කසුන්, කුෂාණි නෙළුම් පොකුණට



 කසුන් කල්හාර සංගීත ක්‍ෂේත්‍රයේ ගමන නොකඩවා පැමිණියත් කුෂානි සඳරේකාට එක අවස්ථාවකදි ක්‍ෂේත්‍රයෙන් ටිකක් ඈත් වෙන්න සිදුවෙනව. ඒ ඔවුන්ගේ ආදරණීය දියණිය දේවින්ද්‍රි කල්හාරා ඔවුන් අතරට පැමිණීමත් එක්ක. ඔන්න දැන් ඔවුන් තිදෙනාටම ආදරය කරන රසිකයන්ට කසුන්, කුෂානි සහ දේවින්ද්‍රි එකම වෙදිකාවකදී දකින්න අවස්ථාව ලැබෙනව. මේ ඒ ගැන කෙරුණ කතාබහක සංක්‍ෂිප්තයයි.

කුෂානි, මොකක්ද මේ කේ. කේ. කොන්සර්ට් එක?


මෙතන කේ. කේ. කියන්නෙ කුෂානි සහ කසුන් කියන එක. කුෂානි සඳරේකා, කසුන් කල්හාර. පළමු වැනි වතාවට අපි දෙන්න පමණක් එකතුවෙලා කරන කොන්සර්ට් එක තමයි මේ. මෙම මාසයේ 29 වැනි සෙනසුරාදා සවස 7.00ට නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරල තියෙනව.


මේ ප්‍රසංගයේ සංගීතය සැපයීම?


සංගීතය සැපයීම කසුන් මූලික කරගෙන පහන් සංදීප සහ සචිත්‍ර ප්‍රනාන්දු විසින් සිදුකරනව. ඒ වගේම නිවේදන කටයුතු සිදුකරන්නෙ ඔසඳ ගුණරත්න.


කුෂානි සහ කසුන් මොන වගේ අත්දැකීමක්ද රසිකයන්ට දෙන්න හදන්නෙ?


අපිට අපේ රසිකයකුගෙන්ම ආරාධනාවක් ලැබුණා අපි දෙන්න විතරක් සහභාගි වෙන කොන්සර්ට් එකක් කරමුද කියල. අපි දෙන්නත් තීරණය කළා ඒ වගේ දේකට මේ සුදුසු කාලය වගේම එකම දේ දැකල දැකල මිනිස්සුන්ටත් එපා වෙලා තියෙන නිසා කන්සෙප්ට් එක පැත්තෙන් ලොකු වෙනසක් එක්ක ශබ්දය, රූපය මේ හැමදේකින්ම වෙනස් වැඩක් කරමු කියල.


ඒ වගේම මෙහි කොරියෝග්‍රැපි පැත්තට මම, මුද්‍රිකා ස්වර්ණතිලක, කපිල පලිහවඩන සහ වසන්ත ප්‍රමුදිත යන අය සම්බන්ධ වෙනව. ඒ වගේම කොලර්ස් දෙකක් බන්ධ වෙනව. සෞන්දරී ඩේවිඩ් (සෝල් සවුන්ඩ්) ඇකඩමියේ දරුවන් සහ සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ මන්ද්‍ර කලා කවයේ දරුවන් ටිකත් එදාට අපිත් එක්ක එකතු වෙනව.


මෙහෙම වැඩක් කරන්න ඇයි මේ තරම් කාලයක් ගියේ?


ඇත්තටම මේ වගේ වැඩක් කරන එක ලෙහෙසි නැහැ. ලොකු කාලයක් වගේම ලොකු වියදමකුත් යනව. මම සහ කසුන් කියන්නෙ එකම මාවතේ යන කලාකරුවන් දෙපළක් වුණාට වර්ණ දෙකක අය. මම ප්‍රාසාංගිකව දේවල් ඉදිරිපත් කරමින් ගායනා කරන ගායිකාවක්. කසුන් හැඟීම්බර ආකාරයට ගීත ඉදිරිපත් කරන ගායකයෙක්. ඒ විවිධත්වයත් මේ ප්‍රසංගය තුළ තියෙනව.


මේක සාම්ප්‍රදායික ප්‍රසංගයක් නෙමෙයි?


නැහැ. ඒ ක්‍රමය මෙතනදි වෙනස් වෙනව. මේ තාක් බලපු ප්‍රසංගවලට වඩා වෙනස්ම මුහුණුවරකින් අපි මේ ප්‍රසංගය ඉදිරිපත් කරනව. මම ගායනයෙන්, වාදනයෙන් සහ නර්තනයෙන් මේ සඳහා සහභාගි වෙනව. කසුන් ගායනයෙන් සහ සංගීතය මෙහෙයවීමේ කටයුතුවලට එකතු වෙනව.


මේ ප්‍රසංගය රට වටා ගෙනියනවද?


දැනට අපේ අදහස තියෙන්නෙ මේ ප්‍රසංගය කිරීම පමණයි. තවත් තැනකට ගෙනියනවද කියන එක ගැන කතාකරල නැහැ.


එදිනට අලුත් ගීත එළිදක්වනවාද?


