තාත්තා මිය යන්න පැයකට කලින් ඔස්ට්‍රේලියාවට මට කතා කළා -විජය නන්දසිරිගේ දියණිය නවාංජනා




දියණියකට පියෙකුගේ ආදරය ආරක්ෂාව හරිම වටිනවා. ඒ වටිනාකමට මිලක් තක්සේරු කරන්න අපහසුයි. දුවලා පැනලා දඟ කරලා තාත්තාගේ තුරුලේ නැළවුණු කාලයේ තාත්තාගේ උණුසුම දවසක දැනෙන්නේ ඔහු මේ ලෝකයේ නැති දවසක. දියණියක් තම ආදරණීය තාත්තා නැති දුක මවකට පුරවන්න පුුළුවන් කියලා කිව්වට... සමහර අවස්ථාවලදී පියෙකුගේ ආරක්ෂාව කොයි තරම් වටිනවා ද කියලා හදවතට දැනෙන්නේ ඔහු කළ කැපවීම ගැන සිහිවෙන විටයි.


බොහෝ විට ඒ අඩුව මවක් ලෙස ඇය ඉටු කළත් පියෙක් ලෙස ඔහු කළ කැපවීම මවකට කරන්න බැරි බව දැනෙන අවස්ථා එමටයි. එවැනි අපිරිමිත වූ පියෙකුගේ සෙනෙහස අහිමි වූ දියණියකගේ සිත තුළ සිරවුණු ආදරය මෙතෙකැයි හඬ ගා කියන්නට බැරි වුණත් ඔහු ගැන සිහිපත් වන විටත් නෙතට කඳුලක් නැගෙයි නම් ඒ තමා දියණියකගේ සැබෑම පිය සෙනෙහස. එවැනි පිය සෙනෙහසක අරුමැසිය ගැන පවසන්නට අප සමඟ පිළිසඳරකට එකතු වුණේ අප රටේ ජනප්‍රියතම ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකු ලෙසින් රටම හඳුනාගත් කලා පවුලක දියණියක්. ප්‍රහසනයෙන් රටක් සිනහා සයුරේ ගිල්වමින් ලොවක් දිනු ඔහු දක්ෂ නළුවෙකු ලෙසින් හෙළ කලා කෙතට ඉටු කළ මෙහෙවර අති මහත්ය. එලෙසම ඔහුගේ බිරිය ද ඔහුගේ සෙවණැල්ල සේ හිඳිමින් ඒ කලා ලෝකය තවත් වර්ණවත් කළේ මිහිිරි මතක අතර ප්‍රථම ටෙලි නාට්‍ය නිළිය ලෙසින් ජනප්‍රියත්වයට පත් වෙමිනි.


විජය නන්දසිරි නම් ඒ ජ්‍යෙෂ්ඨ කලාකරුවාගේ ලෝකය බවට පත් වූ දේවිකා මිහිරාණි නම් දක්ෂ නිළියත්, ඔහු හා අැයගේ ලෝකය මිහිරියාවෙන් පුරවාළු අපේක්ෂාවන් බවට පත් වූයේ නවාංජනා මිහිරාණි නන්දසිරි දියණියත්, රසාංජන සුචිත්‍ර නන්දසිරි පුතුනුවත්ය. තම අාදරණීය කැදැල්ලේ සෙනෙහස දවසින් දවස දලු ලා වැඩෙන විට ඔවුන්ගේ ලෝකය ආදර සෙනෙහසින් පිරි ගියේ විජය නන්දසිරි කලාකරුවා කලාව වෙනුවෙන් පමණක් නොව තම සෙනෙහසින් පිරි් කැදැල්ල සතුටින් තබන්න විශාල කැපකිරීමක් කරමිනි. පිය සෙනෙහසින් පිරී ගිය ඒ කැදැල්ලේ මිහිර ගැන අපට පවසන්නට පිළිසඳරකට එක් වූයේ විජය නන්දසිරි මහතාගේ ආදරණීය දියණිය නවාංජනා මිහිරාණි නන්දසිරි දියණියයි. ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඇය අප සමඟ මේ පිළිසඳරට එක්වූයේ මවු පදවිය ලබා මාස 03ක පමණ පුංචි පුතුණුවෙකුගේ දරු සුරතල් විඳිමිනි. කලාවට ඇති ආදරය හා සෙනෙහස නිසාම තම පියාගේ මතකය අවදි කරන්නට එක් වූ ඇය ඔහු ගැන සටහන් කළ බොහෝ දෑ විජය නන්දසිරි කලාකරුවා ගැන මෙරට රසිකයන් නොදත් බොහෝ දෑ දැනගැනීමට අවස්ථාවක් විය.


