ඒ හැඟීම පුදුමාකාර එකක් වෙනදාටත් වඩා දැන් තදින්ම දැනෙනවා චන්දිමා කරුණාදාස




චන්දිමා කරුණාදාස කියන්නේ වේදිකාව, පුංචි තිරය යනාදී කලාවේ නේකවිධ තැන් ස්පර්ශ කළ සැබවින්ම දක්ෂ තාරකාවක්. පාර දිගේ ඩාර්ලින් අක්කා ලෙසින් අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නට සමත් වූ චන්දිමා කරුණාදාස මේ දිනවල ඉන්නේ ඉතාම සතුටින්. ඒ ඇය මේ වෙද්දී සිඟිති දියණියකට මවකි. ජීවිතේම අලුත් වුණු මවු පදවිය ගැන වගේම ඇයගේ රංගන ජීවිතේ ගැන කළ සොඳුරු කතාබහයි මේ.


ජීවිතේ ගැහැනියක ලබන උතුම්ම පදවිය ලබලා ඉන්නෙ, දැනෙන හැඟීම වචන කළොත්?


ගැහැනු දරුවෙක් විදිහට මේ ලෝකෙට එන අපි විවාහ වෙලා ඒ පවුල් ජිවිතේ තුළ දී බලාපොරොත්තු වෙනවා අම්මා කෙනෙක් වීම. ඒක තමයි ගැහැනියක් විදිහට ලබන්න පුළුවන් උතුම්ම පදවිය. දැන් මමත් අම්මා කෙනෙක්. ඒ හැඟීම පුදුමාකාර හැඟීමක්. වෙනදාටත් වඩා දැන් තදින්ම දැනෙනවා අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් මොන තරම් කැපකිරීමක් කරනවද කියන එක. ඒ හැඟීම විස්තර කරන්න බැරි තරම් පුදුමාකාර හැඟීමක්.


අපි හිතනවට වඩා අම්මා කෙනෙක් වෙන එක සහ අම්මා කෙනෙක් ගැන තේරුම් ගන්න නම් මවු පදවිය ලබන්නම ඕනේ.


පුංචි දෝණි ගැන කිව්වොත්?


ඔව් අපිට ඉන්නේ දුවෙක්. දැනට මාසයක් සහ දවස් ගාණක් වෙන්නේ, තවම එයා පුංචි පැටියෙක්. තාම නමක් දාලත් නැහැ. ඉක්මනින්ම නමක් තියන්න ඉන්නේ.


දුවෙක්ට ද පුතෙක් ට ද කැමැත්තෙන් හිටියේ?


අපි දෙන්නට එහෙම විශේෂයක් තිබ්බේ නැහැ. දුවෙක් වුණත් පුතෙක් වුණත් ආදරෙන් භාර ගන්න කැමැත්තෙන් හිටියා. අපිට ලැබුණේ දුවෙක්. දැන් ජිවිතේම කොටසක්. එයා වෙනුවෙන් හැමදේම කැපකරගෙන එයාව හොඳ මනුෂ්‍යයෙක් විදිහට මේ ලෝකෙට දායාද කරන්න, උස්මහත් කර ගන්න තමයි බලාපොරොත්තුව.


දැන් දවස ගත වෙන්නෙ කොහොමද?


ඉස්සර වගේ නිදහස් කාලයක් නම් නෙවෙයි. දුව එක්කම තමයි පැය 24ම ඉන්නේ. එයාගේ වැඩ හැමදේම කරන ගමන් මම මගේ වැඩ ටිකත් කර ගන්නවා. ඉතාම කාර්යබහුල කාලයක් මේ කාලය.


මේ කාලයේ කොහෙද පදිංචිය එහෙම?


මේ දවස්වල ඉන්නේ කුරුණෑගල මගේ මහත්තයාගේ ගෙදර. මහත්තයාගේ අම්මා තමයි ගොඩක් උදව් කරන්නේ.


නැවත කවදා වගේ ද සුපුරුදු රංගනය ට යොමු වෙන්න ඉන්නෙ?


මම රංගනයෙන් ඈත් වෙලා නැහැ. පොඩි විරාමයක් ගත්තේ. ඒ විරාමය ගත්තෙත් කාන්තාවක් ලබන්න පුළුවන් උතුම්ම මවු පදවිය ලබන්න. දුව ටිකක් ලොකු වෙනකම් මම මේ විරාමය ගන්නවා. පුළුවන් ඉක්මනින් නැවත මම කලාවට එකතු වෙනවා. මේ දවස්වල විකාශය වන නාට්‍ය දෙකක්ම තියෙන නිසා ඉතා ඉක්මනින් නැවත රංගනයට එන්න බලාපොරොත්තු වෙනවා.


තාමත් ඩාර්ලිං අක්කට ප්‍රතිචාර ලැබෙනවා ඇති නේද?


