අම්මට තරම් නිර්මාණශීලී හැකියාවක් මට නෑ-කෞෂල්‍යා ප්‍රනාන්දු




කෞෂල්‍යා ප්‍රනාන්දු කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. වේදිකාවල පුංචි තිරය වගේම රිදී තිරයේත් සිය රංගන ප්‍රතිභාව මැනැවින් ඉදිරිපත් කරමින් දෙස් විදෙස් සම්මාන උළෙලවලදී පවා සම්මානයට පාත්‍ර වූ කෞෂල්‍යා ප්‍රනාන්දු මේ දිනවල විකාශය වන සීයූ ටෙලි නාට්‍යයෙන් සිය ප්‍රේක්ෂකයන් හමුවට එනවා. උපතින්ම කලාවට නෑකම් කියන, කලා ක්ෂේත්‍රය තුළ සුවිසල් මෙහෙවරක් ඉටු කළ  මේ අපූරු රංගන ශිල්පිනිය සමඟ මොහොතක් කතා කරන්නට මෙවර හදගැස්මෙන් අප සිතුවා.


මේ දිනවල මොකද වෙන්නෙ?


මේ දිනවල සීයූ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් කලා වැඩකටයුතු වගේම ඇකඩමියේ වැඩකටයුතුත් කරගෙන පවුලේ අයත් එක්ක සතුටින් හොඳින් ඉන්නවා.


කලකට පසුව පුංචි තිරයේ නිර්මාණයකින් එන්න හිතුවේ ඇයි?


ඇත්තටම මම කලා කටයුතුවලින් නම් අෑත් වෙලා සිටියේ නැහැ. පසුගිය කාලය පුරාම සිනමා නිර්මාණ තුනකම වැඩකටයුතුවල නිරත වුණා. නමුත් කලකට පසුව තමයි ටෙලි නාට්‍යයකට නම් සහභාගි වුණේ.


ඔබේ මව පෙන්වූ මාවත දිගේ කලා ක්ෂේත්‍රය තුළ  බොහෝ දුර පැමිණි රංගන ශිල්පිනියක්. ඉතින් ඔබේ කලා ජීවිතය ගැන කතා කිරීමේදී ඒ ගැනත් කතා නොකරම බැහැ.


මගේ මව සෝමලතා සුභසිංහ. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයාත් සමඟ රටට, ජාතියට ආදරය ඇතිකරන නිර්මාණ බිහිකිරීමේ අරමුණෙන් තමයි කලා ක්ෂේත්‍රය තුළ වැඩකටයුතු ආරම්භ කරන්නේ. ඇය මේ දේවල් රටට කරන විශාල සේවාවක් ලෙසයි සැලකුවේ. ඒ වගේම් මගේ මව ළමා නාට්‍ය නිර්මාණ අපේ රටේ ස්ථාපිත කිරීම වෙනුවෙන් මූලික වශයෙන්ම වෙහෙසුණා. ඇත්තටම මගේ කලා ජීවිතයට සවියක් වුණේ මගේ මවගේ අප්‍රතිහත ධෛර්යය. මම කුඩා කාලයේ සිටම මේ දේවල් ඇයගෙන් දුටුවා. ඉතින් කාලයත් සමඟ මම මේ දේවල්වලට නිකන්ම හසු වුණා. මගේ මව මට නිතරම කියපු දෙයක් තමයි ඇඟේ තිබුණට කලාව කරන්න එපා. හොඳින් හදාරලා මේ දේවල් කරන්න කියන එක. ඉතින් මම විශ්වවිද්‍යාලයේදී පවා කලාව පිළිබඳව තමයි ඉගෙන ගත්තේ. මොකද මට රංගනය පිළිබඳ ලොකු උනන්දුවක් තිබෙනවා. නමුත් ඇයට තරම් නිර්මාණශීලි හැකියාවක් නම් මට නැහැ.


ඔබේ කලා කටයුතුවලට පියාගෙන් වගේම සැමියාගෙනුත් ලොකු සහයෝගයක් නිරන්තර ලැබුණා. ඒ ගැනත් කතා කළොත්?


කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක් විවාහයෙන් පසුව ස්වාමියා බලපෑම් කළත් නැතත් යම් යම් සීමාවන්ට යටත් වනවා. විශේෂයෙන්ම රංගන ශිල්පිනියන් දරුවන් ලැබුණු පසු නැවත රඟපෑමට යොමුවීම පිළිබඳව දෙවරක් සිතනවා. නමුත් මගේ පියා මගේ මවට කලා කටයුතු දිගින් දිගටම කරගෙන යන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම මගේ සැමියාත් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මගේ පියා සහ සැමියා කියන්නේ අප කරන වැඩවල වටිනාකම හොඳින් තේරුම්ගත් දෙදෙනෙක්. ඇත්තටම දිගින් දිගටම කලා කටයුතු කරගෙන යන්න එය මවගේත් මගේත් ජීවිතවලට ලොකු සවියක් වුණා.