අපේ අම්මයි, තාත්තායි ජනප්‍රිය නළු නිළි යුවළක් ලෙස ජනප්‍රියත්වයට පත් වුණේ මම ඉපදෙන්නටත් පෙරයි. ඒ කියන්නේ මගේ අම්මා ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය නිළිය ලෙස ජනප්‍රියම නිළිය වෙලා සම්මාන දිනා ගත්තට පස්සේ තමයි මම ඉපදුනේ. මට අවුරුදු පහකට පස්සේ තමයි මල්ලි රසාංජන ඉපදුනේ. මම ඉපදුණාට පස්සේ අම්මාට රඟපෑමෙන් ටිකක් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඒ නිසා අම්මා රඟපෑමෙන් ඉවත් වෙලා තාත්තා විතරක් රඟපාන්න පටන් ගත්තා.


නමුත් අපේ පුංචි අම්මලා දෙන්නෙක් හිටියා. එක්්කෙනෙක් ශාන්ති මාලා. අනෙක් පුංචි අම්මා සකුරා කුමාරි. මේ දෙන්නා අපව බලා ගන්න අම්මට සෑහෙන්න උදව් කරලා තියෙනවා. මට තේරෙන වයස වෙනකොට මට හිතුණා රඟපෑමට දක්ෂ අපේ අම්මා වෘත්තියෙන් ඉවත්වෙන එක හරි අපරාධයක් කියලා. මම කිව්වා අම්මාට රඟපාන්න ආයෙමත් යන්න කියලා.


ඇත්තටම අපේ අම්මයි තාත්තාගෙයි දෙන්නා අතර තිබු‍ෙණ් පුදුමාකාර බැඳීමක්. ඒ බැඳීම හරිම ගැඹුරුයි. තාත්තා නාට්‍යයකට හරි පිටරටකට හරි යනවා නම් ඒ සියලු දේ ලෑස්ති කරන්නේ අම්මා. තාත්තා සමහර වෙලාවට දන්නේ නෑ තමුන්ට ගිහින් අඳින්න ති‍ෙයන ඇඳුම මොකක්ද කියලා. ඒ තරමටම අම්මා තාත්තා ගැන සොයා බැලුවා. අම්මා ගෙදර නැත්තම් සමහර වෙලාවට තාත්තා කෝල් කරලා අහනවා මොකක්ද අඳින ඇඳුම කියලා.


ඇත්තටම තාත්තා හරිම සරල පුද්ගලයෙක්. කිසිම දෙයකට කලබල වෙන්නේ නැහැ. ඔහු වේදිකාවේදී ප්‍රේක්ෂකයෝ දකිනවාට වඩා හුඟාක් වෙනස්. ගෙදර වැඩ ගැන සෑම කටයුත්තක්ම සොයා බලන්න වෙලාවක් නැති වුණාට එයා ඒ සෑම දේ ගැනම හරි කල්පනාවෙන් ඉන්නේ. ඇත්තටම එයා විකට චරිත රඟපාන නළුවෙක් ලෙස ජනප්‍රිය වුණාට ඔහු දක්ෂ චරිතාංග නළුවෙක්. මනමේ, සිංහබාහු නාට්‍යවල තමයි තාත්තා මුලින්ම රඟපෑවේ. නමුත් 2000 වර්ෂයේදී තාත්තා නෝනාවරුනේ මහත්වරුනේ ටෙලි නාට්‍ය රඟපෑමට පටන් ගත්තට පස්සේ තාත්තා අතිශය ජනප්‍රිය වුණා. ඒ නාට්‍ය තමයි තාත්තාගේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වුණේ. ඊට පස්සේ තාත්තාට ලැබුණු චරිත බොහෝ ප්‍රමාණයක් ප්‍රහාසනාත්මක නාට්‍ය. සුහද කොකා, සිකුරු හතේ, එතුමා, නෑදැයෝ වගේ විශාල ජනප්‍රියත්වයකට පත්වුණා. ඒ කියන්නේ තාත්තාට පාරේ යන්න බැරි තරමටම ජනතාව ආදරය කරන්න පටන් ගත්තේ ඊට පස්සේ.


