වේදනාකාරී වුණත් ඒ වෙනසට මම කැමැතියි-කෝරලගේ සමන්




වේදිකාව, පුංචි තිරය, සිනමාව යන මාධ්‍ය තුනම ස්පර්ෂ කළ ,ඒ තුළින් සිය දක්ෂතාවයන් මනාව ප්‍රේක්ෂකයන් අතරට ගෙනා දක්ෂයින් අතර කෝරලගේ සමන් සිටින්නේද සුවිශේෂි තැනකය. කලාව සොයා යමින්, කලාවට ආදරය කරමින් යන ගමන තුළ ඔහුට ආදරණීය ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වී අහවරය. දක්ෂතාවය යනු සියල්ල පරදා කැපී පෙනෙන්නක් බව ඔහු තමන් සම්බන්ධ වූ සෑම නිර්මාණයකින්ම ඔප්පු කරමින් සිටින මොහොතක ඔහුට මේ ඉඩ වෙන්විය.


මේ දවස්වල කාර්‍යබහුලවෙලා ඉන්න සිනමා නිර්මාණය මොකක්ද කියලම කතාව පටන් ගමු?


චමින්ද ජයසූරියගේ ෆාදර් චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. හොඳ කලා ශිල්පීන් පිරිසක් එක්ක වැඩේට කැප වෙලා ඉන්නේ. මේ නිර්මාණය ලංකාවේ සිනමාව වෙනස් හැඩයකට දකින්න පුළුවන් නිර්මාණයක් වෙයි.


ටෙලි නිර්මාණ එක්කත් ජයටම වැඩ කරගෙන යන කාලයක් නේද මේ?


පුංචි තිරයේ වැඩ කිහිපයක්ම කරගෙන යනවා. ඒ අතරේ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන see you ටෙලි නිර්මාණය සහ හිරු නාලිකාවේ අකුරට යන වෙලාවේ කියන ටෙලි නිර්මාණය විකාශය වෙනවා. මිරර්, බැමිණිතියාසාය වැනි තව ටෙලි නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒ නිර්මාණ විකාශය වෙනකල් බලන් ඉන්නවා.


මේ දවස්වල පොඩ්ඩේ අයියාගේ චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන් ලැබෙනවා නේද?


See you ටෙලි නිර්මාණයේ පොඩ්ඩේ අයියගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයෝ මාව වෙනස් වෙනස් චරිතවලින් දැකලා තියෙනවා. පොඩ්ඩේ අයියා කියන්නෙත් වෙනස් හැඩයක චරිතයක්. සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයෝ ආස නැති විදිහේ චරිතයක් වුණත් ප්‍රේක්ෂකයෝ යම් විදිහකට ඒ චරිතයෙන් මාව වැලඳගෙන තියෙනවා කියලා දැනෙනවා. හැමෝගෙම සහයෝගය එක්ක තමයි ඒ චරිතය මම ලස්සනට ගොඩනගා ගෙන යන්නේ.


ඔබ වෙනස් වෙනස් චරිත කරන අභියෝගය භාරගන්න කෙනෙක් නේද?


වෙනස් වෙනස් චරිත කිරීමේ අවශ්‍යතාවයක් මට තියෙනවා. එකම චරිතය කරන්න අපි ඉන්න ඕනේ නෑ කියන තැන මම ඉන්නේ. අමාරු වුණත්, වේදනාකාරි වුණත් ඒ වෙනසට මම කැමැතියි.


ලංකාවේ නළුවෝ ඕන තරම් ඉද්දි නිර්මාණයකට ඔබවම අවශ්‍ය වෙන තැනට පත් කරගැනීම කාලේ හැටියට පහසු දෙයක් නෙමෙයි නේද?


ඇත්තටම වැඩක් හරියට කරද්දි සම්බන්ධ කරගන්නේ ඒ වැඩේට අවශ්‍යම කෙනා හැඳුනුම්කමවත්, මුදල්මය කාරණාවත් වෙන වෙන කාරණාවත් එතැනදි මුල් වෙන්නේ නෑ.. නිර්මාණකරුවන් සහ මං අතර තියෙන විශ්වාසය මත මම ඔවුන්ගේ නිර්මාණයට අවශ්‍යම කෙනෙක්නම් ඔවුන් මාව ඒ වැඩේට සම්බන්ධ කර ගන්නවා. මම කරන වැඩේට සාධාරණයක් කරනවානම් ඔවුන් පසුබහින්නේ නැහැ මාව සම්බන්ධ කරගන්න. මගේ යාළුවෝ වුණත් යාළුකමට කියලා මාව නිර්මාණවලට සම්බන්ධ කරගෙන නැහැ. ඔවුන් මාව ගන්නවානම් ගන්නේ නිර්මාණයට තියෙන අවශ්‍යතාවය මත ඔවුන් මාව ගන්නවානම් ගන්නේ.


ඔබ අලුත් වැඩකටත් අතගැහුවා කියලා ආරංචියි?


මම අමුතු දොස්තර කියලා ටෙලි නිර්මාණයක් අධ්‍යක්ෂණය කළා. ඒ නිර්මාණයේ සියයට අසූවක විතර ප්‍රමාණයක් රූගත කරලා අවසන්. තව නොබෝ දිනකින් ඒ නිර්මාණය ප්‍රේක්ෂකයන් අතරට ගේන්න ලැබෙයි. කලණි දොඩන්තැන්න, සේමිණි ඉද්දමල්ගොඩ, ශ්‍යාම් ප්‍රනාන්දු, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස් වගේ දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් මේ නිර්මාණයට එකතු වෙලා ඉන්නවා.


සිනමා අධ්‍යක්ෂණයකටත් යොමු වුණොත් නරකද?


මම තාම මේක ඇතුළේ සෙල්ලම් කරන නළුවෙක්. සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණයට මට තව සෑහෙන කල් තියෙයි.


ඔබ රංගනයෙදි මුදල ප්‍රමුඛ තැන තියලා වැඩ කරන කෙනෙක්ද?


ඉගෙන ගෙන, යම් කාලසීමා පසු කරගෙන යම් තලයකට කෙනෙක් එද්දි මුදලෙන් යම් වටිනාකමක් නිර්මාණය වෙනවා. මේ මොහොත වෙද්දි මුදල තමයි තීරණාත්මක. ඒ නිසා ඒ වටිනාකම ලැබෙන්නෙ ඕනේ. නිර්මාණයට තියෙන ආදරයට මුදල කියන දේ පැත්තක තියලා වැඩ කළ අවස්ථාත් තියෙනවා. නමුත් අපිට වටිනාකම කියන දේ ගැන හිතලා වැඩ කරන්න වෙනවා.


තිළිණි කෞශල්‍යා විජේසිංහ



Previous Post Next Post