මයි රෙඩ් කොම්රේඩ් බලලා අවංක-අව්‍යාජ ප්‍රතිචාර විතරක් දෙන්න-තරින්දි ෆර්නෑන්ඩෝ



තරින්දි ෆර්නෑන්ඩෝ කියන්නේ අපේ රටේ පුංචි තිරයට වගේම රිදී තිරයට නැතුවම බැරි තරුණ රංගන ශිල්පිනියක්. මේ දිනවල තිරගත වන මයි රෙඩ් කොම්රේඩ් සිනමා නිර්මාණයට ඇය රංගනයෙන් දායක වීමත් සමඟ බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. ඉතින් ඇගේ මේ වෙනස්ම සිනමා අත්දැකීම ගැන කතා කරන්නට නම්  අපිත් අමතක කළේ නම් නැහැ.


ඉතින් ඔබට කොහොමද?


මම ගොඩක් හොඳින් ඉන්නවා.  මේ දිනවල මගේ පවුලේ අයත් එක්ක ගතකරන්න ලැබෙන කාලය නම් බොහොම අඩුයි. මොකද කලා කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා තමයි ඉන්නේ. දවසින් දවස අලුත් දේවල් ඉගෙන ගන්න ගමන් මම ගොඩක් හොඳින්, සතුටින් කාලය ගත කරනවා.


මේ දිනවල ඔබේ කලා කටයුතු ගැනත් කතා කළොත්?


මීට වසර දෙකකට වගේ කලින් මම වියළි ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණේ. ඒ ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ඒ වගේම මයි රෙඩ් කොම්‍රේඩ් කියන මගේ නවතම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කළේ සුදත් මහදිවුල්වැව නම් අධ්‍යක්ෂවරයා. එයත් මේ දිනවල තිරගත වෙනවා. ඒ වගේම රැල්ල වෙරළට ආදරෙයි, සික්ස්පැක්, තත්පරයක් දෙන්න සහ බිග්බෙන් ටෙලිනාට්‍යයත් මේ දිනවල විකාශය වෙනවා. අලුත් සිනමා නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඉතින් මේ හැමදේම පුළුවන් ආකාරයට කළමනාකරණය කරගෙන තනිවම වැඩකටයුතු ටික කරගෙන යනවා.


ඔබේ අලුත්ම චිත්‍රපටයත් එක්ක කොහොමද ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?


ඇත්තටම සුදත් මහදිවුල්වැව මහත්මයා වසර දහ නවයකට පසුව තමයි මේ  නිර්මාණය කරන්නේ. ඉතින් ඒ නිර්මාණයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්න ලැබීම ගැන ලොකු සතුටක් තිබෙනවා. මම අභියෝග භාර ගන්න කැමැති කෙනෙක්. ඉතින් ඒ නිසා මම මයි රෙඩ් කොම්‍රේඩ් කියන මේ සිනමා නිර්මාණය භාරගත්තා. ප්‍රේක්ෂකයන්ගෙන් නම් මේ නිර්මාණයට හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. ඒ අතරින් ලැබෙන අව්‍යාජ ප්‍රතිචාර නම් අගය කරනවා. ඒ වගේම අඩුපාඩු හදාගන්නත් උත්සාහ කරනවා. නමුත් බොහෝ පිරිසක් අධ්‍යක්ෂවරයා සමඟ තිබෙන ඊර්ෂ්‍යාවට සහ නිර්මාණයේ සාර්ථකත්වයට තිබෙන ඊර්ෂ්‍යාවටත් බොහෝ විවේචනයන් කරනවා. ඉතින් අද වන විට අපේ රටේ සිනමා නිර්මාණ බිහිවන්නේ බොහොම අඩුවෙන්. ඉතින් බිහිවන නිර්මාණත් විවේචනය කරලා නැවත සිනමා නිර්මාණ නොකරන තැනට අධ්‍යක්ෂවරුන් පත්කරන්න හොඳ නැහැ. ඒ නිසා ඔබේ අවංක අව්‍යාජ ප්‍රතිචාර මේ නිර්මාණයට ලබා දෙන්න කියලා මම රසිකයන්ට ආදරයෙන් මතක් කරනවා.


ඔබ නිතරම තරමක් වෙනස් නිර්මාණවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න උත්සාහ කරනවා නේද?


මම කලින් පැවැසුවා වගේ  නිතරම අභියෝග භාරගන්න මම ගොඩක් කැමැතියි. ඉතින් මම නිර්මාණයක් භාරගනිද්දී මෙතෙක් කළ නිර්මාණ එක්ක සසඳලා අලුත් දෙයක් කරන්න තිබෙනවා නම් තමයි ඒ නිර්මාණය භාරගන්නේ. මේක මගේ වෘත්තිය වුණත් විනෝදාංශයක් ලෙස මම චරිත අධ්‍යයනය කරනවා. මම චරිතයක් භාර ගත්තම ඒ චරිතය ඇතුළෙ වෙනස් දෙයක් කරන්න උත්සාහ කරනවා. ඇත්තටම මම හරිම ආසාවෙන් ආදරයෙන් තමයි ඒ දේවල් කරන්නේ. ඒ වගේම විවිධ චරිත කරන්නත් උත්සාහ කරනවා. ඒ නිසාම මට ඒකාකාරී චරිත ලැබෙන්නේ නැහැ.


ඔබ රංගනයෙන් දායක වුණු මේ අලුත්ම චිත්‍රපටය ඔබේ රංගන ජීවිතයේ තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයක් නේද?


