තනිකඩ සටන පාවා දෙන්නේ නැහැ- රන්ජන් රාමනායක




අවිවාදයෙන්ම සිංහල සිනමාවේ සුපිරි තරුව ලෙස සැලකෙන්නේ රන්ජන් රාමනායකය. රංගන ශිල්පියෙක් විදිහට පමණක් නොව දැන් ගායන ශිල්පියෙක් ලෙසද ඔහුට ප්‍රසංග වේදිකාව උඩ ඉතා විශාල ආකර්ෂණයක් ලැබී තිබේ. මෙරට වැඩිම කාන්තා ආකර්ෂණය තිබෙන්නේද රන්ජන්ට බව රහසක් නොවේ. පසුගියදා රන්ජන් මුහුණු පොතට මුදාහරිනු ලැබූ එක්තරා මංගල ඡායාරූපයක් නිසා මේ දිනවල රන්ජන් ගැන කතාබහක් ඇතිවී තිබේ. ඇත්තටම එම ඡායාරූපය පිටුපස කතාව මොකක්ද? හොර රහසේ රන්ජන් විවාහවෙලාද? ඒ ගැන මෙන්ම ඔහුගේ අලුත්ම වැඩකටයුතු ගැන අසන්නට මේ කතාබහ සිංහල සිනමාවේ සුපිරි තරුව ලෙසින් සැලකෙන රන්ජන් රාමනායකත් සමගිනි.




ඉතින්, මේ දවස්වල වැඩකටයුතු එහෙම කොහොමද?




සුපුරුදු විදිහට කලා කටයුතු කරගෙන යනවා. ලංකාව වටේම සංගීත ප්‍රසංග සඳහාත් සහභාගි වෙනවා. ඉදිරියේ මට විදෙස් ප්‍රසංග ගණනාවකටත් ආරාධනා ලැබිලා තියෙනවා.




ළඟදී කිසිම නිර්මාණයකින් ඔබ දැක්කේ නෑ. රඟපෑමෙන් අයින්වෙලාද?




අනේ නෑ. රංගනය කියන්නේ මං කරන ප්‍රධාන වෘත්තිය. ඉතින් මං අයින්වෙලා කොහොමද? අනික පොඩි කාලේ ඉ‍ඳන් මගේ හීනය වුණේ අපේ රටේ ජනප්‍රියම නළුවෙක් වෙන එක. ඒත් එක්ක දැන්ම රඟපෑමෙන් අයින්වෙන්නේ නෑ. "මුල්ලේරියා හටන" චිත්‍රපටියේ රූගත කිරීම් පටන් ගන්නවා. ඒ චිත්‍රපටයේ මං කරන්නේ වීදිය බණ්ඩාරගේ චරිතය.




ඔබ රඟපාන්න ආසාවෙන් හිටපු ඒත් ඒ අවස්ථාව නොලැබුණු නිළියක් එහෙම ඉන්නවද?




මං හිතන්නේ සංගීතා, අනෝජා වගේ ජ්‍යෙෂ්ඨ නිළියෝ ගොඩාක් එක්ක මම රඟපෑවා. අනර්කලී, උදාරි, වගේ අලුත් අය එක්කත් රඟපෑවා. හැබැයි ස්වර්ණා මල්ලවආරච්චි, චාන්දනී සෙනවිරත්න වගේ ජ්‍යෙෂ්ඨ නිළියෝ එක්ක රඟපාන්න ලැබිලා නෑ.





රන්ජන් කියන්නේ කැමරාව ඉදිරියේ සීමාමායිම් දාගත්ත නළුවෙක්ද?




සීමා මායිම් දාගෙන නෑ. මං රංගනයෙන් දායකවුණු "බහුබාර්යා" චිත්‍රපටය වගේ චිත්‍රපට තමයි ඒකට උදාහරණය. අනික චරිතාංග නළුවෙක් විදිහට රංගනයෙදි සීමා මායිම්වලට කොටුවෙන්න මං ආස නෑ.




ඔබට අසීමිත කාන්තා ආකර්ෂණය ලැබෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?




බොරු කියන්න ඕනේ නෑ ඒක ගැන සතුටුයි. මං රඟපාන්න ආවට පස්සේ තමයි මට ඒ කාන්තා ආකර්ෂණේ ඇතිවුණේ. මං කාන්තාවට හුඟාක් ගරු කරන කෙනෙක්. මං හිතන්නේ ඔවුන්ට ඒක දැනෙන හින්දයි මට ඔවුන් මෙච්චර ආදරේ කරන්නේ. ඔවුන්ටත් මං ආදරෙයි.




