අන්තිමට හොඳම යාළුවා අයිතිකාරයා වුණා-මනීෂා




ජනප්‍රිය කලා තරු දැන් දැන් කලා දිවියට මෙන්ම විවාහ දිවියටත් ප්‍රමුඛස්ථානයක් දීමට පටන් ගැන්ම සුබවාදී ලකුණකි. ඒ අතරින් මෑතකදී විවාහ ගිවිස ගත් මනීෂා චංචලා සහ අශේන් සිරිවර්ධන බොහෝදෙනාගේ අවධානයට ලක්වූ ආදරණීය යුවළකි. වසර ගණනක් පුරා ජනප්‍රියත්වයේ ඉහළින්ම රැඳෙමින් දෙරණ නාළිකාවේ විකාශය වුණු සිඳූ ටෙලි නිර්මාණයේ තෙරුණී ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මනීෂා මේ දිනවල චණ්ඩි කුමාරිහාමි ටෙලි නිර්මාණයේ මේරී ලෙසින් වෙනස්ම භූමිකාවකින් ඔබ හමුවට එන්නීය. සති අන්තයේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන අළුපාට දේදුනුහි අනුත්තරා ද ඇයයි. අහස් මාළිගා ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් අශේන් ද සටන් කලාව ප්‍රගුණ කළ දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙකි. මනීෂා- අශේන් ආදර කතාව සතුටුදායක අන්දමින් ජයගත් ඔවුන් අද අප හා කතාබහට එක්වන්නේ ඔවුන්ගේ නවතම තොරතුරු ද සමඟිනි. මනීෂා පළමුව අප හා කතාබහට එක්වුණේ මේ දිනවල චණ්ඩි කුමාරිහාමි හා එක්වෙමින් ලබන වෙනස්ම අත්දැකීම ද අප හා බෙදාගනිමිනි.


කොහොමද මනීෂා මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා නේද? 


ඔව්. ඇත්තටම මං ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. මම අශේන් එක්ක “The Nails Studio – Maneesha Dunukara නමින් පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ නිසා මේ දවස්වල ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සහ ව්‍යාපාරයේ වැඩකටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.


චණ්ඩි කුමාරිහාමි ඔබේ රංගන ජීවිතේ නව පෙරළියක් කළා නේද?


ඇත්තටම ඔව්. ඒ වෙනුවෙන් මුලින්ම ස්තූතිවන්ත වෙනවා එහි අධ්‍යක්ෂ චරිත් අබේසිංහ මහතාට. ඔහු තමයි චණ්ඩි කුමාරිහාමි ටෙලි නාට්‍යයේ “මේරි” කියන චරිතයට මට ආරාධනා කරන්නේ. ඒ වෙනකොටත් මම හරිම කැමැත්තෙන් හිටියේ period drama එකක් කරන්න. මේ ලැබුණු ආරාධනාව හරියට මගේ ඒ බලාපොරොත්තුව මල්ඵල ගැන්වීමක් වගේ.


ඒ වගේම ඒකෙ චරිත ස්වභාවය, චරිතය ගොඩනැ‍ෙඟන වටපිටාව, ඇඳුම් පැලඳුම් මේ සියලුම දේ මට අලුත් අත්දැකීමක් වුණා. මම හිතනවා මේරි කියන චරිතයට මම යම්කිසි සාධාරණයක් කරන්න ඇති කියලා. මට එහෙම හිතෙන්නේ හිතුවටත් වඩා සෑහෙන ප්‍රේක්ෂක ආදරයක් මේරි නිසා මට ලැබුණා. “තෙරුණි”ට පස්සෙ වැඩියෙන්ම ආදරේ ලැබුණේ “මේරි”ට කියලයි මට හිතෙන්නේ. ඒ වගේම ක්ෂේත්‍රයේ බොහෝම දැවැන්ත චරිත එක්ක තමයි මට රංගනයෙන් දායක වෙන්න ලැබුණේ. මනෝහාරි විමලතුංග අක්කා, සුදර්ශි ගැලනිගම අක්කා, මාධවී ඇන්තනී අක්කා, සංගීත් සතරසිංහ අයියා වගේම චණ්ඩි කුමාරිහාමි මුළු ටීම් එකටම මං ස්තූතිවන්ත වෙනවා මේරි චරිතය සාර්ථක කරගන්න උදවු කළාට. ඒ වගේම අළුපාට දේදුනු ටෙලි නිර්මාණයේ අනුත්තරා ගැනත් ගොඩක් දෙනා කතා කරනවා. අනුත්තරාටත් ගොඩාක් ආදරේ ලැබෙනවා.


