ඔක්කොටම හරියන්න එක ගොසිප් එකක් වයිරල් වුණා -අසංකි ද සිල්වා



අසංකි ද සිල්වා කියන්නේ නිරූපිකාවක්, රූ රැජනක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. රෂ්, යුගාත්‍රා වැනි සිනමා නිර්මාණය හරහා සිනමා ප්‍රේක්ෂකයාට සමීප වූ අසංකි ටෙලි නාට්‍ය රංගනයට ද දායක වුණා. කලක් පුංචි තිරයෙන් නිහඬව සිටි ඇය යළිත් පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයින් අතරට එන්න සූදානමින් ඉන්නවා. ඒ ITN නාළිකාවෙන් විකාශය වන රොන් නාට්‍යය තුළින්. ඒ ගැන අසංකි රසඳුන සමඟ කළ කතාබහයි මේ…


අසංකි කාලෙකින් පුංචි තිරයට ඇවිත්


ඔව්. කාලෙකින් කියන්නේ සෑහෙන කාලෙකට පස්සේ තමයි පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ. පුංචි තිරයේ නිර්මාණ භාර ගන්නේ නැහැ කියන තැන මම හිටියේ නැහැ. පසුගිය කාලේ වැඩි ඉඩක් සිනමාවට දුන්නට හොඳ තිර පිටපතක් ලැබුණොත් කරනවා කියන තැන මම හිටියේ. ඒ ඉන්න අතරතුර තමයි මට මේ රොන් නාට්‍යයේ පිටපත ලැබුණේ. මීට පෙරත් මම ප්‍රදීප් ධර්මදාස එක්ක වැඩ කරලා තියෙනවා. එයාගේ නිර්මාණත් හොඳයි. ඒකත් එක්ක හිතුවා මේ නාට්‍යය භාර ගන්න ඕනේ කියලා.


රොන් පටන් ගත්තා විතරයි, චරිතය ඉදිරියට ගලා යෑම ගැන ඉඟියක් දුන්නොත්?


රොන් හි මගේ භූමිකාව නිත්‍යා. නිත්‍යා කියන්නේ එක පැත්තකින් මගේ පෞද්ගලික ජීවිතේටත් සමානකම් තියෙනවා. වැඩි විස්තරයක් දැන්ම කියන්න කැමති නැහැ. හේතුව ප්‍රේක්ෂකයන් කුතුහලයකින් ඉන්නේ රොන් මොන වගේ නාට්‍යයක් ද කියන එකත් එක්ක. මේ නිර්මාණය තුළ කළු සුදු කියන දෙපැත්තම තියෙනවා.


මේ කාලයේ කලාවේ වැඩ කටයුතු කොහොමද?


රොන් නාට්‍යයට අමතරව සනත් අබේසේකරගේ අලුත් චිත්‍රපටයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා. සැප්තැම්බර් මාසයේ ගොඩක් දුරට එහි රූගත කිරීම් ආරම්භ වෙයි. ඒ එක්කම මම සුපුරුදු පරිදි නිරූපණ කටයුතු කරනවා.


අසංකිට චරිතවලට සීමාවන් නැද්ද?


මම කැමතියි විවිධ චරිත ලැබෙනවා නම්. ඒ නිසා මම චරිතවලට සිමාවන් පනවාගෙන නැහැ. හැබැයි ඒ චරිත ඇතුළේ කරන්න තියෙන දේවල්වලදී සීමාවන් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් මම නිරුවත් දර්ශනවලට පෙනී ඉන්නේ නැහැ. ඒ හැර විවිධ චරිත ලැබෙනවා නම් කැමතියි.


මේ කාලයේ ලැබෙන නිර්මාණ ගැන තෘප්තිමත් ද?


