මම වෘත්තියෙන් මනෝ උපදේශකවරියක් – මධාරා සෙව්වන්දි




මේ දිනවල විකාශය වන ‘බඹරෙක් ඇවිත්’ ටෙලි නාට්‍යයේ සුජීවා ලෙසින් ඔබ දකින ඇය නාඩගම්කාරයෝ සහ මන්දාරම් කතාව යන නිර්මාණ හරහාත් පුංචි තිරයේදී දකින්න ලැබුණා මතක ඇති. මධාරා සෙව්වන්දි ඇයගේ වෘත්තිය සහ රංගනය අතර කාර්යබහුල වෙද්දි මීවිත සමග පුංචි කතාබහකටත් මේ විදිහට කාලය වෙන්කරගත්තා.

මදාරා, ‘බඹරෙක් ඇවිත්’ ටෙලියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොම?


මේ ටෙලි නාට්‍යයට මාව කාස්ට් කරල තියෙනව කියල මුලින්ම කතා කරල කිව්වෙ චරිත් අබේසිංහ අයියා. මම ඔහුගෙ නිර්මාණ ගොඩක් දැකල තියෙනව වගේම ඒවා බොහොම ලස්සනයි. ඒ නිසා කැමැත්තෙන්ම මම මේ චරිතය භාර ගත්තා.


සුජීවාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනව. මට ආදරේ කරන ගොඩක් අය මේ චරිතයටත් ආදරේ කරනව වගේම චරිතයට සාධාරණයක් කරන බවත් ඔවුන් කියනව


මේ චරිතය වෙනුවෙන් කළ කැපවීම මොන වගේද?


අපි මෙතැනදි නිරූපණය කරන්නෙ හැත්තෑව දශකය. රන්මිණිතැන්නේදී කරන රූගතකිරීම්වලදි බොහෝ වෙලාවට අව්වේ ඉන්න වෙනව. කතාව මේ තරම් ලස්සනට දිගහැරල තියෙන්නෙ ඒ සුන්දර පරිසරයත් එක්ක. අපි රූගත කරන හැම කොටසක්ම බොහොම කැපවීමෙන් තමයි කරන්නෙ.


සෙව්වන්දි, සුජීවා දකින්නෙ කොහොමද?


සූජීවා කියන්නෙ බොහොම සුරතල්, කිසිම දෙයක් ගණන් ගන්නෙ නැති, කිසිම දෙයක් හිතන්නෙ නැති, කොටින්ම කිව්වොත් පොළොවෙ පය ගහල ජීවත් වෙන්නෙ නැති චරිතයක්. ඒ වගේම ඇය ජීවත් වෙන්නෙ සිහින ලෝකෙක.


එවැනි චරිත සැබෑ ජීවිතයේදි මුණගැහිල තියෙනවද?


ම්ම්…. ඔව්, සැබෑ ජීවිතයේත් එවැනි චරිත අපිට මුණගැහෙනව.


මේ චරිතය පිටපතට අනුවම යන එකක්ද?


නැහැ. මේ චරිතයේ එන සමහර දේවල් මම ම එකතුකරගත්ත ඒවා. ඒ වගේම තිර පිටපත ලියන සමන්ත අයියාගෙ අදහස් එක්ක චරිත් අයියාගෙ මගපෙන්වීමෙන් ඔහු මවාගෙන ඉන්න චරිතයට ගැළපෙන්න චරිතය ගොඩනගන්න මම උපරිම උත්සාහ කරනව.


සෙව්වන්දි සහ සුජීවාගේ සමානකම් තියෙනවද?


කොහෙත්ම නැහැ. ඒ දෙන්න දෙවිදිහක්. සුජීවා කියන්නෙ සිහින ලෝකෙක ජීවත් වෙන කෙනෙක්. සෙව්වන්දි කියන්නෙ පොළොවෙ පය ගහල ජීවත් වෙන කෙනෙක්. නමුත් මේක වෙනස් වගේම ටෙලිවිෂනයේ බොහොම කලාතුරකින් දැකගන්න ලැබෙන චරිතයක් නිසා මම බොහොම ආසාවෙන් සම්බන්ධ වුණේ.


සෙව්වන්දි ගැනත් විස්තර ටිකක් කියමු?


මම පදිංචි වෙලා ඉන්නෙ ගාල්ලෙ. මගේ පවුලේ අය වෙන්නෙ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි, ආච්චියි. තාත්තා ව්‍යාපාරිකයෙක්. මල්ලි සීමන් කෙනෙක්. මම වෘත්තියෙන් මනෝ උපදේශකවරියක්. ඒ සමගම රංගනයටත් සම්බන්ධ වෙනව. තවමත් ඉගෙනගනිමින් සහ අධ්‍යයනය කරමින් තමයි මම රංගන කටයුතු කරන්නෙ. ලොකු ලොකු බලාපොරොත්තු නැති, හරිම නිදහසේ ඉන්න චරිතයක් තමයි සෙව්වන්දි කියන්නෙ.