ඔබ ජනප්‍රිය වුණේ සිඳූ ටෙලි නාට්‍යයේ තෙරුණි හරහා. කොහොමද ඒ ආරාධනාව ලැබෙන්නෙ?


සිඳු ටෙලි නාට්‍යයට කලින් මං රංගන අත්දැකීමක් ලබල තිබුණා. ඒ 2009 වර්ෂයේ දෙරණ නාළිකාවේම විකාශය වුණු “වස්සාන සිහිනය” ටෙලි නාට්‍යයේ. ඒක තමයි මගේ පළමුවැනි රංගන අත්දැකීම. ‍ඒක ළමා චරිතයක්. ඒ ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂ ප්‍රදීප් මානවඩුගේ මහත්මයා තමයි මට “සිඳු” ටෙලි නාට්‍යයටත් ආරාධනා කරන්නේ.


ඔබ කලාවට පිවිසෙන්නේ ළමාවියේදී. ඒ අතීතයත් මතක් කරමු?


2007 වර්ෂයේ මහනුවර කඳුරට ගුවන්විදුලියේ ළමා නිවේදිකාවක්, ළමා ගායිකාවක් විදිහට තමයි මං කලාවට පිවිසෙන්නේ. ඊට පස්සේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට ඉදිරිපත් වෙලා 12න් පහළ ගායන අංශයේ 4 වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබුණා. ඒ හරහා මට දෙරණ නාළිකාවෙන්ම වස්සාන සිහිනය ටෙලි නිර්මාණයට ආරාධනා ලැබුණා.


ගැහැනු ළමයිම තුන්දෙනෙක් ඉන්න පවුලක බඩ පිස්සි විදිහට ඔබ කලාවට එනවට ගෙදරින් කැමති වුණා ද?


පුංචි කාලේ ඉඳන්ම මම දක්ෂතා පෙන්නුවේ සින්දු කියන්න, නටන්න, රඟපාන්න වගේ දේවල්වලට. ඒ නිසා අම්මයි අප්පච්චියි දෙන්නම හරිම ආසාවෙන් කැමැත්තෙන් මම යන පැත්තට උදව් කළා. අක්කලා දෙන්නත් එයාලට පුළුවන් උපරිම විදිහට සහයෝගය දුන්නා.


නිවසේ පරිසරයත් එක්කම හැදුණු මනීෂා විවාහයට නළුවෙක් තෝරගනිද්දි ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?


ඒ වෙනකොට මම ක්ෂේත්‍රයේ යම් කාලයක් වැඩ කරලා තිබුණ නිසා රංගන ශිල්පියෙක් විවාහ කර ගන්නවා කියන එක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. අපේ ගෙදර හැමෝම අශේන්ට හරිම ආදරෙයි. රංගන ශිල්පියා කියන භූමිකාවට එහා ගිහින් බැලුවොත් පෞද්ගලික ජීවිතේදී අශේන් කියන්නේ පවුලට හරිම අවංක, ආදරණීය පුතෙක් වගේම ආදරණීය සැමියෙක්.


කාලයක් විදෙස්ගත වීමේ අදහසක් තිබුණ නේද?


බලමුකො. ඒ ගැන තාම නිශ්චිත අදහසක් නැහැ. යන්නත් පුළුවන්. නොයන්නත් පුළුවන්.


අශේන්ව තෝරගන්න විශේෂ හේතුවක් තිබුණ ද? ඒ හමුවීම ගැනත් කියමු?


