දරාගන්න බැරි ආදරයක් දැන් මට ලැබෙනවා-එෂාන් ඩයස්




එයා එෂාන් ඩයස්...මතකයට නොඑන්න විදිහක් නෑ.. නෑ.. නෑමයි ඉතින්... දවසේ එක තත්ත්පරයක් හරි ඉතින් සමාජ මාධ්‍යයේ සැරිසරනවනම් එයාව හමුනොවෙන්න විදිහක් නම් නෑ ඔයාට... දිගට කොණ්ඩය වවපු, ලස්සන ලස්සන පාටවලින් නියපොතු පාට කරන, තොල් මත වර්ණ තවරන, දිලිසෙන ලොකු ගල් අල්ලපු මුදු ඇඟිලිවලට දාගත්ත මෝස්තරකාර ජැන්ඩිපහට අඳින පළඳින ඉලන්දාරියා කොහොම අමතක වෙන්නද ඔයාට...



ඉතින් පාට පාට කමිසයකුත් ඇඟලාගෙන, ලොකු නිල් ගලක් අල්ලපු දිලිසෙන මකුළු මුදුරාජයෙකුත් ඇඟිල්ලෙ දාගෙන හායි ගාගෙන ඇවිත් උණුසුම් හාදුවක් මගේ වම් කම්මුලේ තියලා මාව පිළිගත්ත එෂාන් තමයි මෙවර හදසර අපේ කවරය හැඩගන්වපු ආදර නාඹර කටකාර විසේකාරයා...


ඉතින් එෂාන් දැක්කමනම් හිතෙන්නෙ හැමදාම හැම මොහොතකම හරි සතුටින් ඉන්න කොල්ලෙක් කියලා?


ඔව්.. ජීවිතයේ හැමදාම එහෙම සතුටින් ඉන්න තියෙනවනම් ඊට වඩා වාසනාවක් ඊට වඩා ලබන්න දෙයක් තවත් ජීවිතයේ තියෙනවද? මගේ ජීවිතයේ මට ලැබුණු දේවල් ගැන ලැබෙමින් තියෙන දේවල් ගැන මම ඇත්තටම හරිම තෘප්තිමත්.

Qගුරුවරයෙක් විදිහට ගෙවපු අතීතයේ එක්තරා කලා පරිච්ඡේදයක් දිහා හැරිලා බලද්දි කලාවත් එක්ක ගෙවන මේ ජීවිතේ ඊට වඩා හුඟාක් රහයි කියලා හිතෙනවද? දැනෙනවද?


සැබෑ ගුරුවරයෙක් කියන්නෙ සමාජය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් කරන කෙනෙක්. දොහොත් මුදුන් දී වඳින්න ඕනෑ වෘත්තියක් ඒ. ඒත් කලාව කියන්නෙ වෙනම රහක් තියෙන හරි වෙනස් වෘත්තියක්. හිතාගන්න බැරි විදිහට වෙලාවකට මිනිස්සුන්ගෙන් චෝදනා වගේම දරාගන්න බැරි තරම් ආදරයක් ආකර්ෂණයක් හිමිවෙන වෘත්තියක්. එක රාමුවක් ඇතුළෙ රාමුගත වෙච්ච වෘත්තියකුත් නෙවෙයි. ඇත්තටම කලාව කියන්නෙ හරි මානසික සැහැල්ලුවක්, සතුටක්, තෘප්තියක් ඇති කරන ක්ෂේත්‍රයක්. ඒකනෙ එෂාන් හැමතිස්සෙම මෙහෙම සතුටින් ඉන්නෙ. 




එෂාන් කියන්නෙ ඇත්තටම අමුතු තරුවක් විදිහටයි මට පේන්නෙත් හැඟෙන්නෙත්?


සමාජ මාධ්‍ය ඔස්සේ මම එක එක වීඩියෝ කරලා මුදාහැරියම දන්නෙම නැතුව මම තරුවක් වෙලාද? දැන්නම් මම ටෙලිනාට්‍යවලත් රඟපානවා. ඔයත් මට අමුතු තරුවක් කියලා කියපු නිසා එහෙම ඇහුවෙ. එහෙම හිතෙනවනම් දැනෙනවනම් ඉතින් ඒ සතුටත් මටමයි. 


හැබැයි සමාජ මාධ්‍ය එක්ක ගනුදෙනුව පටන් ගත්ත මුල්ම කාලෙ නම් එෂාන්ට ආදරයට වැඩිය ලැබුණෙ අමුතු අමුතු චෝදනා නේද?