ඇත්තටම ඔව්. මයි රෙඩ් කොම්‍රේඩ් කියන්නේ මගේ ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් කියලා මම විශ්වාස කරනවා. වසර දහනවයකට පස්සේ සුදත් මහදිවුල්වැව මහත්මයා කළ නිර්මාණයට මාව විශ්වාස කරලා සම්බන්ධ කර ගැනීම ගැනත් මම මේ වෙලාවේ ඔහුට ස්තුතිවන්ත වෙනවා. මේ නිර්මාණයට සම්බන්ධ වුණු සෑම දෙනාගේම කැපවීම වෙහෙස මහන්සිය එක්ක තමයි මෙතරම් සාර්ථක නිර්මාණයක් බිහි වුණේ. ඉතින් තරමක් වෙනස් නිර්මාණයක් කරන්න ලැබීම ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි.


වැඩිහිටියන්ට පමණක් වෙන්වුණු නිර්මාණයකට රංගනයෙන් දායක වෙද්දී ජීවිතයට විවේචන එයි කියලා බයක් ඇතිවුණේ නැද්ද?


ඇත්තටම වැඩිහිටියන්ට පමණයි කියන නිර්මාණ කරන්න බයවෙන්න හොඳ නැහැ. වැඩිහිටියන් කියන්නේත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. අපේ රටේ වැඩිහිටියන්ට පමණයි කියලා පැවැසුව ගමන්ම ඒ නිර්මාණය දෙස බලන්නේ අමුතු විධියට. ඒත් විදේශ රටවල නම් එහෙම නැහැ. සිස්ටම් චේන්ජ් කරන්න උත්සාහ කරන මිනිසුන් නිර්මාණය ඇතුළේ තිබෙන රූප රචනයට වඩා එයින් ලබා දෙන තේමාව ගැන සිතනවානම් මම සිතන්නේ නැහැ වැඩිහිටියන්ට පමණයි කැටගරියේ නිර්මාණ විශේෂයෙන් කතාබහට ලක්විය යුතුයි කියලා.


සුදත් මහදිවුල්වැව වැනි ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයකු යටතේ වැඩිහිටියන්ට පමණයි කැටගරියේ තමන්ගේ මුල්ම සිනමා නිර්මාණය කරන්න ලැබීම ගැන මොකද සිතන්නේ?


මම සිනමා නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වුණත් ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට ආව පළමුවැනි සිනමා නිර්මාණය තමයි මයි රෙඩ් කොම්රේඩ් කියන්නේ. ඒ වගේම වැඩිහිටියන්ට පමණයි කැටගරියේ මුල්ම සිනමා නිර්මාණයත් මෙයයි. නමුත් මම කිසි විටෙකත් මොන කැටගරියේ සිනමා නිර්මාණයක්ද කියන දේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. චරිතාංග නිළියක් ලෙස  මගේ අරමුණට යන්න ලැබෙන නිර්මාණ තෝරාගෙන ඒ චරිත ඇතුළේ වෙනස් දෙයක් කරන්න උත්සාහ කරනවා. එහිදී සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂවරයා යටතේ නිර්මාණ කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.


තරින්දිගේ රංගනය ඇතුළේ ප්‍රේක්ෂකයන් මෙතෙක් නොදුටු පරාසයක් අවදි කරන්න මේ නිර්මාණයට හැකි වුණා කියලා කියුවොත් මම නිවැරැදියි නේද?


ඔව්, මම එය ගොඩනඟාගත්තේ මගේ අධ්‍යාපනය එක්ක වගේම  සුදත් මහදිවුල්වැව නම් ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ මඟ පෙන්වීමත් එක්කයි. ඉතින් ටෙලිනාට්‍යවලින් වෙනස් වෙලා හොඳ සාර්ථක චරිතයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්න මට පුළුවන් වුණා. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් මට තිබෙනවා.


තරින්දිට සිනමාව නිසා ටෙලිනාට්‍ය අතහැරෙයිද?


මගේ හීනය වුණේ දවසක සිනමා නිළියක් වෙන එක. මම දැන් ඒ සිහිනයට කෙමෙන් කෙමෙන් ළඟා වෙනවා. සිනමා නිර්මාණවලට දායක වුණත් මම ටෙලි නාට්‍යයනම් අතහරින්නේ නැහැ. මොකද මාව ප්‍රේක්ෂකයන් හ¾දුනා ගත්තේ, ඒ වගේම මම යම් දෙයක් ඉගෙනගත්තේ ටෙලිනාට්‍යයෙන්.  ඒ නිසා මගේ ටෙලිනාට්‍ය රංගනය සීමා වුණත් මම එය අතහරින්නේ නැහැ.


ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කළොත්?


මට හීන ගොඩක් තිබෙනවා. ඉතින් කතාවටත් කියනවානේ සිහින සැබෑ වුණාම කෑ ගහල කියන්න. එතෙක් නිහඬව ඉන්න කියලා. කලා ක්ෂේත්‍රය ඇතුළේ නම් චරිතාංග නිළියක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට එන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. මම හිතනව මම ඒ වෙනුවෙන් තව බොහෝ දේවල් ඉගෙනගත යුතුයි කියලා. ඒ වගේම කාටවත් කරදරයක් නොවී ජීවිතය ගෙවන්නත් බලාපොරොත්තු වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ.




Previous Post Next Post