එක දවසක් ඇවිත් චරිතයක් කළාට තරුවක් වෙන්න බෑ -සමන්ත කුමාර ගමගේ



ඔහු පුංචි තිරය, රීදි තිරය සහ වේදිකාව තම රංගන හැකියාවෙන් සහ තිර රචනයෙන් ජයගත් කලාකරුවෙක්.  මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයක සහ වේදිකාව තුළද නොමඳ ප්‍රේක්ෂක ආදරය දිනාගත් සමන්ත කුමාර ගමගේ හදගැස්ම සමඟ අදහස් බෙදා ගත්තේ මෙලෙසින්.


ඔබ අතිශය කාර්යබහුල කලාකරුවෙක්. මේ දිනවල සිදුකරන කලා කටයුතු මොනවාද?


මම මේ දිනවල වියළි ටෙලි නාට්‍ය සඳහා තිර රචනයෙන් සහ රංගනයෙන් දායක වෙනවා. එහි අවසන් අදියරයේ ලිවීම් කටයුතු තමයි මේ දිනවල සිදුවන්නේ. ඒ වගේම බඹරෙක් ඇවිත් ටෙලි නාට්‍යයේ තිර රචනයත් සිදුකරනවා. මම රංගනයෙන් දායක වන  පුංචි අන්දරේ සහ තත්පරයක් දෙන්න ටෙලි නාට්‍ය මේ දිනවලදී විකාශන වෙනවා. ඒ වගේම, බුද්ධික ලොකු කැටියගේ සහ ඉන්දික ධර්මතිලකගේ ටෙලිනාට්‍ය දෙකක් සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා. එතැනින් බුද්ධික ලොකුකැටියගේ නිර්මාණයේ තිර රචනය ඉවර කරලා තිබෙනවා. ඒ වගේම බෙනට් රත්නායක මහතාගේ සිනමාපටයකටත්  ආරාධනා ලැබිලා තිබෙනවා. 


මේ දිනවල ඔබ රංගනයෙන් දායක වෙන වියළි ටෙලි නාට්‍ය ඔබේ තිර රචනයක්. ඒ ගැන අහන්න කැමැතියි.


ශාන්ති දිසානායකගේ “ගජ මංකඩ”  නවකතාව පාදක කරගෙන තමයි මේ ටෙලි නාට්‍ය රචනා වෙන්නෙ. මීට කලින් මම ඇගේ නවකතාවක් ආශ්‍රයෙන් ගිරිදේවී නාට්‍ය රචනා කළා. එය වඩාත් හොඳ ප්‍රේක්ෂක ප්‍රසාදයකට ලක්වුණා සහ එයට සම්මානත් ලැබුණා. ඒ කාලයේ චන්දන ඉලුක්කුඹුර මගෙන් ඇහැව්වා අපි ඇයගේ කෘතියකින් ටෙලි නාට්‍යයක් කරමුද කියලා. ඉන්පසු මම ඇගේ මෙම කෘතිය තෝරා ගත්තා. නමුත් ඇගේ අනෙක් කෘතිවලට වඩා වෙනස්ම කෘතියක් වුණු නිසා මම කොහොමද එය ටෙලි නාට්‍යයක් සඳහා ගෙන එන්නේ කියලා හිතුවා.  


නවකතාවේ තියෙන ඇතැම් සිදුවීම් ටෙලිවිෂන් රූප රාමුවකට ගේන්නෙ කොහොමද කියන ගැටලුව අපිට ආවා. උදාහරණයක් විධියට නවකතාවේ මාලා නම් තරුණිය ජීවත් වෙන්නෙ කැලෑවක නයෙක් සමඟ. මෙය රූගත කරද්දී අපිට විවිධ අපහසුතාවන්ට මුහුණ දෙන්න වුණා. මොකද අනෙක් රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටියෙ නයාට බියෙන්. අනෙක් කාරණය නයාව හසුරවන්නත් ලෙහෙසි වුණේ නැහැ.