අලුත් ගීත එළිදැක්වීමක් සිදුවෙන්නෙ නැහැ. ප්‍රේක්‍ෂකයන්ගෙ සිත් බැඳි ගීත වගේම අපේ ඇල්බම්වල තියෙන, නමුත් අඩුවෙන් ඇහෙන ගීත කිහිපයක් මෙහිදී අප ගායනා කරනව.


කසුන් අලුත් ගීත කළේ නැද්ද?


කසුන්ගෙ නිර්මාණ කිහිපයක්ම එළියට ආවා. ඒ අතරින් ‘මටත් කවියක්’ කියන ගීතය බොහොම ජනප්‍රිය වුණා. ඒ වගේම කසුනුයි මමයි යුග ගීත දෙකක් කළා. ඒ ‘සරා සඳේ සිරියාවි’ සහ ‘හිත හීන අරන්’. මේ අතර මම පසුබිම් ගායනයෙන් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. ඒ රෙඩ්, මන්දාරම්, මිදුණු විශ්වය සහ අයිස් ක්‍රීම් යන චිත්‍රපට සඳහා.


දැන් වැඩි කැමැත්ත චිත්‍රපට පසුබිම් ගායනයටද?


නැහැ, කැමැත්තට වැඩිය මට ගොඩක් අවස්ථාවන් ලැබුණෙ චිත්‍රපට පසුබිම් ගායනයට. ඒ වගේම ඒවා හරහා තමයි ගොඩක් වෙලාවට හොඳම ගායිකාව හැටියට මට සම්මාන ලැබුණෙ. මම මේ ක්‍ෂේත්‍රයට එන්නෙ පුංචිම කාලෙ. ඒ චිත්‍රපට ගීත ගායනයකින් සහ රංගනයකින්. මගේ ගීතවලට රූප රචනා අඩුයි, නමුත් රසිකයො දන්න ගීත වැඩියි. සමහර ගීත මමද ගායනා කරන්නෙ කියලත් ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ.


යුග ගීතවල පද රචනා කළේ කවුද?


සරා සඳේ සිරියාවී ගීතයේ පද රචනා කළේ මංජුල වෙඩිවර්ධන, සංගීතවත් කළේ කසුන්මයි. හිත හීන අරං ගීතයේ පද රචනා කළේ දැලිව ඉන්ද්‍රරථන හිමි. සංගීතවත් කළේ කසුන්මයි.


අලුත් නිර්මාණ කරන්න අදහසක් ඇති දැන්?


ඔව්, ඉදිරියේදී අලුත් ගීත කිහිපයක්ම කරන්න සූදානම් කරල තියෙනව වගේම රූපරචනා දෙකකුත් ඒ අතර තියෙනව.


ඔබ දෙදෙනා සංගීත ඇකඩමියක් ආරම්භ කළා?


ඔව්, කසුන් සහ මම එකතුවෙලා බත්තරමුල්ල ප්‍රදේශයේ සංගීත ඇකඩමි එකක් පටන්ගත්තා. මේ දවස්වල ඒ වැඩකටයුතුත් සිද්ධ වෙනවා.


රසිකයන්ගෙ වැඩි ප්‍රතිචාරය කසුන්ටද? කුෂානිටද?


ඇත්තටම ඒක දන්නෙ අපේ රසිකයො. මම හිතනව කසුන්ට වෙන්න ඇති කියල. එයා මට වඩා ගොඩක් වැඩ කරනව. අනික මම දරුවා වෙනුවෙන් අවුරුදු අටක් ක්‍ෂේත්‍රයෙන් ටිකක් ඈත්වෙලා හිටියා. ගායනයකට සම්බන්ධ වුණා නම් ඒ චිත්‍රපටයකට විතරයි. ඒ නිසා මාව දකින්න පුළුවන් ප්‍රමාණය අඩු වුණා.


ඔබ ගෘහස්ථ සහ එළිමහන් ප්‍රසංග භාරගන්නවා?


ඔව්, මම මේ වර්ග දෙකේම ප්‍රසංග භාරගන්නවා. නමුත් කසුන් භාරගන්නෙ ගෘහස්ථ ප්‍රසංග පමණයි.


කුෂානි සංගීත දිවිය දකින්නෙ කොහොමද?


මේ වගේ ක්‍ෂේත්‍රයක් රැකියාව විදිහට තෝරාගන්න ලැබීම ගැන ඇත්තටම මම හරි වාසනාවන්තයි. මොකද මේක මම ආසා කරන, ඉගෙනගත්ත දේ වගේම මගේ පසුබිමත්, කසුන්ගෙ පසුබිමත් යන හැමදේම එකම විදිහට මට ගැළපිලා ලැබිල තියෙනව.


කසුන් සමග ගෙවන ජීවිතය ගැන කතා කළොත්?


ඇත්තටම අපි දෙන්න සරල, සාමාන්‍ය හොඳ ජීවිතයක් ගතකරනව. ඔහුගෙ සංගීත වැඩකටයුතුවලට මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම අද වගේම හෙටටත් ලබාදෙනව.


මේ කොන්සර්ට් එකේදි සිදුවෙන විශේෂ දෙයක් තියෙනව?


ඔව්, මේ කොන්සර්ට් එකේදි සිදුවන විශේෂම දේ තමයි අපි දෙන්නගෙ දියණිය දේවින්ද්‍රි මෙහි එක් අවස්ථාවකදි ගායනයෙන් සම්බන්ධ වෙනව.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post