ලැබෙන නිර්මාණ එක්ක තෘප්තිමත් වෙන්න බැරි කමක් තියෙන්නේ. ඒකත් එක්ක චිත්‍රපට කිහිපයක්ම ප්‍රතික්ෂේප කරන්න වුණා. නිර්මාණය කොයි තරම් හොඳ වුණත් ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න වෙන අවස්ථාත් තියෙනවා.


අසංකි අය කරන මිල ගණන් වැඩි ද? ඒ නිසා නිර්මාණ අතහැරුණද?


එහෙම පැත්තකුත් තියෙනවා. මම කාටවත් දරන්න බැරි තරම් ලොකු මුදලක් ඉල්ලන්නේ නැහැ. බොහොම සාධාරණ ගාණක් මම නිර්මාණයකින් ඉල්ලන්නේ. රටේ මේ වෙද්දී තියෙන වාතාවරණය එක්ක හැමදේම මිල වැඩියි. නමුත් අපිට නිර්මාණවල කතා කරන්නේ මීට අවුරුදු 10කට විතර කලින් ගත්ත මිල ගණන්වලට. එහෙම වුණාම අමාරුයි. ඒ වෙලාවට අකමැත්තෙන් වුණත් ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න වෙනවා.


අසංකි කියන්නේ හුදකලාවට ප්‍රිය කරන කෙනෙක් ද?


ඔව්. අවශ්‍යද නැද්ද? ඒකට ප්‍රධාන හේතුව මම මෑත කාලයේ අත්වින්ද දේවල්. මම හැමෝම එක්ක කතා කරනවා. හැබැයි මම ඉන්නේ අතේ දුරින්. දුරින් ඉන්නවට වඩා ඕනෑවට වඩා ළං කර ගත්තම ඒ අය ටික කාලයක් යද්දී වෙනස් වෙනවා කියන එක මට දැනුණා. ඒකත් එක්ක මම හිතුවා හැමෝම එක්කම හොඳින් ඉන්න නම් හැමෝම එක්ක දුරින් ඉන්න ඕනේ කියලා. කිහිප දෙනෙක් ඉන්නවා මම ළඟින් ආශ්‍රය කරනවා.


අසංකි කියන්නේ සැර නපුරු කෙනෙක්. ඔබේ දිහා බලලා කෙනෙක් එහෙම කියාවි. ඇත්තටම ඔබ නපුරු කෙනෙක්ද?


ඒ කියන කතාව හරි. මාව මුලින්ම දකින අය හිතන්නේ මම සැර කෙනෙක් කියලා. නමුත් ඒ අයම මට කියනවා අපි මුලින් හිතුවේ ඔයා සැරයි කියලා, ඒත් ඔයා එහෙම නැහැ කියලා දන්නේ කතා කළාම කියලා. ගොඩක් අය ඒක මට කියලා තියෙනවා. මම හිතන්නේ ඒ මගේ බාහිර ස්වාරුපය එක්ක. මගේ පෙනුමේ තියෙන ප්‍රශ්නයක් ඒක. මම එහෙම සැර කෙනෙක් නෙවෙයි. මම ඕනෙම කෙනෙක් එක්ක සුහදව ඉන්න කෙනෙක්.


අයියලා දෙන්නෙක් එක්ක හැදුනු අසංකිට, පසුගිය කාලේ ලොකු කඩාවැටීමක් සිද්ධ වුණා. ඒ දේ ගැන කිව්වොත්?


මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි. ඉතින් මගේ ලොකු අයියා නොසිතු වෙලාවක හෘදයාබාධයකින් නැති වුණා. ඒකත් එක්ක ඇත්තටම අපි කඩන් වැටුණා. ඒ ආරංචිය තාත්තා එදා මට කිව්ව විදියවත් මම ආයෙමත් මතක් කරන්නවත් කැමති නැහැ. ඒ තරමට මට දුකයි. ජීවිතේ මේ හැමදේම අපිට වුණත් දාලා යන්න දවසක් එනවා කියන එක මට තදින්ම දැනුණා. මම ගෙදර අයටත් කිව්වේ අපි ඕනේ තරම් මළගෙවල්වල ගිහින් තිබුණත් තමන්ගේම කෙනෙක් නැති වුණාම තමයි ඒ දුක හරියටම දැනුණේ. මට ඒ දේ දැනුණේ මගේ ලොකු අයියා නැති වුණු දවසේ.