අනේ ඔව්. ඒ මුල්ම කාලෙ මට හරියට දොස් කියලා මම අඳින පළඳින කතා කරන විදිහ විවේචනය කරලා මම මොකෙක්ද කියලා අහලා හරිම හිත රිදෙන ප්‍රතිචාරත් ලැබුණා. මුල්ම කාලෙ ඒ ප්‍රතිචාර මට දරාගන්න අමාරුයි වගෙත් දැනුණා. ඒත් ටිකෙන් ටික ටිකෙන් ටික මට බැණලා, මාව විවේචනය කරලා, මට දොස් කියලා දාන ප්‍රතිචාර දරාගන්න මම පුරුදු වුණා. මට හිතෙන්නෙ ඒ ප්‍රතිචාර මටවත් හිතාගන්න බැරි විදිහට මාව ශක්තිමත් කළා. හැම අසුබවාදී ලැබීමක්ම, ප්‍රතිචාරයක්ම සුබවාදී අරමුණක් වෙනුවෙන් පරිවර්තනය කර ගත්තම ඕනෑ දෙයක් දරාගෙන තමන්ට තමන්ගෙ ගමන යන්න පුළුවන්.


තොල් නිය පාට කරන්න, සාරිය අඳින්න, ගෑනු ළමයෙක් වගේ අඳින්න පළඳින්න මොකක්ද එෂාන් ඔයාට මේ තියෙන ආසාව කැමැත්ත?


මම හිතන්නෙ සාරියත් එක්ක මට තියෙන්නෙ ආත්මගත බැඳීමක්. පුංචි කාලෙත් මාව නලවන්න ලේසිම විදිහ අම්මගෙ ආභරණ, ආලේපන මට දෙන එකලු. මගේ ගෙදර අය, මගේ අම්මා තාත්තා, ආච්චි නංගි මගේ ආසාව, කැමැත්ත, විදිහ හරි අවබෝධයෙන් තේරුම් ගත්ත එක මට හරි සහනයක් ඉතින්. 


සමාජ මාධ්‍යයෙන් මුලදි ලැබුණු චෝදනා අපහාස පුදුමාකාර ආදරයකට ආකර්ෂණයකට පෙරළෙන්නත් එච්චර කාලයක් ගියෙ නෑ නේද?


ඒක නේන්නම්. ඒක හරි සතුටක්. මට හිතාගන්න බැරි විදිහට හරි ආදරණීය ප්‍රතිචාර තමා දැන් ලැබෙන්නෙ. මම හැමතිස්සෙම හිනාවෙලා ඉන්න කැමති ඕනෑම කෙනෙක් එක්ක සුහදශීලීව කතා කරන, පින්තූරයක් ගන්න එන්න කිව්වොත් හරි ආසාවෙන් පින්තූරයක් ගන්න යන, මිනිස්සුන්ට ඇත්තටම ආදරය කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති එහෙම ආදරයක් ආකර්ෂණයක් මට ලැබෙන්නෙ. මම විශ්වාස කරනවා අපි ලෝකයට දෙන දේ තමා පෙරළා ලෝකයෙන් අපට ලැබෙන්නෙත්. 


ලිංගික සංක්‍රාන්තිකයන්, සමරිසි පුද්ගලයන් දිහා වෙනස් අමුතු ඇහැකින් බලන්න පුරුදු වෙච්ච සමාජයක් අපේ ඇස් ඉස්සරහ තාමත් තියෙනවා. මම හිතන්නෙ ඒ දැක්ම හරි අසාධාරණයි. තමන්ට තමන් වීමේ අයිතිය, තමන්ගේ ලිංගික රුචිකත්වය තීරණය කිරීමේ අයිතිය ඕනෑම පුද්ගලයකුට තියෙනවා. මේ පුද්ගල අයිතීන් දිහා සමාජය වෙනස් ඇහැකින්, අමුතු ඇහැකින් බලද්දි මේ සමාජයේ පුරවැසියෙක් විදිහට එෂාන්ට ඒ ගැන තියෙන්නෙ කොහොම හැඟීමක්ද?


ඕනෑම මනුස්සයෙකුට තමන් වෙලා ජීවත් වෙන්න අයිතිය ඕනැම සමාජයකදී හිමිවිය යුතුයි. කෙනෙක් අඳින්න පළඳින්න, හැසිරෙන්න, ජීවත් වෙන්න ඕනෑ තව කෙනෙක්ගෙ රුචිකත්වයට, පාලනයට අවශ්‍ය විදිහට නෙවෙයි. පුද්ගලයෙකුට නිදහස තරම් වටිනා දෙයක් තවත් නෑ. යම් පුද්ගලයෙක් ලිංගික සංක්‍රාන්තිකයෙක් වෙනවනම්, සමරිසි පුද්ගලයෙක් වෙනවනම් ඒක සමාජ විකෘතියක් නෙවෙයි. ඒක ඒ පුද්ගලයගේ කැමැත්ත. පොදු සමාජයට හිරිහැරයක් පීඩනයක් අසාධාරණයක් නොවන ඕනෑම වාතාවරණයක් තුළ තමන්ගේ හෘද සාක්ෂිය අනුව තමන් තමන් විදිහට ජීවත්වීමේ අයිතියට මේ මුළු ලෝකයම ගෞරව කළ යුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ. 



Previous Post Next Post