දරාගන්න බැරි තරම් කැපිලි කෙටිලි ඇවිත් තියෙනවා-නිත්‍යා දේවින්දි



නිත්‍යා දේවින්දි කියන්නේ අපිට ඉන්න නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණේ පාර දිගේ නාට්‍ය හරහා, මේ දවස්වල නිත්‍යාව දකින්න ලැබෙන්නේ පාට කුරුල්ලෝ නාට්‍යයෙන්. ඒ වගේම නිත්‍යා කියන්නේ ආදරණීය දුවණියක් ඉන්න ආදරණීය අම්මා කෙනෙක්. මේ හැම දෙයක් අතරම නිත්‍යා මේ කාලයේ අලුත් වැඩක් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. මේ සියල්ල ගැන නිත්‍යා ‘පිනිපලස’ එක්ක කතා බහ කළා.






මේ දවස්වල අලුත් වැඩකට ලෑස්ති වෙනවා කියලා ආරංචියි...




Popular Awards දෙවන අදියරට ලෑස්ති වෙනවා. මෙවර Calin - කැලීන් Popular Awards 2024 විදියට තමයි අපි අරගෙන එන්නේ. දෙවන අදියර කියන්නේ පළවෙනි අදියරට වඩා වෙනස් සහ වැඩ වැඩියි. එහි උප සභාපති විදියට කටයුතු කරන්නේ මම. ඒ නිසා ඒ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරලා තියෙනවා. කලා ක්ෂේත්‍රයේ, සංගීත ක්ෂේත්‍රයේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍යය ක්ෂේත්‍රය වගේ ක්ෂේත්‍ර ගණනාවක ජනප්‍රියත්වය කියන තැනින් සම්මානනිය කරන්න අපි සුදානම්. මේක පොඩි වැඩක් නෙවෙයි. ලොකු වැඩක්.


පුංචි දුවෙක් ඉන්න ආදරණීය මවක් විදියට ගත කරන ජීවිතේ කොහොමද?




මේ දවස්වල නම් මම ගොඩක් කාර්යබහුලයි. හැබැයි කොයි තරම් කාර්යබහුල වුණත් ස්කයිලා එක්ක ඉන්න මම වෙලාව හොයා ගන්නවා. ස්කයිලා කියන්නේ අපේ ජීවිතේ වැදගත් ම කෙනා. මමයි හස්බනුයි නිතර කතා වෙන්නේ එයා තමයි අපිට වාසනාව ගෙනාවේ කියන එක. කොච්චර මහන්සිවෙලා කොච්චර කරදර වෙලා ගෙදර ආවත් එක ක්ෂණයකින් ඒ මහන්සිය නැති කරන්න ස්කයිලාගේ හිනාවකට පුළුවන්. දැන් එයාට අවුරුද්දයි මාස දෙකයි.




ෂූටින් යද්දී එයාව බලා ගන්නේ කවුද?




එතකොට නම් සම්පූර්ණ වගකීම බලාගන්නේ මගේ අම්මා. මගේ නංගිත් ගෙදර ඉන්නවා.


දැන් අම්මා කෙනෙක් නිසා චරිත තෝරා ගනිද්දී සීමාවන් තියෙනවද?




සීමා කවදත් තිබුණා. මම කරන්නේ මගේ චරිතයට හානියක් නොවන දේවල්. එහෙම නැතුව ඒ සීමාව මම අම්මා කෙනෙක් නිසාවත් මම කසාද බැඳපු කෙනෙක් නිසාවත් පනවා ගත්ත සීමා නෙවෙයි. මම ක්ෂේත්‍රයට ඇවිත් තනිකඩව ඉන්න කාලෙත් සීමාවන් ඇතුළේ හිටියේ. මම මගේ ආත්ම ගරුත්වයට හානි වෙන දේවල් කිසිම තැනක කරන්න කැමැති නැහැ.




නිත්‍යා චරිතයක් තෝරා ගනිද්දී මුලින්ම බලන්නේ මොනවද?




