සතුටකටත් වඩා ඒක මට දැනුණේ දරුණු සිහිකැඳවීමක් කියලයි -පමුදි අපෝන්සු




ඇය වෘත්තියෙන් නිවේදිකාවක්. තවත් විටෙක ඇය රංගන ශිල්පිනියක්. නමුත් ඇය ක්ෂේත්‍රය හඳුනාගන්නේ ගායනය හරහා. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන චරිත් අබේසිංහගේ ‘බඹරෙක් ඇවිත්’ ටෙලි නිර්මාණයේ කුසුම්ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනා සිටින ඇය පමුදි අපෝන්සුය.


පමුදි මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා නේද?


චරිත් අබේසිංහගේ අධ්‍යක්ෂණයෙන් හිරු නාළිකාවේ විකාශය වන ‘බඹරෙක් ඇවිත්’ ටෙලි නිර්මාණයේ රුගත කිරීම් නිසා තමයි ගොඩක්ම කාර්යබහුල. ඒ වගේම මං සිරස ටීවී ආයතනයේ නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා. බඹරෙක් ඇවිත් ටෙලි නාට්‍ය පළාත් කිහිපයකම රූගත කෙරෙනවා. රන්මිණිතැන්න, ගලපාත වගේ ප්‍රදේශවල රූගත කෙරෙනවා. ඒත් එක්කම මගේ පළමු ස්වතන්ත්‍ර ගීතය එළිදැක්වීමේ සූදානමින් ඉන්නේ. මේ වන විට ගීතය පටිගත කරල ඉවරයි. විෂුවල් එක කරල ඉක්මනින්ම රිලීස් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.


‘කුසුම්’කියන්නෙ ඔබට ලොකු අභියෝගයක් වුණු චරිතයක්?


ඇත්තටම ඔව්. ඒක ප්‍රධාන චරිතයක් වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අභියෝගාත්මක චරිතයක්.


‘බඹරෙක් ඇවිත්’ කියන්නේ පීරියඩ් ඩ්‍රාමා එකක්. අන්තර්ගතයත් විශේෂයි නේද?


ඔව්. මේක 70 දශකය පාදක කරගෙන අපේ රටේ සමාජ, ආර්ථික, දේශපාලනික වෙනස්වීම් පසුබිම් කරගෙන නිර්මාණය වුණු කතාවක්. සාමාන්‍ය නිර්මාණයකට එහා ගිය කතාවක්. ඇඳුම් පැලඳුම්, හැසිරීම්, සමාජ මට්ටම් වෙනස්. ඒ කාලෙ නිර්මාණ බලලා, කියවලා මට ඒ දේවල් අධ්‍යයනය කරන්නත් වුණා.


නවක රංගන ශිල්පිනියක් විදිහට කුසුම් තුළ තියෙන භාවයන් නිරූපණය කරද්දි ඒ හැඟීම ගැන කතා කළොත්?


කුසුම් හරහා මට ලොකු දෙයක් කරන්න තිබුණා. කුසුම් කියන්නෙ හීනමානයෙන් ඔළුව පුරෝගත්ත කෙනෙක්. එයාට දේවල් ලැබෙන්නේ නැත්තෙ අනෙක් අය නිසා කියල හිතලා හැමෝටම ඊර්ෂියා කරන කෙනෙක්. දකින දකින අයට වෛර කරන කෙනෙක්. නිතරම ඉන්නෙ වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂියාවෙන්. හැමවෙලේම කා එක්ක හරි එල්ලෙන්න බලන චරිතයක් වුණත් ඇයත් ගැහැනියක්. අනිත් අයට වගේම ඇයටත් ආදරය ඕන. පිරිමියෙකුගේ උණුසුම ඕන. ඒ කාරණාවලදි ඇයත් සාමාන්‍ය ගැහැනියක්. කුසුම් තුළ තියෙන සමහර ගති ලක්ෂණ අපි තුළත් තියෙනවා. සාමාන්‍යයෙන් මං වැඩි කතාබහක් නැති නිශ්ශබ්ද චරිතයක්. ඒත් කුසුම් කියන්නෙ නිතරම කෑකෝ ගහන, වෛරය, ක්‍රෝධය, ඊර්ෂියාව රාගය සම්මිශ්‍ර වුණු චරිතයක්. මං අත්දැකීම් බහුල රංගන ශිල්පිනියක් නෙවෙයි. මුලදි නම් බාරගන්න බය හිතුණා. ඒත් අනිත් පැත්තෙන් මං අභියෝග බාරගන්න කැමති කෙනෙක්. එතැනදි චරිතය ගොඩනඟා ගන්න අධ්‍යක්ෂවරයාගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. ඒ වගේම අනෙක් ප්‍රවීණ, නවක හැම ශිල්පියෙක්ම උදවු කළා. විශේෂයෙන් ආනන්ද කුමාරඋන්නැහේ මගේ තාත්තා. අම්මා විදිහට ඉන්න සුදර්ශනී ගැලනිගම ඔවුන් ඇතුළු කණ්ඩායමෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා. හරියට අපි එක පවුලක් වගේ වුණා.


විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මං මීට කලින් ටෙලි නිර්මාණ තුනකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මට හිතෙන්නෙ මගේ රංගන ජීවිතේ ආරම්භය සනිටුහන් කළේ මේ නිර්මාණය කියලා. මට මේක ඇකඩමියක්. රංගන පාසලක්. චරිත් අබේසිංහ කියන්නෙ අධ්‍යක්ෂවරයෙක් විතරක් නෙවෙයි දක්ෂ රංගන ශිල්පියෙක් වගේම හොඳ ගුරුවරයෙක්. ප්‍රවීණ වගේම නවක රංගන ශිල්පීන් හසුරුවන්න ඔහුට හොඳ හැකියාවක් තියෙනවා.


කුසුම් හරහා ඔබට ලොකු පන්නරයක් ලැබුණා නේද?


ඇත්තටම ඔව්. මට හිතෙන්නේ මේක මගේ රංගනයට උත්තේජනයක්. හරියට නිකං මගේ ඇතුළාන්තය අධ්‍යයනය කරලා මේක දිගටම කරගෙන යන්න පිපාසයක් ඇති කළා වගේ දෙයක් මට දැනුණා. මට ඕන හොඳ ගුණාත්මක නිර්මාණවලට සම්බන්ධ වෙන්න. අභියෝගාත්මක චරිතවලට තමයි ගොඩක්ම කැමති.


ඔබ රංගනය ගැන හැදෑරීමක් කරල තියේද?


විශේෂයෙන් හදාරලා නැහැ. ඒත් පුංචි කාලෙ ඉඳන්ම ස්වයං අධ්‍යයනය කියන එක තිබුණා. මගේ තාත්තා දීපාල් අපෝන්සු කියන්නෙත් වේදිකා, ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක්. ඒ පසුබිම තිබුණත් ඔහු මට පුංචි කාලෙදි හොඳ නිර්මාණ තෝරගන්න, කියවගන්න කියල දුන්න මිසක් රංගනය පැත්තට තල්ලු කළේ නැහැ. ලොකු වුණාට පස්සෙ තමයි නිදහස දීල මඟපෙන්නුවේ. අද මං සතුටු වෙනවා දැනුම් තේරුම් ඇති කාලෙ අවබෝධයක් ඇතුව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන.


රංගනය ඇරුණම ඔබ ගායනයේ වගේම නිවේදනයේත් දක්ෂයි?


මම සංගීතය හදාරලා තියෙනවා. ඉන්දිකා උපමාලි, සවුන්දරී ඩේවිඩ් වගේම කසුන් කල්හාර සංගීතවේදීන්ගෙන් මම වොයිස් ට්‍රේනින් කළා. සිරස වොයිස් ශ්‍රී ලංකා රියැලිටි තරගය හරහා මගේ ජීවිතේ වෙනස්කම් ගොඩක් සිදුවුණා. ඒ හරහා මට සිරස නිවේදිකාවක් වෙන්නත් අවස්ථාව ලැබුණා. සිරස තමයි මාව විශ්වාස කරලා නිවේදිකාවක් විදිහට විවිධ චැලේන්ජ් බාර දුන්නේ. සිරසට සම්බන්ධ වෙලා මාස 5ක් වගේ කාලයක් ඇතුළත 2023 රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ ‘වසරේ විශිෂ්ටතම සම්ප්‍රවේශක (සිංහල)’ සම්මානයට මාව නිර්දේශ වුණා. සතුටකටත් වඩා ඒක මට දැනුණේ දරුණු සිහිකැඳවීමක් වගේ. තව වැඩ කරන්න කියන සිහිකැඳවීම තමයි ඒකෙන් දුන්නේ. මං දැන් වෙනදටත් වඩා උනන්දුවෙන් වැඩ කරනවා. රංගනයෙන් වගේම ගායනයෙනුත් ඉදිරියට යන්න මං කැමතියි. නමුත් මගේ ප්‍රධාන භූමිකාව නිවේදනය. ජීවිතේට ඉඩ දෙන්න කියන උදා වැඩසටහන මෙහෙයවමින් මේ වෙද්දි මං සිරස ටීවී ආයතනයේ නිවේදිකාවක් විදිහට සේවය කරනවා. ස්වාධීන රූපවාහිනී සේවයේත් අවුරුදු 5ක් සේවය කළා. මගේ පළමුවැනි ස්වතන්ත්‍ර ගීතයත් ළඟදීම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.


ඔබ ක්ෂේත්‍ර කිහිපයකම නියැළෙන කෙනෙක්. පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු?


අනිවාර්යයෙන්ම ඔවුන් තමයි මගේ ලොකුම ශක්තිය. මේ ක්ෂේත්‍රය තුළ නොයෙක් හැලහැප්පීම්වලට මුහුණදෙන්න සිදුවෙනවා. ඒ ඕනෑම තත්ත්වයක් යටතේ කොන්දේසි විරහිතව මං වෙනුවෙන් ඉන්නෙ මගේ තාත්තා දීපාල් අපෝන්සු, අම්මා අනූෂා රණසිංහ, නංගී තිළිණි අපෝන්සු වගේම මගේ හෙවණැල්ල වගේ ළඟම ඉඳන් මාව දිරිමත් කරන මාව දරාගන්න ආදරණීය සැමියා එෂාන් ජයවර්ධන. ඒ සහයෝගය වචනයෙන් කියන්න බැරි තරම්.


 නාමලී ගමගේ



Previous Post Next Post