“ගුග්ලි” ටෙලි නාට්‍යයේ රූගත කිරීමේදී තමයි මුලින්ම අපි හමුවෙන්නේ. ඊට කලින් අපි හමුවෙලා තිබුණෙම නැහැ. අශේන් හරිම ආදරණීය, අවංක ඒ වගේම හරිම ඉවසීමෙන් වැඩ කරන කෙනෙක්. පස්සේ අපි හොඳම යාළුවෝ වුණා. ඊට පස්සෙ ඉතින් හොඳම යාළුවා මගේ අයිතිකාරයා වුණා.


විවාහ ගිවිස ගෙනත් දැන් ටික කාලයක් වුණා. කවදද දැන් එක වහලක් යටට වෙන්නේ?


ඕනම ලස්සන දෙයකට හොඳම වෙලාවක් තියෙනවානේ. ඒ වෙලාව එනකල් අපි බලන් ඉන්නවා.


දෙන්නම එකම ක්ෂේත්‍රයේ වෙලා කාර්‍යබහුල වෙද්දි ගැටුම් ඇති වෙන්නේ නැද්ද?


අනේ නැහැ. කාර්යබහුල වීම ඇතුළේ තියෙන්නේ අපි අපි වෙනුවෙන්ම මහන්සි වෙනවා කියන දේ. ඒ නිසා අපි අතරෙ කොහෙත්ම ගැටුම් ඇති වෙන්නේ නැහැ. වැඩ කරන ගමන් අපි අපි වෙනුවෙන් වෙලාව හදාගන්නවා.


විවාහයට ඉක්මන් වුණා වැඩියි කියල හිතෙන්නෙ නැද්ද?


මම හිතන්නේ හැමදේම වෙන්නේ හොඳම විදිහට හොඳම වෙලාවට. මගේ විවාහයත් වුණේ හොඳම වෙලාවට කියලයි මට හිතෙන්නේ. ඔහුගෙන් මට හැමදේටම ලොකු සහයෝගයක්, ආරක්ෂාවක් ලැබෙනවා. අද මම ගොඩක් සතුටින් ඉන්නවා.


මනීෂා තමන් ගත්ත තීරණය ගැන එහෙම සතුටින් කතා කරද්දි අපි අශේන්වත් අපේ කතාබහට එක්කර ගත්තේ කලා තොරතුරු වගේම ඔවුන්ගේ අලුත් ජීවිතේ තොරතුරුත් විමසන අදහසින්.


අශේන් සිරිවර්ධන කියන නම ගොඩක්ම ඇහෙන්න ගත්තෙ මෑත කාලෙක. ඔබේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?


මුලින් මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන විදිහ කිසිම විදිහකින් දැනගෙන හිටියෙ නැහැ. තිර පරීක්ෂණ සෑහෙන ප්‍රමාණයකට මුහුණ දුන්නා. අවස්ථා ලැබුණ ප්‍රමාණයට වඩා ප්‍රතික්ෂේප වුණ තැන් බොහෝමයි. නමුත් මම මගේ ඉලක්කය අතහරින්නේ නැතුවම මගේ ගමන ආවා. ඒ අතරේ මගේ විශ්වවිද්‍යාලයේ හොඳම යෙහෙළියක් වුණ පරිස්තා ස්මිත් තමයි මගේ පළමුවැනි වෙළෙඳ දැන්වීම සඳහා මට අවස්ථාවක් හදලා දෙන්නේ. ඊට පස්සෙ වෙළෙඳ දැන්වීම් බොහොමයකට ප්‍රධාන චරිතවලින් පෙනී සිටියා. එහෙම ආපු ගමනේ “අහස් මාළිගා” තමයි ප්‍රධාන චරිතයක් එක්ක මට සම්බන්ධ වෙන්න ලැබුණු පළමුවැනි ටෙලි නාට්‍ය. අහස් මාළිගා හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න හැකියාව ලැබුණා. මේ වෙද්දි මං රංගනයෙන් දායකත්වය ලබාදුන්න ටෙලිනාට්‍ය විස්සකට ආසන්නයි.


අශේන් කියන්නෙ චරිතයක් වෙනුවෙන් ගොඩක් කැපවෙන, සටන් කලාව ගැනත් හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ ගැන කතා කළොත්?