ඉස්සර වගේ තාමත් කෝල් එහෙම රෙකෝඩ් කරනවා ඇති?




ඒක ෆෝන්වලට එන ඔප්ෂන් එකක්. ඒ නිසා ඒක මං පාවිච්චි කරනවා. හුඟාක් අය ඒ ඔප්ෂන් එක පාවිච්චි කරනවා. මං විතරක් නෙවෙයි.




ජීවිතේ ආපස්සට ගිහින් අතපසු වූ දෙයක් නැවතත් කරගන්න අවස්ථාවක් එහෙම ලැබුණොත් ඒ අවස්ථාව ගන්නේ මොකටද?




මං පාසල් කාලේ වැඩිපුර කලාවට සහ ක්‍රීඩාවටයි යොමු වුණේ. ඒ නිසා අධ්‍යාපන කටයුතු ගොඩාක් මගඇරුනා. ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් මං අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඒ අවස්ථාව ගනියි.




දැන් දිගු කාලයක් සිනමාවේ සුපිරි තරුව ඔබ. ඔබ ඒක ඔය තරම් හොඳට පවත්වාගන්නේ කොහොමද?




ඒක ලේසි වැඩක් නෙවෙයි. හරිම අමාරු වැඩක්. පෙනුමේ ඉඳන් ගොඩාක් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මං ඒවා ගැන සැලකිලිමත් වෙනවා. ඒ දේවල්වල ප්‍රතිඵලයක් විදිහට තමයි මං අදටත් ඒ තැන ඉන්නේ.




ඔය තනිකඩ සටන පාවාදුන්නොත් එහෙම නරකද?




මම තනිකමට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ නිසා තනිකඩ සටන පාවාදෙන්න අදහසක් නෑ. කොහොමත් මං බැඳීම්වලට හිරවෙලා, වගකීම්වලට හිරවෙලා ඉන්න ආස කෙනෙක් නෙවෙයි.




ඒ කියන්නේ කවදාවත් ඔබ විවාහ වෙන්නේ නැතිවෙයිද?




ඒක ඉතින් කියන්න බෑ. මොකද මගේ දෛවය අනාගතේ කොහොම ලියවිලා තියෙනවද කියලා දන්නේ නෑනේ. දැන් තනිකඩයි. විවාහවෙන්න අදහසකුත් නෑ.


පසුගියදා එළියට දාපු ඔබේ වෙඩින් ෆොටෝ එකේ කතාව මොකක්ද?




මට විවාහ මංගල්‍යයක ගීත ගායනා කරන්න ආරාධනාවක් ආවා. ඒ ගියාම මනමාලි එක්ක මං මනමාලයා විදිහට ෆොටෝ ෂූට් එකකුත් කරන්න වුණා. ඒ ෂූට් එකේ එක ෆොටෝ එකක් තමයි රන්ජන් බැඳලා කිය කියා ෆේස්බුක්වල වෛරල් වුණේ.




රන්ජන් රාමනායක හරි ලස්සනට ෆැෂන් කරනවා නේද?




මං නළුවෙක්. මගේ දිහා ගොඩාක් අය බලාගෙන ඉන්නවා. ඒ නිසා මං ෆැෂන් කරලා ලස්සනට පෙනුමට ඉන්න ඕන.




ඇත්තටම ඔහොම කොල්ලා වගේ තරුණ පාටට ඉන්නේ කොහොමද?




මං මට හරිම ආදරෙයි. ඒ නිසා ම‍ං මාව හොඳට බලාගන්නවා. කෑම බීම ගන්න තැන ඉඳන් ශරීර සෞඛ්‍ය ගැන හුඟාක් හිතනවා. මං හිතන්නේ ඒ දේවල් එක්ක තමයි මට කොල්ලා වගේ ඉන්න ලැබිලා තියෙන්නේ.




අවසාන වශයෙන් ඔබ අනාගතය ප්ලෑන් කරලා තියෙන හැටි දැනගන්නත් කැමතියි?




මං කලිනුත් කිව්වා වගේ මගේ දෛවය අනාගතේ කොහොම ලියවෙලාද කියලා මං දන්නේ නෑ. ඒ නිසා මේ ගෙවෙන හැම තත්පරේම සතුටින් හිනාවෙලා ඉන්නවා.





Previous Post Next Post