වේදිකාව තමයි අපිව විනිශ්චය නොවන එකම තැන-අකලංක ප්‍රභාෂ්වර



 ඔහු ලාංකික කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කර ගනිමින් ඉදිරියට ඇදෙන රංගන ශිල්පියෙකි. වේදිකාව තුළින් පන්නරය ලබමින් රංගනයෙහි විවිධ ඉසව් සොයා යන ඔහු පිළිබඳව මේ දිනවල යම් කතා බහක් ඇති වෙලා. අද  එක්වන්නේ රංගන ශිල්පී අකලංක ප්‍රභාෂ්වර.


ඔබේ තිඹිරිගෙය වේදිකාව. ඉන් ලැබුණු පන්නරය කෙසේද?


වේදිකාව කියන්නේ බොහෝ නළු නිළියන් තම ප්‍රකාශනය සම්බන්ධයෙන් තමන්ට සාක්ෂි දරන තැන. වේදිකාවේදී අපි හැමෝටම අපි හැමෝගෙම සීමාවන් සහ උපරිමයන් උරගා බලන්න පුළුවන්. එතැනදී අපි ආරක්ෂිතයි. එතැන තමයි ලැජ්ජ නැතුව වරද්දගන්න පුළුවන් තැන සහ අපිව විනිශ්චය නොවන එකම තැන.  හරියටම කියනව නම් ඒක තමයි නළුවෙක්ගේ හෝ නිළියෙක්ගේ ප්‍රැක්ටිස් නෙට් එක. එතැනින් ජීවිතය ගැන, ලෝකය ගැන, ආදරය ගැන අවසාන වශයෙන් රංගනය ගැන අපට අත්දැකීම් සහ අලුත් දැනුම ලැබෙනවා. මම මේ කියන්නෙ වේදිකාව ගැන පෞද්ගලිකව මගේ අත්දැකීම්. මේක හැමවිටම සාපේක්ෂයි. 


“වියළි” ටෙලි සිත්තමේ කලු ගැන ප්‍රේක්ෂකයාට මොකක්ද කියන්න තිබෙන්නේ?


මේ වෙද්දී ප්‍රේක්ෂකයන් කලූව ආදරයෙන් භාර ගනිමින් සිටිනවා. ඒ වෙනුවෙන් මට ඔවුන්ගෙන් දිරිගැන්වීම් නිතර ලැබෙනවා. ඒ වෙනුවෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.


මේ කතාව නිර්මාණය වෙන්නේ දඩමංකඩ නවකතාවෙන්. නවකතාවක චරිතයකට පණ පෙවීම මොනවගේ අභියෝගයක්ද?


නවකතාවක් ටෙලිනාට්‍යයක් වීමේදී අපි හොඳින් දන්නා දෙයක් තමයි එම නවකතාව පාඨකයාගේ සිත් වසඟ කළ එකක් නම්, සමහර වෙලාවට පාඨකයා නැවත එය ටෙලි නාට්‍යයක් විධියට නැරඹීමටවත් පතන්නේ නැහැ. මොකද එම රචකයාගේ පරිකල්පිත චරිත එතරම් ප්‍රබල වීම නිසා. උදාහරණයක් විධියට ලතින් ඇමරිකානු ලේඛකයකු වන මාරියෝ වර්ගෝසාගේ  “The Bad girl” කෘතියේ “රිකා‍ෙදා්” නම් තරුණයාගේ චරිතය. එය පෞද්ගලිකව මාහට තදින් කාවැදුණු චරිතයක්. මට අනුව එම චරිතය රඟපෑම කිසිවෙක්ට කරන්න බැහැ. ඉතින් අන්න ඒ ආකාරයට පාඨකයෙක්ව  හොඳ ප්‍රේක්ෂකයෙක් කර ගැනීමේ අභියෝගය තමයි මට තිබෙන්නේ.


රංගන ශිල්පියෙක්ට ඇකඩමික හැදෑරීමක් අවශ්‍යමද?


ඔව්. නමුත් අධ්‍යාපනය නිල ලත් සහ නිල නොලත් විධියට ලබා ගන්න පුළුවන්. මොන දේ වුණත්  අධ්‍යාපනයයි වැදගත්. එය උකහා ගැනීමයි වැදගත්. එය ඇකඩමික නොවුණත් එය හැදෑරීමක්. එම හැදෑරීම නළුවෙක්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්.


චාමර ගුරුගේගේ “අප අතර උෟ” ගැන කතා කරනවා නම්


මේක වේදිකා නාට්‍යයක්. මම සහ කසුනි කාවින්දි තමයි මෙහි රංගනයේ යෙදෙන්නේ. මේ නාට්‍යය ආදරය යන තේමාව මූලික කරගෙන තරුණ ජෝඩුවක් වටා දිවෙන කතාවක්. නාට්‍ය ගැන ගොඩක් දේවල් කතා කරනවට වඩා මම කැමැතියි ආදරණීය පාඨක ඔබට එය නරඹන්න ආරාධනා කරන්න. ඉතින් ජුනි 29 වැනිදා නාමෙල් මාලනී බොරැල්ල පුංචි තියටර් එකේ සවස 3.30 – 6.30 මෙහි දර්ශනයන් පැවැත්වෙනවා. ඉතින් එදාට ඔබ ආවොත් අපිට පුළුවන් නාට්‍ය නරඹලාම නාට්‍ය ගැන කතා කරන්න.