ඇත්තටම ඔව්. මට චරිතයකට ආරාධනා ලැබුණ ගමන් මම හිතන්නේ මට ඒ චරිතය වෙනුවෙන් කොයිතරම් දුරකට සාධාරණයක් කරන්න පුළුවන්ද කියන එක. ඇත්තම කිව්වොත් රැයක් දවාලක් බලන්නේ නැතුව මම චරිතය වෙනුවෙන් කැපවෙනවා. ඒ චරිතය ගැන විශ්ලේෂණය කරනවා. ඊට පස්සෙ මටම ආවේණික ශෛලියකින් මම ඒ චරිතයට පණක් දෙනවා. ඒ වෙනුවෙන් මගේ සටන් කලාව පිළිබඳ දැනුමත් හුඟක් වෙලාවට මට උදව් වෙලා තියෙනවා.


මම සටන් කලාව හදාරන්න පටන් ගත්තෙ වයස අවුරුදු 12 දී. අද වෙනකොට මම ඉන්නේ ජපන් කරාතේ දෝ ශිතෝරියු ඉතෝසුකායි ශෛලියේ කළු පටි දෙවන ශ්‍රේණියේ. තව දුරටත් මම සටන් කලාව හදාරනවා. ඒ වගේම මම කරාතේ උපදේශකවරයෙක් විදිහටත් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ දිනවල මම සමුරායි කඩු ශිල්පයත් හදාරනවා.


සටන් කලාව ගොඩක්ම වටින්නෙ සිනමාවට. ආරාධනාවක් ලැබිල නැද්ද තවම?


මම ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ගොඩක් අය හිතනවා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් සිනමාවට එන්න කැමති නැහැ කියලා. නමුත් මම ටෙලි නාට්‍ය සහ සිනමාව කියන දෙකටම කැමති කෙනෙක්. හොඳ අධ්‍යක්ෂකවරයෙක් යටතේ වටිනාකමක් තියෙන සිනමා නිර්මාණයක් ලැබු‍ණොත් මම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.


ක්ෂේත්‍රයේ දැන හැඳුනුම්කමක් නැතුව එන අයට කැපිලි කෙටිලි එනව කියල කතාවක් තියෙනවා. ඔබටත් ඒ අභියෝගයට මුහුණ දෙන්න වුණා ද?


ඕනම ක්ෂේත්‍රයක හැදෑරීමක් සහ අධ්‍යාපනයක් එක්ක එනවා නම් කැපිලි කෙටිලි හරිම අඩුයි. මොකද ශිල්පීය දැනුම කාටවත් හොරකම් කරන්න, නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන් කරන දේ හරියට කරනවා නම් හැමෝම ඒ වෙනුවෙන් උදව් කරනවා. එතැනදි අපි කවුරුත් පරාජය වෙන්නේ නැහැ.


අශේන්ට මනීෂාව පළමුවෙන්ම දැකපු දවස මතකද?


මනීෂාව මම මුලින්ම දකින්නේ දෙරණ නාළිකාවේ වැඩසටහනක නිවේදන කටයුතු කරන අවස්ථාවක. මම ගෙදරට වෙලා TV එකෙන් එයාව දැකලා හිතුවා කවදාහරි මම එයාව මුණගැහෙනවා කියලා. ඒ වෙද්දි මම ක්ෂේත්‍රයට ඇවිත් නැහැ. නමුත් ක්ෂේත්‍රයට ඇවිත් බොහෝම පුංචි කාලයකින් “ගුග්ලි” ටෙලිනාට්‍යයේ දී මට ඇයව මුණගැහෙනවා. අපි දෙන්නාට රඟපාන්න තිබුණෙත් පෙම්වතුන් විදිහට. ඒක ඉතින් අමතක වෙන්නෙ නැහැ.


ඔබ ඇයට කැමති වෙන්න විශේෂ හේතුවක් තිබුණ ද?


මට එයා ගැන මුලින්ම කැමැත්තක් හිතුණේ එයා කතා කරන විදිහටයි එයාගේ හිනාවටයි.


ඔබ දැක්ක විදිහට මනීෂා කියන්නෙ මොන වගේ චරිතයක්ද?