ආදරය සහ විවාහය අසංකි දකින්නේ කොහොමද?


ආදරේ කියන දේවල් තුළ පොසිටිව් සහ නෙගටිව් අත්දැකීම් අත්විඳලා, අත් දැකලා තියෙනවා. ඒකත් එක්ක මම මේ වෙලාවේ ආදරය සහ විවාහයට වඩා ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ මගේ වෘත්තියට. ඒක තමයි නම්බර් වන්. ඒ නිසා ආදරය සහ විවාහය ගැන හිතන්න මට වෙලාවක් නැහැ. මම විශ්වාස කරනවා ආදරය සහ විවාහය කියන කාරණාවේදී අපි කලබල විය යුතු නැහැ. එහෙම කලබල වෙලා තීරණ ගත්තම තමයි පසු කාලීනව දික්කසාද වගේ දේවල්වලට යන්නේ. ඒ නිසා ඒ දේවල්වලට හරි වෙලාව ආවම හරිම කෙනා මුණගැහෙයි. එතකම් මම මගේ දේවල්වලට කාලය දීලා මගේ වටපිටාව සූදානම් කර ගන්නවා. විවාහ වුණත් මගේ පැත්තෙන් මම ස්ථාවර වෙලා ඉන්න එක එයාටත් හොඳයි මටත් හොඳයි.


ඉදිරියට එන්න නිර්මාණ තියෙනවද?


සිනමා නිර්මාණ තුනක් එන්න තියෙනවා. එකක් ජිගලෝ, තව නිර්මාණයක දැනට තියෙන නම වෙනස් කරන්න යන අදහසක් තියෙනවා. ඒ එක්කම ආදර සිහිනයක් කියලා තවත් අලුත් නිර්මාණයක් එන්න තියෙනවා.


අසංකිට හැදුණු ගොසිප් එක මොකක් ද?


මට සාමාන්‍යයෙන් ගොසිප් හැදිලා තියෙනවා හරිම අඩුයි. ඒ මම ඉන්න විදිය එක්ක වෙන්න ඇති. එක ගොසිප් එකක් හැදුණා මේ ඔක්කොටම හරි යන්න. ඒ තමයි යුගාත්‍රා ෆිල්ම් එකේ සින්දු රිලීස් එකට කරපු කැම්පේන් එකක් නිසා. අපි ඒ ප්‍රමෝෂන් එක කළේ වැලන්ටයින් දවසේ. ඒකත් එක්ක මෙන්න චන්නගේ අලුත් පෙම්වතිය කියලා යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍යවල වයිරල් වුණා. ඒකත් එක්ක ගොඩක් අය ඒක සීරියස් අරගෙන තිබ්බා. ඒ කාලේ ඒ ගැන අහන හැමෝටම කියන්න වුණා නැහැ මේක මගේ අලුත් ෆිල්ම් කැම්පේන් එකක් කියන එක.


අද වෙද්දී රංගන ශිල්පිනියක් වීම ගැන මොකද හිතෙන්නේ?


ඒක දැනෙන්නේ ලොකු පිනක් සහ ලොකු භාග්‍යයක් විදියට. මේ ජීවිතේ දී අපි ආස කරන හැමදේම ලබා ගන්න බැහැනේ. හැබැයි මම ආස වෙද්දී හැමදේම වගේ මේ වෙද්දී ලබාගෙන තියෙනවා. ඒ ගැන මට සතුටුයි සහ මම හිතනවා මම වාසනාවන්තයි කියලා.


අනුෂා රණසිංහ




Previous Post Next Post