මගේ එක එක කාලවල ගීත ජනප්‍රිය වුණා - ප්‍රියා සූරියසේන




1960 – 1970 – 1980 එමෙන්ම 1990 යන දශකවල මෙරට ගායන ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයන් ලෙස හැඳීන්විය හැකිය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණක් බිහිව තිබූ එවකට ගායන ලොවට පරිපූර්ණ ගායන ශිල්පීන්, ශිල්පිනියන් රැසක්ම බිහිවූහ. මෙවර අපේ කථානායකයා ද ඒ අයුරින්ම ගායන ලොවට එක්වන්නේ 1978 වර්ෂයේදී ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියෙකු ලෙසිනි. සංගීතය ප්‍රගුණ කිරීමෙන් ඔහු ලැබූ ඒ පරිපූර්ණත්වයත් සමඟ ගුවන් විදුලියේ සරල ගී මෙන්ම බයිලා ගී හඬ පරීක්ෂණ වලින් ඉහළින්ම සමත් ව ඔහු ඔහුගේම ගීත රැසක් අපට දායාද කළේය. ඒ කාලීනව මෙන්ම යුග යුග ගණනාවක් අප සිත් සතන් තුළින් මැකී නොයන ගීත රැසක් ඔහුටම ආවේණික නව මානයකට ගායනා කරමිනි. ඒ නිසාම ඒ ගැයූ සෑම ගීතයක්ම අදටත් කිසිදු අයෙකුට අමතක නැත. ඕනෑම ශෛලයකට අනුව බයිලා මෙන්ම සරල ගීතත් ඔහු ගැයුවේය. එලෙස ගැයූ ගීත රාශියක් වන අතර ඒවායින් ඇතැම් ඒවා අපට ශ්‍රවණය කිරීමට පවා අවස්ථාව නොමැති වූ ඒවාය. එදා මෙදා තුර එලෙසින් රසාලිප්ත සුමියුරු වූ ගීත රැසක් ඔහු ගැයුවත් අද වනවිට ගායන කටයුතුවලින් බැහැරව අසනීප තත්ත්වයෙන් කාලය ගත කරයි. පසුගිය දිනෙකද ඔහුගේ ඒ ගායනය වෙනුවෙන් ඇගැයීම් හා සම්මාන ලබමින් සිදු කළ මෙහෙයද ඇගැයූවේය. එබැවින් ඔහුගේ නවතම තතු විත්ති ද සමඟින් මෙලෙස අප හා කතා බහට එක්කර ගන්නට මම තීරණය කළෙමි. ඔහු ජනප්‍රියතම ජ්‍යේෂ්ඨ ගායනවේදී ප්‍රියා සූරියසේන මහතා.


ඔබේ ගායන දිවියේ ආරම්භය සිදුවුණේ කොහොමද? කොයි කාලෙද?