The Beast Inside කියන්නේ ඔබ ඉතා කුරිරු රංගනයකින් දායක වන කෙටි චිත්‍රපටයක්. ඒ ගැන මොකද හිතෙන්නේ?


නෙරුන් කල්පජිත් කියන දක්ෂ තරුණ අධ්‍යක්ෂවරයා තමයි මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ඒක ඇත්තටම සෑහෙන්න පෙර පුහුණුවීම් ප්‍රමාණයක් කරලා කරපු වැඩක්. ඒකට හේතුව මේක මානව මූලික ක්‍රියාවලියක් වීම. ඒකෙදි අපි ගැටෙන්නේ ගොඩක් වෙලාවට අතිශය සාමාන්‍ය, හුස්ම ගන්න, සංවේදන තියෙන මිනිස්සු එක්ක. ඉතින් සටන් ජවනිකා කියන්නේ අපේ වගේ සිනමා කර්මාන්තයක් එතරම්ම උනන්දුවක් දක්වන දෙයක් නෙවෙයි. මොකද ඒක වියදම් අධික කලාපයක් නිසා. නමුත් නෙරුන් ඔහුගේ චිත්‍රපට අධ්‍යක්ෂ ගමනේදී වැඩි බරක් දෙන්නේ මෙන්න මේ කියන කලාපයට. ඔහු ඉතාම චමත්කාරජනක ලෙස එම ගෙත්තම කළා. නළුවෙක් විධියට  එහි කොටසක් වීමට ලැබීම මට ලොකු ගෞරවයක්. මෙයින් මම සෑහෙන්න ලොකු දේවල් ඉගෙන ගත්තා වගේම විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබුවා.


ලංකාවේ මෑතකාලීනව කෙටි චිත්‍රපට නිර්මාණය වීමේ දැඩි ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. මේ ගැන ඔබේ අදහස?


ඒක එක්තරා විධියකට මේ වන විට අපි  අත්දකිමින් ඉන්න  තාක්ෂණික විප්ලවය හරහා සිදුවන තවත් එක් ඊරා එකක් වෙයි. ඒ දවස්වල වේදිකා නාට්‍යයත් මේ වගේ තත්ත්වයක තිබ්බා. අපි ඒ ගැන දැනගන්නව පසු කාලීනව අශෝක හඳගමගෙ “මාඝාත” වගේ නාට්‍යයක් කොහොමද විප්ලවය තුළ ක්‍රියාත්මක වුණේ කියන එක දැන ගත්තට පස්සේ. දැනුත් මේ තාක්ෂණ විප්ලවය අස්සේ සමාජ මාධ්‍ය කියන්නේ ලොකු පරාසයක්. ඉතින් කලාකරුවා මෙම නවීකරණයන් අස්සේ එක තැන පල්වෙමින් ඉන්නවට වඩා මිනිසුන්ගේ චින්තනය පුපුරුවා හැරීමට එක්වීම සතුටට කරුණක්.


රංගනය ගැන අකලංක ප්‍රභාෂ්වරට පෙලඹවීමක් ඇති කළ රංගන ශිල්පියා කවුද?


“Wolf of Wallstreet” චිත්‍රපටයේ Mark Hanna ගේ චරිතයට පණ පොවන මැතිව් මැකොනොහේ (Matthew Mcconaughey) තමයි මට ඒ පෙලඹවීම ඇති කළේ.


අකලංක ප්‍රභාෂ්වරට ලෝකයේ සිටින ඕනෑම අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඔබ තෝරා ගන්නා අධ්‍යක්ෂවරයා කවුද? ඒ ඇයි?


මම කැමැතියි කෙන් ලෝච් (Ken Loach) කියන අධ්‍යක්ෂවරයා සමඟ වැඩ කරන්න. ඒ ඇයි කියලා දැන ගන්න, මම ඔබට ආරාධනා කරනවා “My name is Joe” සහ “The wind that shakes the barley” කියන චිත්‍රපට නරඹන්න කියලා.


ඔබ කැමැතිම කතුවරයා කවුද?


මම කැමැතිම කතුවරයා තමයි ලතින් ඇමරිකානු කතුවරයෙක් වන නොබෙල් සාහිත්‍ය සම්මානලාභී මාරියෝ වර්ගෝස් යෝසා. ඔහුගේ කෘති මට විශාල බලපෑමක් කළා කියන්න පුළුවන්.


ඉදිරි වැඩ කටයුතු ගැන කියනවා නම්?


ඉදිරියේදී රූගත කිරීම් කිහිපයකටම සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම චාමික හත්ලහවත්තගේ අලුත් වේදිකා නාට්‍යයක පුහුණුවීම් පටන් ගැනීමට නියමිතව තිබෙනවා. විදේශ සංචාර කීපයකුත් තිබෙනවා. ඉදිරි කාලය යම් අයුරකින් කාර්ය බහුල වෙයි කියලා සිතනවා.


ගිහාන් සචින්ත




Previous Post Next Post