඔබේ ගැයුම අනෙක් අයට දැනෙනවා කියන එක ඔබට දැනිලා තියෙනවද?


මම කියන සින්දුවේ තේරුම දුකක් දනවන දෙයක් නම් අම්මිගේ ඇස්වලින් කඳුළු එනවා. තාත්ති මම සින්දු කියද්දි ආඩම්බරෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මට හිතෙනවා අම්මිට තාත්තිට එහෙම දැනෙනවා නම් මම ගයද්දි එහෙම තව දැනෙන අය ඇති.


අම්මා තාත්තා ද ඔබේ සමීපතම සහෘදයන්?


ඔව්.


ගීතය – සංගීතය එක්ක බැඳීම ඇතිවුණේ කොහොමද ඔබට?


මම පුංචි කාලෙ ඉඳන්ම තාත්ති සින්දු කියනවා අහගෙන ඉන්නවා. සංගීතය පිරිච්ච පසුබිමක් ගෙදර තිබුණා.


ඒත් තාත්තා කෙනෙක් සින්දු කියූ පමණින්ම දුවක් සංගීතයට ප්‍රිය නොකරන්නත් පුළුවන්?


තාත්තා සින්දු කීවේ ඒක මට දැනෙන විදිහට. අහන් ඉන්න ආසා විදිහට.. මම ලොකු වෙද්දි ඒ සින්දුවල හැඟීම් තාත්ති කියලා දුන්නා. සංගීතයේ රස මට දැනෙන්න දැනෙන්න මමත් සංගීතයට ආසා කළා.


ආල තරණය... කියන්න ඒ ගැන?


සඳ කිඳු රඟ ගීතය ලියුවේ නවෝද්‍ය පෙරේරා. සංගීත සංයෝජනය සුරල් ගල්ගමුව. දැනට අවුරුද්දකට උඩදි වගේ තමා මේ ගීතය මගේ තාත්තිට ලැබුණේ. තාත්ති හිතුවා මේ සින්දුව මට ගයන්න හොඳයි කියලා. ඉතින් ඒ ගීතය මගේ අතට ලැබුණේ එහෙමයි.


පසු ගැයුම් (Cover songs) අතරම හිටපු ඩියෝනාට ඇයි හිතුණේ ඔබගේම ගීතයක් එළිදක්වන්න?


මට ආසා හිතුණා මගේම ගීතයකින් මගේ හඬ අහන්න දෙන්න. මම ආසයි ඒ සින්දුව අහලා මට ලැබෙන ප්‍රතිචාර බලන්න.


ඒ ගීතයේ තේරුම දන්නවද ඩියෝනා?


මුලින් තේරුණේ නෑ ඇත්තටම. බර වචන තියෙනවනේ. හැබැයි සින්දුව ලියපු කෙනා මට කියලා දෙද්දි ලස්සනට ආදරය ගැන තමා මේ කියන්නෙ කියලා තේරුණා. පොඩි කාලේ හැඟීමත් එක්ක සින්දු කියන්න තේරුණේ නෑ. ඒත් ටික ටික ලොකු වෙද්දි සින්දුවේ අර්ථය දැනගෙන හැඟීමකින් ගයන්න මට තේරුණා.


ඩියෝනා ඩයස් කියන්නෙ හෙක්ටර් ඩයස්ගේ රසිකයෙක්ද?


ඔව් මම මගේ තාත්තගේ දුව විතරක් නෙවෙයි. හොඳ රසිකයෙක්... මගේ තාත්තිට තියෙන්නෙ ‘unique voice’ එකක්.


අපි දකින හෙක්ටර් ඩයස් කියන ගායකයායි ඔබ දකින තාත්තයි අතර වෙනස ඔබ දකින්නෙ කොහොමද?


මගේ තාත්තා මිනිස්සුන්ට හුඟාක් ආදරේ කෙනෙක්. පුංචි කාලේ ඉඳන් මටයි අයියටයි මල්ලිටයි කියලා දුන්නේ මිනිස්සුන්ට ගරු කරන්න, ආදරේ කරන්න. ඒ වගේම තමන් තමන්ට ආදරේ කරන්න, ගරු කරන්න කියලා තාත්තා මට හුඟක් හොඳ අවවාද දෙනවා. මම තාත්තගේ ආසම වටිනාම ගුණය තමයි අනික් අයට ගරු කරන සහ ආදරය කරන ගුණය.


අම්මා තාත්තා අහිමි දරුවන් මේ ලෝකයේ ඉන්නවා. ඒ දරුවොත් ගමනක් යනවා. අම්මා තාත්තාගේ ආදරය උපරිමයෙන් ලබන ඔබත් ගමනක් යනවා. ලෝකයේ මේ වෙනස ඔබට තේරුම් ගන්න පුළුවන්ද?


ඔව්. අම්මා තාත්තා නැති දරුවන් ගැන මට දුකයි. ඒත් ඒ අයත් එයාලගේ ජීවිතය දිනන තැන් හුඟාක් තියෙනවා. අම්මා තාත්තගේ ආදරය මට ලැබෙන විදිහට මම හරි වාසනාවන්තයි. ඒත් මට තේරුම් ගන්න පුළුවන් අම්මා තාත්තා නැති දරුවෙක්ට දැනෙන දේ.


තාත්තා එක්ක ප්‍රසංගවල ගී ගයන්න කැමැත්තක් තියෙනවද?


ඔව් හරි ආසයි... බලාගෙන ඉන්නවා එහෙම දවසක් එනකම්. රඟපාන්නත් හරි ආසයි මම. රඟපෑම ප්‍රංශයේ ඉඳන්ම පටන් ගන්න මම ආසයි.


ගීතය, සංගීතය, සිනමාව ගැන ඩියෝනාට හැදෑරීමක් තියෙනවද?


ඔව්.. අධ්‍යාපන කටයුතු අතරෙම මට ඒවා ගැන ස්වයං හැදෑරීමක් තියෙනවා. මට ප්‍රංශ, ඉංග්‍රීසි, හින්දී වැනි හුඟාක් භාෂාවල ගී ගයන්න පුළුවන්. මම චිත්‍රපට බලනවා. පුංචි කාලෙ ඉඳන් සංගීතය ඉගෙන ගත්තා. හඬ පුහුණුවීම් කළා. තරගවලට ඉදිරිපත් වී නොයෙක් ජයග්‍රහණ ලැබුවා.


සිංහල චිත්‍රපට බලලා තියෙනවද?


පළමු සිංහල චිත්‍රපටය බැලුවෙ මේ වසරේ. ඒ තමයි දුස්රා. ඒක හොඳ ලස්සන සිංහල චිත්‍රපටයක් කියලා දැනුණා.


මම ප්‍රශ්නයක් විදිහට නොඇසුව යමක් ඩියෝනාට කියන්න තියෙනවනම්, කියන්න හිතෙනවනම් කියන්න?


මම දකිනවා මගේ වයසේ හුඟාක් අය විදේශයකට ගියාම ඉංග්‍රීසියෙන් ඉගෙන ගනිද්දි සිංහල භාෂාව අමතක කරනවා. ප්‍රංශයේ ජීවත් වුණත් මට කවදාවත් සිංහල භාෂාව අමතක වුණේ නෑ. සිංහල භාෂාව තියෙන්නේ ශ්‍රී ලංකාවේ විතරයි. ඒක හරි ලස්සන ගැඹුරු ‘unique’ භාෂාවක්. ඒ ලස්සන භාෂාව අමතක කරන්න එපා කියලා තමා කියන්න තියෙන්නෙ. මම හරි ආසයි ඒ භාෂාවට.



Previous Post Next Post