ප්‍රේමය අත්විඳල තිබුණට දැන්නම් ආදරවන්තයෙක් නෙමෙයි-කුසල් මධුරංග




ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ බණ්ඩා ලෙසින් ඔබ හමුවට ආ ඔහු මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ‘පාට කුරුල්ලෝ’ ටෙලි නිර්මාණයේ මංජිතය. ‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ සන්නාමය බවට පත් වූ බණ්ඩා මෙන්ම මංජිත ද ප්‍රේක්ෂක සිත්වල පෙරළියක් කරමින් සිටින බව පැහැදිලිය. පුංචි තිරය මත විවිධ වෙස් මවමින් ප්‍රේක්ෂක ආදරය දිනා සිටින ඔහු කුසල් මධුරංගය.


කුසල් කියනවටත් වඩා බණ්ඩා කිව්වම තමයි ඕනෑම කෙනෙක් ඔබව දන්නේ. එතකොට මංජිත වෙලා මේ දවස්වල කරන සෙල්ලම මොකක්ද?


ඇත්තම කිව්වොත් ‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ බණ්ඩා කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. බණ්ඩාට ප්‍රේක්ෂකයො පුදුමාකාර ආදරයක් දුන්නා. අදටත් ඒ ආදරේ අඩුවක් නෑ. අදටත් බොහෝ දෙනා කතා කරන්නේ, හැඟීම් බෙදා ගන්නේ බණ්ඩත් එක්ක. ‘පාට කුරුල්ලෝ’ ටෙලි නිර්මාණයේ මංජිත විදිහට එළියට එන්නෙත් එදා ඒ ලැබුණු පන්නරයම තමයි. මේ දවස්වල මංජිතටත් බණ්ඩට වගේම ආදරයක් ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.


ඒ කියන්නෙ මංජිතට පාර කපල දුන්නෙ බණ්ඩා?


ඔව්. මං හිතන්නෙ බණ්ඩා වෙන්න ඕන මංජිත වෙන්න සුදුසුකම වුණේ. ‘පාට කුරුල්ලෝ’කියන්නෙත් සිවා අයියගෙම වැඩක්. තිර පිටපත බුද්ධික සේමසිංහගේ. ඔහුත් දක්ෂ තිර පිටපත් රචකයෙක්. මට මංජිතගේ චරිතය කරන්න කියලා අධ්‍යක්ෂවරයාගෙන් සහ නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියගෙන් ආරාධනාව ලැබුණේ. මේ තුන් දෙනා එක්කම මං වැඩ කරල තියෙන නිසා හරිම සතුටින් භාරගත්තා. නැවතත් හොඳ නිර්මාණයකින් මිනිස්සු අතරට යන්න පුළුවන් වුණා කියල හිතෙනවා.


මංජිතට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


ගොඩක් ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. කොහොමද අර ගෑනු ළමය එක්ක ඉන්නෙ කියල තමයි කවුරුත් අහන්නේ.


කෙවින් – මංජිත යුගලත් හරි අපූරුවට ගැළපිලා තියෙනවා. කොහොමද ඒ හමුවීම?


කෙවින් කියන්නේ සජිත ඇන්තනී. ඔහු මගේ කැම්පස් කාලෙ ඉඳන්ම හොඳ යාළුවෙක්. අපි දෙන්න කැම්පස් එකේදි වේදිකා නාට්‍යකට රංගනයෙන් දායක වුණා. ඒත් ආයෙම කවදාවත් අපිට එකට නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණෙ නැහැ. මේ තමයි පළමුවැනි අවස්ථාව. සජිත කියන්නෙ කැපවීමෙන්, උනන්දුවෙන් වැඩකරන දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුත් මට ලොකු හයියක්. බොහෝ විට අපි දෙන්න කතා කරල තිර පිටපතට හානියක් නොවෙන්න පොඩි පොඩි ආල වට්ටම් දාන වෙලාවල් තියෙනවා.


පාර දිගේ බණ්ඩා වගේම නාඩගම්කාරයෝ සරාත් ප්‍රහසනාත්මක චරිත. කෙවින් – මංජිත කියන්නෙ ඒ දෙකේ සංකලනයක්. ඒ ගැන මොකද හි‍ෙතන්නෙ?


ඒ සංකලනය ගොඩක් සාර්ථකයි කියලා මට හිතෙනවා. ‘පාර දිගේ’ බණ්ඩා වගේම ‘නාඩගම්කාරයෝ’ සරා කියන්නෙ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් වැලඳ ගත් චරිත දෙකක්. ජනප්‍රිය නිර්මාණ දෙකක ජනප්‍රියම චරිත දෙකක් එකට හමුවෙන තැනත් ප්‍රේක්ෂකයාට අපූරු අත්දැකීමක් වේවි.


රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නිර්මාණයේ සමරෙ කියන්නෙත් ඔබේ වෙනත් පැතිකඩක්?


ඔව්. ඒකත් ජනප්‍රිය නිර්මාණයක්. සමරෙ කියන්නෙ ටිකක් සීරියස් කැරැක්ටර් එකක්. ‘රැල්ල වෙරළට ආදරෙයි’ නිර්මාණයට මට සම්බන්ධ වෙන්න ලැබෙන්නෙ අතර මැදදි. ඒ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම සිරස නාළිකාවේ ‘සර්කස්කාරයෝ’ ටෙලි නිර්මාණයේ මචංටත් ප්‍රේක්ෂකයො ගොඩක් කැමතියි.