මට රඟපාන්න දෙයක් තියෙනවද කියන එක තමයි මම මුලින්ම බලන්නේ. ඒ චරිතය තුළ මට නිදහසේ රඟපාන්න බැරි නම් මම ඒ චරිතය කරලා තේරුමක් නැහැ.



නිත්‍යා කියන්නේ අවුරුදු කුමාරියක්, එහෙම ඇවිත් නිළියක් නොවුණා නම් කවුරු වෙන්න තිබ්බද?




අවුරුදු කුමාරියක් වෙලා නිළියක් නොවුණා නම් මම කවුරු වෙයිද කියලා මටවත් හිතාගන්න බැහැ. මම අරමුණු හීන බලාපොරොත්තු එක්ක ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මට පොඩි කාලේ ඉඳන්ම ගෙදරින් කිසිම බලපෑමක් තිබ්බේ නැහැ ඔයා මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියලා. මගේ අම්මා හඳුනාගෙන තිබ්බා මගේ හැකියාව තියෙන්නේ කලාවට කියන එක. ඒ නිසා තමයි මට ඒ අය අවුරුදු කුමාරි තරගයකට යන්න කියලා කිව්වේ. මම මේ කලාවට එන්න කලින් ආයතන දෙකක පමණ වැඩ කරලා තියෙනවා. ඒ ආයතනවලදී පවා මට දරාගන්න බැරි තරම් කැපිලි කෙටිලි ඇවිත් තියෙනවා. ඒ නිසාම ඒ තැන්වලින් ඉවත් වුණා. මගේ දෛවය තුළ කොහේ හරි තැනක රංගන ශිල්පිනියක් කියලා ලියවිලා තියෙන්න ඇති.




ආදරණීය සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?




 රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා නම් ඒ සඳහා ස්වාමියාගෙන් හෝ බිරිඳගෙන් ලැබෙන සහයෝගය මත තමයි එහි දුර තීරණය වෙන්නේ. විශේෂයෙන්ම මගේ සැමියාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. සමහර වෙලාවට මම අතහරින්න හදන වැඩ එයා මට කියනවා ඇයි අත හරින්න හදන්නේ ඔයාට පුළුවන් කියලා. ඒ සහයෝගය මත තමයි මගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. ඒ හැර කිසිම තැනකදී මාව හිර කරලා නැහැ. එයා දන්නවා මම කොහේ ගියත් මගේ නම බේරගෙන ගෙදර එනවා කියලා. මම බොහොම නිදහස් ගමනක් මේ කලාව තුළ යනවා. ඒකට ප්‍රධානම හේතුව මගේ ආදරණීය සැමියා ගීතාංජන කොස්තා. මම මේක අවස්ථාවක් කර ගන්නවා එයාට ස්තුතිවන්ත වෙන්න.


සම්මාන ගැන මොකද හිතෙන්නේ...




සම්මාන කියන දේ හැම කෙනෙක්ටම වටිනවා. තමන් කරන දේ අගයනවා නම් ඒක වටිනවා. ඒ අගය කිරීම හුදෙක් වචනයට සිමා නොවී සම්භාවනීය අමුත්තන් පිරිසක් මැද සම්මානයක් දීලා අගය කරනවා කියන්නේ මාර වටිනවා. සමහර වෙලාවට සමහර අය කරන දේවල් අගයන්න තැනක් නැහැ. ඒ නිසා කුමන හෝ ක්ෂේත්‍රයක මහන්සි වෙලා වැඩ කරන මිනිසුන්ට සම්මානයක් කියන්නේ මහා මෙරක් වගේ දෙයක්. සම්මාන ගන්න ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා. පෙරුම් පුරනවා. අපිත් Calin - කැලීන් Popular Awards 2024 හරහා ඒ ඒ ක්ෂේත්‍රවල ජනප්‍රිය අය අගයන්න බලාගෙන ඉන්නවා. සම්මාන කියන දේ මටත් වටිනවා. දවසක මටත් සම්මානයක් ගන්න පුළුවන් වෙයි කියන තැන මම ඉන්නවා.



Previous Post Next Post