ඒ නාට්‍යවලින් තාත්තා ජනප්‍රියත්වයට පත් වුණාට ඔහුගේ රංගනය ඊට වඩා හුඟාක් ගැඹුරුයි. ඔහු හුඟාක්ම ආදරය කළේ වේදිකා නාට්‍ය කලාවට. ඒ නිසා මටත් තාත්තාගේ නාට්‍ය හතරක රඟපාන්න අවස්ථාව ලැබුණා. වෘෂභ රාජ, හාරත රැජින, ශ්‍රී ගජබා, කුස පබාවතී නාට්‍යවල මමත් රඟපෑවා. නමුත් මම විවාහ වෙලා 2013 දී ඔස්ට්‍රේලියාවට ආවා. මම විවාහ වුණේ චමින්ද ගුණරත්න සමඟ. ඔහු ව්‍යාපාරිකයෙක්. දැන් අපට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව සහන්යා මිහිරාණි ගුණරත්න. එයාට අවුරුදු 08. පුතාට දැන් මාස 03යි. එයාට තාත්තාගේ නම තිබ්බා. එයා සහන් විජය නන්දසිරි.


මම වගේම තමයි මගේ මල්ලි රසාංජන. ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක්. ඔහු දැන් නාට්‍ය කිහිපයක රඟපෑමට එකතු වෙලා ඉන්නවා. මම ඔස්ට්‍රේලියාවේ පෙර පාසලක අවුරුදු 08ක් විතර ඉඳන් සේවය කරනවා. ඇත්තට දරුවෝ සමඟ ගත කරනවා කියන්නේ අමුතුම අත්දැකීමක්.


දැන් අපේ තාත්තා නැතිවෙලා අවුරුදු 08ක් වෙනවා. ඒ වුණාට තාත්තා නැතිවුණු දවස මට අද වගේ මතකයි. තාත්තා එදා පැයකට කලින් මට කතා කළා. එතකොට දුවට මාස 06යි. එයා දරුවා එක්කත් හරි සතුටින් කතා කරලා මම wash එකක් දාලා ඇවිත් ආයෙමත් කතා කරන්නම් කියලා තමයි Phone එක තිබ්බේ. ඊට පස්සේ තමයි ඔහු මිය ගියේ. තාත්තා ජීවිතේ හරිම සැහැල්ලුවෙන්, සතුටින් ගත කළා. ඒකට හේතුව තමයි අපේ අම්මා. ඇය තාත්තා ගැන අපි ගැන හොඳට සොයා බැලුවා. අදටත් අම්මා එහෙමයි. එයා තාත්තා නැති අඩුව අපට දැනෙන්න දෙන්නේ නැහැ. නමුත් තාත්තා වැඩිය අපිත් එක්ක කතා නොකළාට අපි ගැන හිතනවා. අපට හුඟාක් ආදරය කළ කෙනෙක්. මට මතකයි අපි ඔස්ට්‍රේලියාවට එන දවසේ තාත්තා ඉකි ගහා ඇඬුවා. මම එදා තමයි තාත්තා ඒ තරම් සංවේදී පුද්ගලයෙක් කියලා දැනගත්තේ.“


දුමින්ද කාරියවසම්




Previous Post Next Post