ඔබ වේදිකාවෙන් බිහිවුණ දක්ෂ රංගන ශිල්පිනියක්.  ඉතින් වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඔබ මොකද හිතන්නේ?


තරුණ පිරිස් කලාව පිළිබඳ නොයෙක් පර්යේෂණ කරගෙන යනවා. ඒ අතර වේදිකා නාට්‍ය පිළිබඳවද ඔවුන් විවිධ පර්යේෂණ සිදු කරනවා. ඇත්තටම එය හොඳ දෙයක්. වේදිකා නාට්‍ය ඇතුළේ මම දකින දෙයක් තමයි  හාස්‍ය දනවන නාට්‍යය ප්‍රේක්ෂකයන් වැඩිපුර වැලඳ ගන්නවා කියන එක. වර්තමානයේ බොහෝ මිනිසුන් ආර්ථික පීඩනයෙන් වගේම මානසික පීඩනයෙන් ජීවත් වනවා. ඒ නිසා වෙන්න ඇති ඔවුන් හාස්‍ය දනවන නාට්‍ය තෝරාගන්න උත්සාහ කරන්නේ.


බොර දිය පොකුණේ සිනමා නිර්මාණය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් නේද?


ඇත්තටම ඔව්. බොරු දිය පොකුණ සිනමා නිර්මාණයේ ගෝතමීගේ චරිතය කියන්නේ මගේ මුළු සාරයම උරාගත් චරිතයක්. රංගනය තුළ මගේ වපසරිය මොකක්ද කියලා තේරුම් ගන්න දායක වුණ නිර්මාණයක් වගේම ප්‍රේක්ෂකයන්ට මාව දැනෙන චරිතයක් වුණ නිර්මාණයක් තමයි බොර දිය පොකුණ කියන්නේ. බොරදිය පොකුණ සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂ වූ සත්‍යජිත් මායිටිපේ කියන්නේ මගේ හොඳම මිතුරෙක්. ගෝතමී කියන්නේ ඔහු මටම ලියපු චරිතයක් කියලයි මම නම් දකින්නේ. වසර එක හමාරක් පමණ කාලයක් මම මේ පිටපතත් එක්කම සිටියා. එවගේම හොඳින් පුහුණු වුණා. මම සෙට් එකට යනවිට මේ සියල්ල අතැඹුලක් සේ දැන සිටියා. ඒ වගේම මට මේ නිර්මාණය කරගෙන යන්න සෑම කෙනකුගෙන්ම ලොකු සහයෝයක් ලැබුණා.


කෙතරම් සාර්ථක සිනමා නිර්මාණයක් වුවත්  රැඟුම් පාලක මණ්ඩලයෙන් වාරණය කිරීම හෝ කල් මැරීම පිළිබඳව ඔබේ අත්දැකීම මොන වගේද?


ඇත්තටම එය කලාකරුවන්ට වගේම මුළු මහත් කලා ක්ෂේත්‍රයටම කරන ඉතාමත් අනිසි බලපෑමක්. බොර දිය පොකුණ නිර්මාණය සැලකූ විට එය වසර ‍ෙදාළහකට පසුවයි ප්‍රේක්ෂකයන්ට නරඹන්නට අවස්ථාව උදා වන්නේ. ඒ වන විට නිර්මාණය තුළ කතා කරන මාතෘකාව යල් පැන යන්නට පුළුවන්. ඒ වගේම ඒ නිර්මාණයට සහභාගි වූ රංගන ශිල්පීන්ගේ දක්ෂතාව වෙනත් අධ්‍යක්ෂවරයකු දකින්නේ වසර ගණනාවකට පසුවයි. ඇත්තටම එය කලාකරුවකුට සිදු කරන ලොකුම හානියක්. ඇත්තටම මෙය සිනමා ක්ෂේත්‍රයටම බලපාන විශාල ඛේදනීය තත්ත්වයක්. මෙය සිනමාව තුළ දැකගන්න ලැබෙන බොහොම ප්‍රාථමික තත්ත්වයක් ලෙසයි මම නම් දකින්නේ. මෙවැනි නිර්මාණ වාරණය කිරීමට හෝ කල් මැරීම වෙනුවට ලේබල් එකක් ලබා දෙනවා නම් නිෂ්පාදකවරුන් ඇතුළුවම එම කලා නිර්මාණයට සම්බන්ධ කිසිවකු අසීරුතාවට පත් වන්නේ නැහැ.


අවසාන වශයෙන් ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳවත් කතා කළොත්?


ඉදිරියේදීත් කලා ක්ෂේත්‍රයට හොඳ නිර්මාණ ලබා දෙන්න බලාපොරොත්තු වනවා. ඒ වගේම සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් එක හරහා සාර්ථක රංගන ශිල්පීන් මේ ක්ෂේත්‍රයට දායාද කිරීමත් මගේ බලාපොරොත්තුවක්. ඉතින් මේ සෑම දෙයක් සමඟම පවුලේ අයත් සමඟ සතුටින් හොඳින් ඉන්න බලාපොරොත්තු වනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post