මගේ ගායන දිවියේ ආරම්භය සිද්ධ වුණේ පාසල් යන කාලයේදීම තමයි. පාසල් කාලයේ සංගීත අංශයට තේරුණා. ඊට පස්සෙ තරඟවලට සහභාගී වුණා. තරඟවලට සහභාගී වෙලා ඒ ඒ තරඟවලින් තෑගි සහතික ලබා ගත්තා. පසුව ඉතිං ගමේ වුණත් දැන් සින්දු කියන්න දක්ෂයි කියලා සෙනඟ දැන ගත්තහම ගමේ ඔය මඟුල් ගෙවල් වලට වගේ සින්දු කියන්න මාව එක්කගෙන ගියා. එහෙම මාව එක්කගෙන ගිහින් තමා මේ විදියට ගීත ගායනා කළේ. එතකොට මං හුඟක් ගායනා කළේ මොහිදින් බෙග් මාස්ටර්ගෙ සින්දුයි, ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහත්මාගෙ සින්දුයි. ඒ ගීත ගායනවලින් තමා පස්සෙ ඔය ගමේ තියෙන සාමාන්‍ය සංගීත සංදර්ශනවලදී ඒ ගොල්ලන්ගෙ ගීත ගයන ගායකයො ඇවිත් ගීත කිව්වට පස්සෙ අන්තිමට අර කියන්න පුළුවන් ගමේ ළමයෙකුට දෙනවා ඉඩ ප්‍රස්තාවක්. ඒ අනුව මාත් මිල්ටන් පෙරේරා මහත්මයගෙ ගීත, මොහිදීන් බෙග් මහත්මයගෙ ගීත ඒ කාලේ ගායනා කළා. මම ඉගෙන ගන්න ගියෙ මාදම්පෙ මධ්‍ය මහා විද්‍යාලයට. ඒකෙ සංගීත මාස්ටර් මාව ගීත ගයන්න ගුවන් විදුලියේ සරල ගී තරඟයට තියන්න ඕනේ කියලා මාව දවසක් ගුවන් විදුලියට එක්කගෙන ආවා එහෙම ඇවිල්ලා තමා ඒ අංශයට මාව පෙලඹුනේ. ඉතිං ඊට පස්සේ මං දිගටම ආශාවෙන් ඒ වැඩ කටයුතු කරගන්න පෙලඹුනා. ඊට පසුව මං මුලින්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනට කලින් ඒ ගුවන් විදුලියට මුලින් ම ඒ කාලේ නිතරම තිබුණා මේ..බයිලා ඔඩිෂන් එකත්. ඊට පස්සෙ බයිලා ඔඩිෂන් එකට තමා මුලින්ම මම මුහුණ දුන්නේ. ඒ බයිලා ඔඩිෂන් එකෙන් පාස් වෙලා මං කියපු බයිලා සින්දුවක් දෙකකුත් ගුවන් විදුලියේ ඇති. ඊට පසුව අවුරුදු දෙක තුනක් ගිහාම සරල ගී ඔඩිෂන් එකට මමත් සහභාගී වුණා. ඒ‌කෙන් ඒ “ඒ ශ්‍රේණියේ” සරල ගී ගායකයෙකු විදිහට මාව තේරුණා. එතකොට ඉන්දියාවෙන් ඇවිත් තමයි සරල ගී ඔඩිෂන් එක එහෙම තිබ්බේ ඉන්දියාවෙන් ආපු මාස්ටර්ලා. ඒ අනුව තමා සංගීත ජීවිතයට ගුවන් විදුලියෙන් මුලින් අඩිතාලම තිබ්බේ. කොයි කාලෙද කියලා කියනවානම් ඒක 1978 වගේ කාලයේදි තමා ඔය විදිහට සිදුවීම් ටික ගලාගෙන ආවේ.


එදා මෙදා තුර ඔබ ගැයූ ගීත සංඛ්‍යාව?


එදා මෙදා තුර ගැයූ ගීත සංඛ්‍යාව ගුවන් විදුලියේ සරල ගීතම ම නෙමෙයි. කැසට් වලින් ගොඩාක් සින්දු කළා. කැසට් ගීතත් එක්ක සින්දු හයසීයක් (600) ක් හත්සියක් (700) ක් විතර මං දැනට ගායනා කරලා තියෙනවා.


චිත්‍රපට ගී 8ක් 10ක් විතර ගයලා තියෙනවා. ඒ වුණාට මේ සංගීත සංදර්ශන ඒ සමඟ රැකියාවේ කටයුතු අනුව මට හරියටම ඒ චිත්‍රපට ගීතවලට හරි විදිහට පෙලඹිලා වැඩ කටයුතු කරගන්න ඉඩ ප්‍රස්තාවක් ලැබුණා මදී. මං මුලින්ම චිත්‍රපට ගීතයක් ගැයුවේ “මුඩුක්කුවේ ජුලියට් කුමරි” කියලා සින්දුවක්. අන්තිමට ගීතයක් ගායනා කළා. මේ..කළු සහ සුදු චිත්‍රපටයේ සමිතා මුදුන්කොටුව මහත්මිය සමඟ ” ගිම්හානයේ ” කියන ගීතය. ඒ අතර චිත්‍රපට සින්දු 8ක් 10ක් වගේ ටිකක් තමයි කියලා තියෙන්නේ.


ගැයූ ගීතවලින් වඩාත් ජනප්‍රිය වුණු ගීත කිහිපයක් මතක් කරමු.