ඔබේ වෘත්තිය ගැන කතා කළොත්?


ඇත්තටම මම හරිම කැමැත්තෙන් තමයි මගේ වෘත්තිය වන මනෝ උපදේශනය කරන්නෙ. ඒ ප්‍රධාන වශයෙන්ම ළමුන් වෙනුවෙන්. සයිකොලොජිස්ට් කෙනෙක් වෙන්න ඕන කියන දේ මට යමක්කමක් තේරෙන වයසෙ ඉඳන්ම හිතපු දෙයක්. අද ඒ හීනය සැබෑවක් වෙලා තියෙනව.


ඇයි මේ අතරට රංගනය තෝරාගත්තෙ?


මම රංගනයට යොමු වෙන්නෙ වෙළෙඳ දැන්වීමක් මගින්. එතැනින් පස්සෙ මට ආසාවක් ඇතිවෙනව රංගනය ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න. ඒ වෙනුවෙන් මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයා ළඟට යනව. ඒවගේම ප්‍රදීප් රාමවික්‍රම මහත්මයා යටතේත් මම රංගනය හදාරනව. උපාධිය ගන්න කාලෙ නම් මම නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඉන් පස්සෙ ලැබෙන ආරාධනා අතරින් හොඳ නිර්මාණ තෝරාගෙන රංගනයෙන් දායක වෙනව.


මීට කලින් සම්බන්ධ වුණ නිර්මාණ ගැන කතා කළොත්?


නාඩගම්කාරයෝ සහ මන්දාරම් කතාව යන ටෙලි නාට්‍ය දෙකට සම්බන්ධ වුණා. මේ දිනවල බඹරෙක් ඇවිත් ටෙලි නාට්‍ය විකාශය වෙනව. ඒ වගේම කුරුල්ලෝ ටෙලි නිර්මාණය ඉදිරියේදී විකාශය වීමට නියමිතව තියෙනව.


මන්දාරම් කතාව සමාජයේ කතාබහට ලක් වුණා?


මන්දාරම් කතාව ටෙලි නාට්‍යයේ මගේ චරිතය වුණේ ‘කවී’. ආශා එදිරිසිංහ අක්කගෙ තරුණ කාලෙ තමයි මම නිරූපණය කළේ. මේ චරිතය හරහා මට ලොකු ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබුණා.


නාඩගම්කාරයෝ ගැන කතා කළොත්?


නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ මගේ චරිතය වුණේ ‘හංසි’. මේ සඳහා මාව හඳුන්වා දුන්නෙ චාමර සමරවික්‍රම අයියා. මේ චරිතයත් මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වුණා.


සිනමාවට ආරාධනා ලැබුණද?


සිනමාවට තවම ආරාධනා ලැබුණෙ නැහැ. හොඳ නිර්මාණයකට ආරාධනයක් ලැබුණොත් භාරගන්න බොහොම කැමැත්තෙන් ඉන්නව.


රංගනයට යොමු වෙන්න ගෙදර අයගෙන් බාධාවක් තිබුණෙ නැද්ද?


ඉගෙනගන්න කාලෙ නම් ඒ වෙනුවෙන් අවධානය දෙන්න කියල ගෙදරින් කිව්වා. දැන් නම් කිසිම බාධාවක් නැහැ. හැමෝගෙන්ම උපරිම සහයෝගයක් ලැබෙනව.


ප්‍රවීණයන්ගෙන් උදව් ලැබුණද?


මම මෙතෙක් දායක වුණ නිර්මාණවලදි නවකයන් වගේම ප්‍රවීණයන් පවා ගොඩක් හොඳ සහයෝගයක් ලබා දුන්නා. නවකයන් විදිහට අපිට ප්‍රවීණයන් සහයෝගය ලබාදෙනකොට තමයි අපිත් ශක්තිමත් වෙන්නෙ.


ක්‍ෂේත්‍රය ගැන අදහස මොන වගේද?


රංගන ක්‍ෂේත්‍රය කියන්නෙ හොඳ දෙයක්. නමුත් යම් කිසි කෙනෙක් මේ ක්‍ෂේත්‍රයට එනව නම් අධ්‍යයනයක් තිබිය යුතුයි. නවකයෙක් විදිහට මම නම් හිතන්නෙ අධ්‍යයනයකින් තොරව අපිට කිසිම ගමනක් නැහැ කියල.


සෙව්වන්දි වේදිකාවටත් කැමතියි?


ඇත්තටම මම වේදිකාවට හරිම කැමතියි. නමුත් තවම ඒකට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඉදිරියේදී බලමු.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post