කුසල් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකාවෙන් ?


පාසල් වේදිකාවෙන් තමයි මගේ රංගනයට අඩිතාලම වැටෙන්නේ. ඒත් එක්කම ධර්මප්‍රිය ඩයස්ගේ ‘ජූලියස් සීසර්’ නාට්‍ය හරහා ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ දිගටම වේදිකාවට ආරාධනා ලැබුණා. ටෙලි නිර්මාණ දෙක තුනකට දායක වෙලා තිබුණත් ‘පාර දිගේ’ බණ්ඩා හරහා තමයි ප්‍රේක්ෂකයා මාව අඳුනගත්තේ. මේ වෙද්දි ජනප්‍රියම තලයේ ටෙලි නිර්මාණ කිහිපයකට ප්‍රධාන චරිතවලින් සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව සනත් ගුණතිලකගේ ‘ගඟුලක ගිනියම’, සුනිල් ප්‍රේමරත්නගේ ‘ලොක්ඩවුන්’, චාලක ජයසිංහගේ ‘ෂැඩෝ’ වගේම මෑතකදී සම්බන්ධ වුණු උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනි අවි සහ ගිනි කෙළි- 2’ හරහා සිනමාවටත් සම්බන්ධ වුණා. ‘ෂැඩෝ’ සම්පූර්ණයෙන්ම රූගත කළේ ඔස්ට්‍රේලියාවේ. ‘ලොක්ඩවුන්’තිරගත වුණා. අනෙක් ඒවා ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.


කුසල් තාමත් වේදිකාවට ලොකු ඉඩක් දීල තියෙනවා නේද ?


වේදිකාව තමයි මට මේ තැනට එන්න පන්නරය වුණේ. රංගන ශිල්පියෙක්, පරිපාලන ශිල්පියෙක් විතරක් නෙවෙයි අධ්‍යක්ෂවරයෙක් විදිහටත් වේදිකාවේ කටයුතු කරල තියෙනවා. ‘හබලක් ඕනේ’ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් යෞවන සම්මාන උලෙළ සහ රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව ‘ඇක්සලයක් උඩ, ආශ්වාස ප්‍රාශ්වාස’ වේදිකා නිර්මාණ රචනා කරමින් අධ්‍යක්ෂණය කළා. මං වෘත්තියෙන් නළුවෙක්. අදටත් මං සති අන්තය වෙන්කරල තියෙන්නෙ වේදිකාවට. අනෙක් දවස් ටෙලි නාට්‍යවලට. මේ දිනවල වේදිකාවත් එක්ක ගොඩක්ම කාර්‍යබහුලයි. චාලක රණසූරියගේ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදට’ නාට්‍යයේ සඳරුවන් ජයමංගල කියන විවාහ උපදේශකවරයාගේ චරිතයත් එක්ක රට පුරාම යනවා. ගියවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවාට නිර්දේශ වුණා. ඒ වගේම ධර්මප්‍රිය ඩයස්ගේ ‘මම නෙවෙයි වෙන කෙනෙක්’, උදේසිරි වික්‍රමරත්නගේ ‘හරිම බඩු තුනක්’ සහ ‘ගරු කතානායකතුමනි’ එක්කත් රට වටේ යන නිසා ගොඩක්ම කාර්‍යබහුලයි. සචිත්‍ර රාහුබදුගේගේ ‘හිතට වැදුණු මිසයිල’කියන කෙටි නාට්‍ය ප්‍රසංගය එක්කත් කටයුතු කරනවා.


කුසල්ට ගායනයේත් හැකියාව තියෙනව නේද?


මං ගායනයට දක්ෂයි කියල නම් කියන්නෙ නෑ. වේදිකාවෙදි අපට ගයන්න වෙනවා. ඒ වගේම මගේ අම්මට‍ හොඳින් ගීත ගයන්න පුළුවන්. ඒ දේවලුත් එක්ක ගායන හැකියාව දියුණු වුණා කියල හිතෙනවා. ඒත් මට පුළුවන් කියන විශ්වාසයත් එක්ක වේදිකාව මත ගීත ගායනා කරන්න ක්‍රමය හදල දුන්නෙ සජිත. ඒකත් මතක් කරන්නම ඕන. කැම්පස් එකේදි ගායනයට මං ටිකක් බයෙන් මුහුණ දුන්නේ. නෑ ඔයාට පුළුවන් කියල ලස්සන මෙලඩි එකක් හදල මාව පුහුණු කළේ සජිත. ලස්සනම වැඩේ කියන්නෙ මං ඒකෙ හිටියෙ වතුර වෙළෙන්දෙකුට. සින්දුවකුත් කිය කිය තමයි වතුර විකුණන්නෙ. සින්දුව මැදට සජිත ඉක්කාවක් දාලා. ඒකත් අමතක නොවන අත්දැකීමක් වුණා.


කුසල්ට ආදරේ ගැන තියෙන අත්දැකීම කොහොමද?


ප්‍රේමය අත්විඳල අත්දැකීම් ලබලා තියෙනවා. ඒත් මේ වෙද්දි නම් ආදරවන්තයෙක් නෙවෙයි කියල තමයි කියන්න තියෙන්නෙ.


 නාමලී ගමගේ



Previous Post Next Post