මගේ ජනප්‍රිය ගීත ගොඩක් තියෙනවා. ඒවා අතරින් ඒ ඒ ගීත ඒ ඒ කාලවලදි විශේෂ ජනප්‍රියත්වයක් ගත්තා. ගැයූ ගීත වලින් ඉතිං හුඟාක්ම ජනප්‍රිය වුණා මුලින්ම කියපු “සරතැස නිවා”, “හෙට දවසේ” ඒ මං මුලින්ම මමම සංගීතය යොදලා ගායනා කරපු ගීත ගුවන් විදුලියේ. තව චිත්‍රපට ගීත අතුරින් ජනප්‍රියම වුනේ “කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා”ගීතය. ඒ එක්ක මං සින්දු 04ක් කළා “අඳුර අඳුර මගේ”,” හෙට දවසේ”, “සරතැස නිවා” ,කිරි සයුරේ රැළි” ඔය සින්දු 04 න් සින්දු දෙක තුනක්ම බොහොම ජනප්‍රිය වුණා. ඊට පස්සෙ ඉතිං එක එක කාලවලට එක එක සින්දු” සුදු පරවි රෑන සේ” සින්දුව එක කාලයක් “රටකින් එහා” ගීතය ” ඈත රන් විමන්” ගීතය ඒ වගේ එක එක කාලවලදී ඒ විදහට ජනප්‍රිය වුණා.


ගුවන් විදුලි සරල ගී වැඩසටහන් කීයක් විතර කළාද?


ගුවන් විදුලි සරල ගී වැඩසටහන් මුලින්ම සෑහෙන්න කළා. ඊට පස්සෙ වෙන වෙන මාධ්‍ය ඇවිත්නේ එතකොට කැසට් ඇවිල්ලා ඒ වගේ දේවල් වුණාට පස්සෙ ඉතිං අර හුඟාක් ගුවන් විදුලි සරල ගී වලට අමතරව මේ කැසට් වලින් තමා ගොඩක් ගීත මං ගායනා කළේ.


ඔබ වෘත්තීය ගායන ශිල්පියෙක්ද?


වෘත්තීය ගායන ශිල්පියෙක් කියන්නේ ඉතිං මම සංගීත ගුරුවරයෙක් වශයෙන් සේවය කළා අවුරුදු 12 ක් පමණ. ඒක තමා මගේ වෘත්තීය. ඉතිං මං මුලින්ම සමූපකාරයෙත් වැඩ කලේ කැෂියර් කෙනෙක් විදිහට යටකලන් පත්තුව සමූපකාර විවිධ සේවා නාත්තන්ඩිය සංගමේ. ඊට පස්සේ තමා සංගීත ගුරු තනතුර ලැබුණේ. පස්සෙ ඉතිං සංගීත ගුරුවරයෙක් ලෙස තමයි මගෙ වෘත්තීය වු‌ණේ. ඊට අමතරව තමයි ගායන ශිල්පියෙක් විදිහට සංගීත සංදර්ශන වලට සහභාගී වුණේ.


ඔබ වෘත්තීයෙන් ඉවත් වුණේ ඇයි?


මම සංගීත ගුරුවරයෙක් විදිහට ඉදලා අයින් වුණේ 1985 දී විතර. මොකද සංගීත සංදර්ශන වලට සහභාගී වෙලා නැවත ගෙදර ආපුවහම ඉතිං හුඟාක් මහන්සියි. දරුවන්ට හුඟාක් පාඩු සිද්ධ වෙනවා ඉස්කෝලෙ නිවාඩු දාපුවහම. ඉතින් ඒ නිසා මම ම ගිහින් විදුහල්පතිතුමාට ඒ බව කියලා මගේ ම තීරණයක් අනුව මම රැකියාවෙන් අයින් වෙනවා ඒ අපහසු තත්ත්වය මත.


අසනීප තත්ත්වය කොහොමද?


අසනීප තත්ත්වයෙන් තමයි දැනට නම් මගේ ජීවිතේ ගෙවෙන්නේ. මගෙ දරුවොයි, අපියි හැමදෙනාම ඒ වැඩ කටයුතු ටික කරගෙන යනවා.


ඔබ ලබා ගත් දැනුම වෙනත් අයට ලබා දෙන්න සංගීත පංති වගේ වැඩක් එවකට කළේ නැද්ද?