මගේ රංගන ජීවිතේ මම නිරූපණය කරපු චරිතවලින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ ඩාර්ලින් අක්කගේ චරිතයට. ඒ චරිතය අදටත් හෙටටත් ප්‍රේක්ෂකයින්ට මතක හිටින චරිතයක් වෙයි. තාමත් ඩාර්ලින් අක්කට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.


ඩාර්ලිං නිසා සිදුවුණ අමතක නොවන මතකයන් තියෙනවා ද?


මේ චරිතය රූප ගත කළේ අඟුලාන ප්‍රදේශයේ. ඒ නිසා ඒ ප්‍රදේශය ආශ්‍රිතව නම් හැමදාම අමතක නොවන සිදුවීම් තිබුණා. ඒ ලබපු ආදරේ සහ මඟතොට ෂූට් කරද්දී ලැබුණු දේවල් ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර කවදාවත් අමතක වෙන්නේ නැහැ. ගොඩක් දෙනෙක් මගෙන් අහන්නේ ඩාර්ලින් අක්කා ගෙදරදී පාවිච්චි කරන මන්නය කෝ කියලා. ඇත්තටම ඒ දර්ශනය ඒ තරමටම ප්‍රේක්ෂකයින්ට අමතක නොවන සිදුවීමක් වෙලා තියෙනවා. සිකුරා එක්ක රණ්ඩු වෙන වෙලාවල්වලදී සිදුවුණු සුළු සුළු තුවාල තියෙනවා. ඇත්තටම සුන්දර අතීතයක්. ඒ වගේම අමතක නොවන මතකයන් ගොඩක් පිරුණු චරිතයක් සහ නාට්‍යයක්.


ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නෙ?


රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වේවා තමන් නිරූපණය කරන චරිතයකට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන එක ගැන සතුටුයි. ඒ ප්‍රතිචාර ලබන්න අපි කැමතියි. ප්‍රේක්ෂක ප්‍රතිචාරවලදී හොඳ හෝ නරක ප්‍රතිචාර ලබන්න පුළුවන්. මම නම් රඟපාන චරිතය වෙනුවෙන් ලබන සියලු ප්‍රතිචාර සතුටින් භාර ගන්නවා. අනික් අතට රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ප්‍රේක්ෂක ආදරේ ලබනවා කියන්නේ හරිම පුදුමාකාර සතුටක්. ඒ දේවල් හරිම ආදරණීයයි. ඒ නිසා ප්‍රේක්ෂක ආදරේට ගොඩක් ගෞරව කරනවා. ප්‍රේක්ෂකයන්ට මම ආරාධනය කරනවා ඉස්සර හිටියා වගේම ඉස්සරහටත් අපි එක්ක ඉන්න කියලා. අපි නිරූපණය කරන චරිතවලට ගුණ දොස් අදහස් අපිට කියන්න.


වැඩ අවසන් කරපු ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


මේ වෙද්දී විකාශය වෙනවා සර්කස්කාරයෝ නාට්‍යය. අලුතින් එන්න තියෙනවා “වියලි” නාට්‍යය. මැයි 12 වන ඉරිදා සිට රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනිය තුළින් විකාශය ආරම්භ වුණා. “වියලි“ ශාන්ති දිසානායකගේ දඩමංකඩ නවකතාව ඇසුරෙන් සමන්ත කුමාර ගමගේ රචනයක්, චන්දන ඉරුගල් බන්ඩාර අධ්‍යක්ෂණයක්. එහි මගේ චරිතය වෙන්නේ කාන්ති. ප්‍රේක්ෂකයින්ට ආරාධනා කරනවා මේ කාන්තිගේ චරිතය නරඹන්න කියලා. “වියලි” නාට්‍යයේ මුල් කොටස් රූගත කළේ මීට අවුරුදු දෙකකට කලින්.


අනාගත බලාපොරොත්තු මොනවද?


අනාගතය ගැන මම ලොකු බලාපොරොත්තු තියන් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. සරල ජීවිතයක් ගත කරන්න කැමති සාමාන්‍ය මනුස්සයෙක්. නමුත් දැන් මටයි මගේ මහත්තයාටයි ලොකු වගකීම් ගොඩක් තියෙනවා. අපි දැන් පුංචි දුවෙක් ඉන්නා අම්මා තාත්තා කෙනෙක්. එයාව හොඳ මනුසත්කම පිරි දරුවෙක් විදියට මේ සමාජයට දායාද කරන එක අපේ වගකීමක්. ඒ වෙනුවෙන් කැපවෙනවා. කලාව පැත්තෙනුත් මට පුළුවන් ආකාරයට දායක වෙලා ප්‍රේක්ෂකයින් අතරට යන්න බලාපොරොත්තු වෙනවා.


අනුෂා රණසිංහ



Previous Post Next Post