මගේ ආදර කතාව ගැන දැන්ම කියන්න බෑ- පියුමි ශ්‍රීනායක




පසුගිය කාලයේ විකාශය වුණු අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වුණු පාරදිගේ ටෙලි නාට්‍යයෙ රුක්ෂානා ලෙසින් ප්‍රේක්ෂකයින් අතරට ආ පියුමි ශ්‍රීනායක මේ දිනවල දකින්න ලැබෙන්නේ wow මැඩම් සහ සර්කස්කාරයෝ තුළින්. මේ චරිතවලට පියුමිට ලැබෙන ප්‍රතිචාර ගැන වගේම ඉදිරි කළා නිර්මාණ ගැන රසඳුන සමඟ කළ කතාබහයි මේ..


මේ දවස්වල මොකද වෙන්නෙ?


මේ දවස්වල මම ටිකක් කාර්යබහුලයි. මගේ අලුත්ම නිර්මාණය වාව් මැඩම් සිරස නාළිකාවේ 7.30ට විකාශය වෙනවා. එහි රූපගත කිරීම් මේ දිනවල සිදු වෙනවා. එහි මම පුබුදු චතුරංග, නිලුෂි පවන්යා, රාජිත සහ ශිරෝමිකා අක්කා රංගනයෙන් දායක වෙනවා. තව රංගන ශිල්පීන් ගොඩක් ඉන්න නිර්මාණයක්. හාස්‍ය උපදවන ඉතාම ලස්සන නිර්මාණයක්. ඒ එක්කම සිවගුරුනාදන් මහතාගේ බයිස්කෝප් නාට්‍යයට අලුතින් ආරාධනා ලැබුණා. ඒ හැරුණම පුබුදු අයියා එක්කම කාබන් කියලා අලුත් නාට්‍යයක් එන්න තියෙනවා. එහි වැඩ කටයුතුත් කරගෙන යනවා.


වාව් මැඩම්හි අලුත් ම භූමිකාවට ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වොත්?


ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. ලැබෙන ප්‍රේක්ෂක ආදරේ තමයි අපේ ජීවය වෙන්නේ. ඒ නිසා අපේ චරිත ආදරෙන් වැළඳ ගන්නා සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.


දැන් පියුමි චරිතයක් භාර ගන්න කලින් විශේෂයෙන්ම බලන්නෙ මොනවද?


මම චරිතයක් භාර ගන්න කලින් බලන්නේ මම කරන චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක් ද කියලා. ඒකට හේතුව එක නාට්‍යයක් කළොත් ඒ වගේම චරිත එක දිගටම ගලාගෙන එන්න පටන් ගන්නවා. මම ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මම චරිතයක් ලැබුණාම වෙනස් එකක් ද කියන එක තමයි මුලින්ම බලන්නේ. මේ දිනවල විකාශය වන wow මැඩම් හි චරිතය සහ බයිස්කෝප් නාට්‍යයේ චරිතය ගත්තත් වෙනස් චරිත දෙකක්. ඒ එක්කම එන්න තියෙන කාබන් හි චරිතය ඊටත් වඩා වෙනස් එකක්.


රංගනයට සීමාවන් තියෙනවද?


සමහර වෙලාවට මම සීමාවන් දාගෙන රඟපානවා. ලංකාව වගේ රටක සහ මම කියන චරිතය ඇතුළේ සීමාවන් පනවා ගන්න වෙනවා. ගමක ඉපදිලා මේ තැනට ආව කෙනෙක් නිසා මම මටම පනවා ගත්ත පොඩි පොඩි සීමාවන් තියෙනවා.

පියුමි කියන්නෙ අවංකව විවෘතව කතා කරන කෙනෙක් නේද?


ඔව් අනිවාර්යෙන්ම. මම විවෘතව අවංකව කතා කරන කෙනෙක්. මම හිතේ එකක් තියාගෙන තව එකක් කටින් කතා කරන කෙනෙක් නෙවෙයි. කෙනෙක්ට දෙයක් කියන්න තියෙනවා නම් කෙළින්ම කියන කෙනෙක්. මම මගේ දෙමාපියන්ටවත් හිතේ එකක් තියන් කටින් එකක් කියන කෙනෙක් නෙවෙයි. වැරැද්දක් අසාධාරණයක් දැක්ක තැනක කෙළින් කතා කරන කෙනෙක්.


එහෙම විවෘත වෙන්න ගිහින් අපහසුතාවට පත් වෙලා නැද්ද?


ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. අපහසුතාවට පත් වෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රය ඇතුළේ සහ ක්ෂේත්‍රයෙන් පිටතදී ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. යාළුකම් නැති වෙලා තියෙනවා. මොකද කෙළින් ඇත්ත කතා කරන අයට ගොඩක් අය කැමති නැහැනේ. ඇත්ත තිත්ත නිසා ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා.


ජීවිතේ ආදරේ ගැන අද කොහොමද දකින්නෙ?


ආදරේ කියන දේ එකිනෙකාට වෙනස්. ආදරේ ගැන නිශ්චිත නිර්වචනයක් දෙන්න අමාරුයි. ඒක එකිනෙකාට දැනෙන විදිය වෙනස්. නමුත් මට දැනෙන විදියට හරි ආදරයක් ලැබුණොත් අපිව ජීවත් කරවන්න සහ වැරදි ආදරයක් ලැබුණොත් අපිව මරා දමන්නත් පුළුවන්. අපි කී දෙනෙක් එක්ක යාළුවෙලා හිටියත් ඇත්ත ආදරේ දැනෙන්නේ එකම එක සැරයයි. ඒ ඇත්ත ආදරේ දැනුණු දවසට එහෙම ආදරේ දැනිලා තියෙන්නේ වැරදි කෙනෙක්ට නම් අපිට සොරි තමයි. මොකද ජීවිත කාලයම අඬ අඬා ඉන්න වෙන්නේ.


පියුමිගේ ආදර කතාව ගැනත් කියමුද?


මගේ ආදර කතාව ගැන දැන්ම කියන්න බෑ. ඒ ගැන පස්සේ කතා කරමු.


මේ වසරේ මංගල සීනු හැඬවෙයිද?


ඒක කියන්නත් හරි අමාරුයි. ඊට කලින් කරගන්න ඕනේ වැඩ කටයුතු කිහිපයක් තියෙනවා. සැලසුම් අරමුණු කිහිපයක් තියෙනවා. මගේ අම්මා තාත්තා ගැන තව බලන්න ඕනේ. ඊට පස්සේ මංගල සීනු හැඬවෙයි.


අනාගත බලාපොරොත්තු මොනවද?


එහෙම අනාගත බලාපොරොත්තු කියලා ලොකු දේවල් හිතේ තියන් නැහැ. ගිය අවුරුද්දේ අද වෙද්දී මම කරන්න හිටිය දේවල් අද වෙද්දී මට නැතිවෙලා තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු ගොඩගහන් ඒ වෙනුවෙන් වැඩ කරත් වැඩක් නැහැ ඒ දේවල් අහිමි වුණොත්. ඒ අහිමිවීම් දරාගන්න අමාරු නිසා. ඒ නිසා මම ලොකු ලොකු බලාපොරොත්තු තියා ගන්නේ නැතුව වැඩ කරගෙන යවනවා.


අනුෂා රණසිංහ



Previous Post Next Post