සංගීත පන්ති වගේ වැඩක් කරන්නත් ඒ කාල සීමාවේ ඉඩ ප්‍රස්තාවක් ලැබුණේ නෑ. ඒ කියන්නෙ ඉතිං දිගටම සංගීත සංදර්ශනනේ. එතකොට ඒ සංගීත සංදර්ශන වලට සහභාගී වෙලා ආපුවහම ඉතිං පාන්දරට ඇවිත් නිදා ගන්නවා. ආයේ දවල්ට බත් ටිකක් කාලා ආයේ පිටත් වෙනවා ඒ වගේ ජීවිතයක් තමයි ගත කළේ.


මෑතකදී ඔබ සම්මානයක් ලබා ගත්තා නේද? මීට පෙරත් ඔබ සම්මාන ලබාගෙන තියෙනවාද? ඒවා එකින් එක ගැනත් විස්තර කියමු.


සම්මාන ගොඩක් ලැබිලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒ සිග්නීස් සම්මානය සහ සුමති සම්මානය ලැබුණා. ඒ මීට අවුරුදු 3/4 කට ඉස්සෙල්ලා. ඊට පස්සෙ තමා පසුගියදා පැවති මේ සුමති සම්මාන උළලේදීත් මට සම්මානයක් ලැබු‌ණේ.


ඔබෙන් පසුව මේ ගීත ඔබේ දුවයි පුතයි දෙන්නම ගායනා කරනවාද?


දැනට මගේ දෙවනි දුවත්, පුතත් යන දෙන්නාම මගේ ගීත ගායනා කරනවා. සමහර විට ඉදිරියට අනිත් ඉන්න මගෙ දරුවොත් ගීත ගායනා කරාවී. මට දරුවො හතර දෙනෙක් ඉන්නවා සමහර විට ඒ ගොල්ලොන්ගෙ කැමැත්ක අනුව ගීත ගායනා කරාවී. ඒ ගොල්ලො හතර දෙනාටමත් හොඳට ගීත ගයන්න පුළුවන්.


ඒ අය එතකොට එයාලගේම අලුත් නිර්මාණයක් තුළින් නෙමෙයිද සංගීත ක්ෂේත්‍රයට එන්නේ?


ඒගොල්ලොන්ට ඒගොල්ලන්ගේ අලුත් නිර්මාණ වලින් සංගීත ක්ෂේත්‍රයට එන්න කියලා තමා හැමතිස්සෙම මම කියන්නේ. ඒ මොකද මේ දැනටමත් මගෙ පොඩි දුවගෙ අලුත් නිර්මාණ තුනක් (03)ක් හතරක් (04)ක්ම තියෙනවා. පුතත් ළඟදි මං අසනීප වෙන්න ඉස්සෙල්ලා මාත් එක්ක යුග ගීයක් කළා. ඉතිං ඒ අනුව පුතානම් මගේ ගීතම ගායනා කරයි වගේ කියලා හිතෙනවා. ඒ අනුව ඉතිං සංගීත ක්ෂේත්‍රයට අලුත් නිර්මාණත් අරගෙන රසික රසිකාවන්ගේ කැමැත්ත අනුව මගේ ගීතත් ගායනා කරමින් ඒ ගොල්ලො මගේ ගීතත් කිසිම විකෘති කිරීමක් නොකර ඒ ගීත ටික ගායනා කරාවී. ඒගොල්ලන්ගේ අලුත් ගීතත් ගායනා කරලා ක්ෂේත්‍රයට පැමිණේවී.


අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවාද?


දැනට මගේ ගීත ගයන දරුවෝ දෙන්නට වගේම මම නවක පරපුරටත් කියන්නේ නව නිර්මාණ තුළින් ඔබලගේ හැකියාවන් පෙන්වන්න කියලා. මොකද එතකොට තමා ඒක හැමදාම රැදෙන්නේ. අපි සංගීත ක්ෂේත්‍රයට ආවෙත් ඒ විදිහට. ඉතිං ඒගොල්ලොත් ඒ වගේ අලුත් නිර්මාණ අරගෙන එන්න. එතකොට කාලයක් සංගීත ක්ෂේත්‍රයේ පවතින්න පුළුවන්.


 


Previous Post Next Post