මම ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියේ කලකිරීමක් නිසා නෙවෙයි-නිමේෂා සංජීවනී




නිමේෂා සංජීවනී කියන්නේ අවුරුදු කුමාරි තරග හරහා ලාංකීය කලාවට එකතු වුණු රංගන ශිල්පිනියක්. කාලයකට කලින් නිර්මාණ කිහිපයකින්ම දකින්න ලැබුණු නිමේෂා පසුගිය කාලේ නම් පුංචි තිරයෙන් දකින්න ලැබුණේම නැහැ. දිගු කාලයක නිහැඬියාව බිඳිමින් මේ දිනවල විකාශයවන හපන්නු අපි ගමේ රාජ්ජෙ නාට්‍යය තුළින් නම් නිමේෂාව දකින්න ලැබෙනවා.


කාලයකට පස්සෙ ඔබව යළිත් දකින්න ලැබෙන්නෙ, අවුරුදු කීයක නිහැඬියාවකින් පස්සෙ ද?


ඔව්. ලොකු කාලයක් මම නිහඬව හිටියා. අවුරුදු 7කට පස්සෙ තමයි මම ආයෙමත් කලාවට එන්නෙ.


මේ දිනවල ශ්‍රීයා ටිචර්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මම රඟපාන හපන්නු අපි ගමේ රාජ්ජෙ නාට්‍යය ස්වර්ණවාහිනී නාලිකාවෙන් සෑම සතියේ දිනකම සවස 6.15ට විකාශය වෙනවා. එහි ශ්‍රීයා ටිචර්ට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබේනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ බුද්ධික ලොකුකැටිය අයියාව. ඔහු තමයි මාව මේ නාට්‍යයට සම්බන්ධ කර ගත්තේ.


ඔබ මීට පෙර රඟපෑ නිර්මාණ මතක් කළොත්?


මගේ මුල්ම රංගනය ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණ චන්දික අයියාගේ රිඳී සිත්තම් ටෙලි නාට්‍යය. ඊට පස්සේ අකිල සඳකැළුම් අයියාගේ ගුරුපාර, චරිත් අබේසිංහ අයියාගේ මහරජ ගැමුණු ටෙලි නාට්‍යවල රඟපෑවා. මහරජ ගැමුණු ටෙලි නාට්‍යයේ කළේ දිල්හානි අශෝකමාලා අක්කා රඟපෑ විහාර මහදේවි චරිතයේ තරුණ අවධිය.


ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියේ කලකිරීම් නිසාද?


නැහැ. මම ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියේ කලකිරීමක් නිසා නෙවෙයි. මගෙ ජීවිතයේ වැදගත් අවස්ථාවන් කීපයක් නිසා මට කලාවෙන් ඉවත් වෙන්න සිදු වුණා.


කටකතා ගොසිප් ගැන මොකද හිතෙන්නෙ?


මට මාව විශ්වාසයි නම් කටකතා කට කතාවක්ම විතරයි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇහැව්වා නම් කිසිම ගැටලුවක් නැහැ.


ඔබ අවුරුදු කුමරිය හරහානේ රංගනයට එන්නෙ. අවුරුදු කුමරි වෙන්න හිතුවේ ඒ හරහා රංගනයට එන්න පහසු නිසාද?


අනේ එහෙම නැහැ. අවුරුදු කුමරියට එනකොට රඟපෑමට අදහසක් තිබුණේ නැහැ. අවුරුදු කුමරිය වුණාට පස්සෙ ගොඩාක් ආරාධනා ආව. ඊට පස්සෙ තමයි තීරණය කළේ රංගයට එන්න.


නිමේෂා කී සැරයක් අවුරුදු කුමාරි වෙලා තියෙනවද?


දැනට මම අවුරුදු කුමරි තරග 30කට වඩා වැඩි ප්‍රමාණයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරලා තියෙනවා. මගේ මතකය හැටියට මුලින්ම අවුරුදු කුමරි තරගයකට සහභාගි වුණේ 2012 වසරේ. ඒ සියනෑ අවුරුදු කුමරිය තරගයට. ඒ තරගයේ ජයග්‍රාහිකාව වුණේ මම. විශේෂයෙන්ම කියන්න ඕනේ වසර තුනක් මම එක දිගට සියනෑ අවුරුදු කුමරිය ලෙස ජයග්‍රහණය කළා. 2015 වසරේ ස්වාධීන රූපවාහිනි අවුරුදු කුමරිය තරගයේ පළමු තරගකාරියන් පස් දෙනා අතරට මම ආවා. ඒ වගේම 2016 වසරේ YFM අවුරුදු කුමරිය වුණා.


ලැබෙන චරිත ගැන තෘප්තිමත් ද?


ඇත්තටම නැහැ. හැකියාව පෙන්නන්න තවම මට අවස්ථාවන් ලැබුණෙ නැහැ . මම රංගයට ඇවිත් ඉක්මනින් රංගනයෙන් ඈත් වීමට ඒකත් හේතු වෙන්න ඇති. කොහොම නමුත් ලැබෙන චරිත ගැන තෘප්තිමත් වෙන්න බැහැ.


චරිත භාර ගනිද්දී නිමේෂාගේ සීමාවන් මොනවද?


මගෙ චරිතෙට හානියක් නොවෙන චරිත තමයි මම තොරගන්නෙ.


දැන් දිගටම රඟපානවද?


ඔව්. ආයෙත් මම නිහඬ වෙන්නෙ නැහැ. දිගටම කලා කටයුතුවල නිය‍ෙළන්න තමයි හිතගෙන ඉන්නෙ.



Previous Post Next Post