නමුත් මම නවකතාවට අසාධාරණයක් නොකර තිර රචනය සිදුකළා. ඇතැම් කොටස් විකාශය වීමත් සමඟ සමාජ මාධ්‍ය තුළින් අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා ඒ අභියෝගය ජයගත්තා කියලා මම හිතනවා.


වියළි ටෙලි නාට්‍යයේ ඔබ රංගනයේ යෙදෙන අබේරත්නගෙ චරිතය ගැනත් කතා කරමු.


අබේරත්න කියන්නේ ගමේ ඉන්න කටකාර ඒත් හිත හොඳ කාන්ති කියන කාන්තාවගේ ස්වාමිපුරුෂයා. චරිතයෙන් වඩාත් අහිංසක ඇවතුම් පැවතුම් තිබෙන අබේරත්න තමන්ගෙ බිරියට අතිශයින් ආදරේ කරනවා. මොන දේ කළත් ඒ තමන්ගෙ බිරියනේ කියන හැඟීමෙන් ඉන්නවා. ඒ වාගේම රසිකයන්ට කියන්න කැමැතියි ඉදිරියේදී මේ චරිතය වෙනස්ම පැත්තකට ඇදෙනවා. ඒ ගැන අපි නොකියා ඉමු.ඒ ගැන දැනගන්න කුතුහලයක් ඉතුරු කරන එක හොඳයි කියලා මම හිතනවා. මේ චරිතය මම රඟපාපු බොහොමයක් චරිත අතරින් වෙනස්ම චරිතයක් තමයි.


මේ දවස්වල සිද්ධිකාත් සෑහෙන ජනප්‍රියයි නේද? 


සුපුන් රත්නායකගේ තත්පරයක් දෙන්න මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලි නාට්‍යයක්. සමස්ත නිර්මාණය ගත්තම සිද්ධිකා කියන්නෙ සුළු චරිතයක්. ඒත් ඒ චරිතයෙන් සමාජයට ගන්න පුළුවන් දේවල් ගොඩක් තිබෙනවා. මම හිතන්නේ සිද්ධිකා සුළු චරිතයක් වුණත් ඒක මට ලැබුණු හොඳ අවස්ථාවක්.


ඔබ පුංචි තිරය තුළ සේම වේදිකාව තුළත් සැරිසරන්නෙක්. ඒ ගැනත් කතා කරමු.


මේ දිනවල ආනන්ද සමරකෝන්ගේ කැලණි පාලම වේදිකා නාට්‍යයෙහි ප්‍රධාන භූමිකාවකට රංගනයෙන් දායක වෙනවා. තරංග බණ්ඩාරගේ චවුදරී සහ සරත් කොතලාවලගේ සුදු වලහා යන වේදිකා නාට්‍ය සඳහාද දායකත්වය සපයනවා. එතැනදී කැලණි පාලම ගත්තාම එය ලංකාවේ පැරණිම ලෝක ධර්මී වේදිකා නාට්‍යයක් ලෙස පාසල් විෂය නිර්දේශය තුළත් තිබෙනවා. එයට රංගනයෙන් දායක වීමට ලැබීම අතිශය සතුටට කාරණයක්.


වර්තමාන ලාංකේය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගැන ඔබ දරන මතය කුමක්ද?


එදා ටෙලි නාට්‍යවල තිබුණේ කලබලකාරී නැති සෙමෙන් යන ගමනක්. නමුත් අද එහෙම කරන්න බෑ. මොකද දැන් මිනිස්සු හරිම කාර්යබහුලයි. වෙනත් වැඩවල නිරත වන අතරතුර තමයි ටෙලි නාට්‍යයක් වුණත් බලන්නෙ. ඒකත් ඇතැම්විට යූටියුබයෙන්. ඒ නිසා අපි ඔවුනට ගැළපෙන විධියට තමයි නිර්මාණ කළ යුත්තේ.