එයා හරිම ප්‍රසන්න, කාර්යක්ෂම චරිතයක්. කිසිම ආඩම්බරයක් නැතුව හැමෝම එක්ක හරිම ලස්සනට කතාබහ කරලා ඉන්න කෙනෙක්. මට හිතුණා එහෙම කෙනෙක් තමයි මගේ ජීවිතේට ඕනේ කියලා.


ඔබ ක්ෂේත්‍රයට එද්දිත් ඇය ජනප්‍රිය චරිතයක්. ආදරය ප්‍රකාශ කරද්දි දෙගිඩියාවක් හිතුනෙ නැද්ද?


ඇයව මුලින්ම මුණගැහුණ දවසේ නම් ඇත්තටම කියාගන්න තේරෙන්නේ නැති සතුටක් එක්ක අමුතු තිගැස්මක් තිබුණා. එයා කතා කරයි ද, ආඩම්බරයි ද එහෙම කියලා. ඊට පස්සේ ටිකින් ටික අපි හොඳම යාළුවෝ වුණා. එහෙම ආපු ගමනක අවසානයේ මම එයාව මගේම කරගත්තා.


ඇතැම් අය ජනප්‍රියම කාලෙ විවාහ වෙන්න බයයි. ජනප්‍රියත්වට හානි වෙයි කියලා. ඔබට ඒක ගැටලුවක් වුණේ නැද්ද?


අපේ ක්ෂේත්‍රයට අනුව අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ අපිට ආදරය, ගෞරවය ලබාදෙන්නේ අපි කරන රංගන භූමිකාවන්වලට. එතකොට මම හිතන්නේ පෞද්ගලික ජීවිතයේ මොන විදිහේ වෙනස්කම් වුණත් ඒ චරිතවලට අපි සාධාරණයක් කරනවා නම්, අපේ රංගන කටයුතුවලට වගේම පෞද්ගලික ජීවිතයටත් එයාලා ඒ විදිහටම ආදරය, ගෞරවය දක්වනවා. අපේ කාර්යභාර්ය තමයි රංගන ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පටලවාගන්නේ නැතුව ඉන්න එක.


නිළියක් ලේලි විදිහට පිළිගන්න ඔබේ මවුපියො එකවරම කැමති වුණාද?


එයාලා මගේ ජීවිතේ හැම තීරණයකදීම මාත් එක්ක එකතු වෙලා හිටියා. මේ තීරණයේදිත් එයාලා කිසිම විදිහකින් විරුද්ධ වුණේ නැහැ.


අශේන්ගෙ ගෙදරින් මනීෂට ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාරයක්ද?


අම්මායි තාත්තයි දෙන්නම මනීෂාට හරිම ආදරෙයි. එයාලගෙම දුවෙක් විදිහට එයාව අපේ ගෙදරට ආදරයෙන් භාර ගත්තා. අපි හතරදෙනා එකට ඉන්න හැම මොහොතේම මට හිතෙන්නේ මගේ පුංචි පවුල සම්පූර්ණයි කියලා.


එකම ක්ෂේත්‍රයේ වුණත් විවාහයෙන් පස්සෙ තමන්ගෙ බිරිය රංගනයෙන් ඈත් වෙනවට සමහරු කැමතියි. අශේන් මොනවගේ මතයකද ඉන්නෙ?


මම නම් එහෙම පටු අදහසක නැහැ. මම එයාව දැක්කෙත් මේ ක්ෂේත්‍රයේ ලස්සනට එයාගේ වැඩ ටික කරගෙන යනකොට. ඒක එයා දැක්ක ලස්සන හීනයක්. ඉතින් මට ඕන නැහැ ඒ හීනෙ විනාශ කරලා දාන්න. මමත් පුළුවන් උපරිමයෙන් එයාට සහයෝගය දෙනවා. එයත් එයාට පුළුවන් උපරිමයෙන් මට සහයෝගය දෙනවා.


මම හිතන්නේ හොඳ විශ්වාසයකින්, අවබෝධයකින් මේ ගමන ගියොත් පෞද්ගලික ජීවිතයේදී අපි දෙන්නට අපි දෙන්නා නැති වෙන්නෙත් නැහැ.


නාමලී ගමගේ



Previous Post Next Post