ඒ නිසා තේරුමක් නැතිව ඇදි ඇදී යන ටෙලි නාට්‍යවලට වඩා යම් පණිවුඩයක් දෙන කාලීන තේමාවක් ගැන කතා කරන නිර්මාණ සාර්ථකයි.


දැන් බලන්න කූඹියෝ, තණමල්විල කොල්ලෙක්, තත්පරයක් දෙන්න, කොඩිගහයට වාගේ ටෙලි නාට්‍ය ගත්තාම ඒවා ඉක්මනින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තා.  වෙනදාට වඩා වෙනස් විධියේ හොඳ නාට්‍ය ජනප්‍රිය වීමේ ප්‍රවණතාවක් අද දකින්නට ලැබෙනවා. එය සතුටු වෙන්න පුළුවන් කාරණයක්.


 නවක කලාකරුවන්ට පවසන්නට යමක් තිබෙනවද?


එක දවසින් ඇවිත් චරිතයක් කරලා තරුවක් වෙන්න උත්සාහ කළාට ඒ දේ සාර්ථක වෙන්නේ  නෑ. කල්පැවැත්මක් නෑ. අද නවකයන්ගෙන් ඇතැම් පිරිසක් මේ දේ නිසයි බොහෝ විට අසාර්ථක වෙන්නෙ. මොකද රංගනය කියන්නේ හැදෑරීමක් එක්ක කරන්න ඕන දෙයක්. ඒ අඩුව පුරවගන්නේ  නැතිව ක්ෂේත්‍රයට එන්න එපා.


ඔබ මේ ගමන ආවේ අතිශය කැපකිරීම් ගොඩාක් කරලා. ඒ අතීතය දෙස හැරී බැලුවම ඔබට දැනෙන හැඟීම මොන වගේද?


අපි හදා ගන්න හීන තමයි අපේ ජීවිත සාර්ථක කරන්නේ. හීන දැක්කට මදි හීන හැබෑ කරගන්න කැප කිරීමක් කරන්න ඕනෑ. මොකද කිසිම දෙයක් බන්දේසියක තියලා ලැබෙන්නෙ නෑනේ. මම අර හද්ද ගමක කටුමැටි බිත්ති තිබ්බ ගෙදරක නළු නිළියන්ගේ ෆොටෝ ගහගෙන නළුවෙක් වෙන්න හීන දකිද්දී මාව විහිළුවට ගත්ත චරිත හිටියා. රූපෙන් ලස්සනත් නැති කෙනෙක්, ආර්ථික පසුබිමෙන් දුර්වල කෙනෙක් කොහොමද  එහෙම හීනයක් දකින්නෙ කියලා. ඒත් මම කැපවුණා. ඉගෙන ගත්තා. ලැබෙන අවස්ථාවට උපරිම සාධාරණයක් කළා. ඒ නිසා මට මේ ගමන එන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.


අවසන් වශයෙන්  මතක් කළ යුතු දේවල් කිහිපයක් තිබෙනවා. මම ඉස්සර රැකියාව කළේ අධ්‍යාපන පරිපාලන අංශයේ, දැන් රාජ්‍ය පරිපාලන අංශයේ. කලා කටයුතු කරනවා වගේම මම රැකියාවත් කරනවා. ඒ ආයතනවල ප්‍රධානීන්ගෙන් ලැබෙන සහයෝගය නැත්තන් අද මට මේ ගමන එන්න බෑ. එක්කො රැකියාව නැත්තන් කලාව මට තෝරා ගන්න වෙනවා. ඒත් මට එහෙම තීරණයක් ගන්න අවස්ථාවක් උදාවුණේ නෑ. මොකද ඔවුන්ගෙන් ලැබුණු  සහයෝගය නිසා. මම ඒ ගැනත් ගෞරවයෙන් මතක් කරන්න කැමැතියි.



Previous Post Next Post