ෆෝබ්ස් සඟරාවට ගිය – ඩිනාරා




ෆෝබ්ස් සඟරාව නව වැනි වරට ප්‍රකාශයට පත් කළ ’30 Under 30 Asia’ ලැයිස්තුවට ඇතුළත් වීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා සමත් වුණා. ඒ විනෝදාස්වාදය හා ක්‍රීඩා යන අංශය සඳහා විවිධ ක්‍ෂේත්‍ර හරහා තරුණ නායකයන් ලෙස හඳුනාගත් 300 දෙනකු අතරින්.ෆෝබ්ස් සඟරාව, ආසියා පැසිෆික් කලාපයේ අවධානය යොමු කළ යුතු පුද්ගලයන් ’30 Under 30 Asia’ ලැයිස්තුව මගින් ප්‍රකාශයට පත්කරනු ලබන අතර ඛාණ්ඩ 10ක් යටතේ එම ලැයිතුවට පුද්ගලයන් තෝරාගනු ලබයි.

ඩිනාරා චිත්‍රපට ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ 2018 වසරේදී ඇයගේම කෙටි චිත්‍රපටයක් වන ‘මාලා’ අධ්‍යක්‍ෂණය කරමින්. එම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදී ප්‍රදර්ශනය වීමත් සමග ඇයට ‘ගාඩි’ චිත්‍රපටයට රංගනයෙන් දායකවීමටත් අවස්ථාව හිමි වුණා.ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක වන ඩිනාරා අඩුආදායම් ලාභී පවුල්වල දරුවන්ට නාට්‍ය හා රංගකලාව හඳුන්වාදීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතනයක් වන Punchi Actors ආයතනයේ නිර්මාතෘවරියද වෙයි.


ඩිනාරා පුංචිහේවා කියන ශ්‍රී ලාංකික නාමය ෆෝබ්ස් සඟරාවට ඇතුළත් වෙනව?


ඔව්, මට මේ ආරංචිය ලැබෙන්නෙ පසුගිය 16 වැනි බ්‍රහස්පතින්දා. ඇත්තටම පුදුමයි. මම හිතුවෙවත් නැති අවස්ථාවක් මේ ලැබුණෙ. 2024 ආසියාවේ තිහෙන් පහළ ලැයිස්තුවට තමයි මාව ඇතුළත් වෙලා තියෙන්නෙ. මේ ලැයිස්තුවේ අංශ දහයක් තියෙනව. ඒ අතරින් මාව ඇතුළත් වෙලා තියෙන්නෙ විනෝදාස්වාද සහ ක්‍රීඩා කියන කාණ්ඩයට. තනි පුද්ගලයෙක් හැටියට ශ්‍රී ලංකා කියන නමත් එක්ක මාව නම්කරල තියෙනව. මගේ රට මේ වගේ තැනකට ගෙනියන්න පුළුවන් වුණ එක ගැන ඇත්තටම බොහොම සතුටුයි.


කවුද ඔබට දැනුම් දුන්නෙ?


මුලින්ම මට ඊ මේල් එකක් එවල තිබුණ. අදාළ ලැයිස්තුව එයාල ඔන්ලයින් පළකරනව. මගේ නංගි තමයි මුලින්ම ඒක දැකල මට කතාකරල කිව්වෙ.


ඒ වෙලාවෙ මොකද හිතුනෙ?


ඇත්තටම මම ගොඩක් පුදුම වුණා. මේක ලොකු ගෞරවයක්. මම තවම අත්දැකීම් ලබන කෙනෙක්. එවැනි කෙනෙක්ව ලෝක ප්‍රසිද්ධ සඟරාවකට මේ ආකාරයෙන් තෝරාගැනීම ගැන ෆෝබ්ස් ආයතනයට ස්තූතිවන්ත වෙන්න ඕන.


මෙවැනි දෙයක් ගැන පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණද?


ඇත්තටම එහෙම දෙයක් ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. මම දන්න විදිහට ෆෝබ්ස් සඟරාව තෝරාගත් මුල්ම ශ්‍රී ලාංකිකයා මම නෙමෙයි. තව කිහිප දෙනෙක් ඉන්නව. නමුත් මම හිතන්නෙ විනෝදාස්වාදය සහ ක්‍රීඩා යන අංශයෙන් තෝරාගැණුන පළමුවැනිය මම වෙන්න ඇති.


ක්‍ෂේත්‍රයේ අය මේ වෙනුවෙන් ඔබට කතා කළාද?


ඔව්, ගොඩක් දෙනෙක් කතා කළා. සුබපැතුම් එකතු කළා. සමාජ මාධ්‍යයේ තමයි මට ගොඩක්ම ආදරය ලැබිල තියෙන්නෙ. මම දන්නා අය වගේම නොදන්නා අයත් එකම විදිහට තමන්ගෙ ආදරය එකතුකරල තියෙනව.


පවුලේ අයගෙ ප්‍රතිචාරය මොන වගේද?


ඔවුන්ට ගොඩක් සතුටුයි. මහත්තයාගේ පවුලේ අයත්, මගේ පවුලේ අයත් ලොකු සහයෝගයක් ලබා දෙනව මගේ වැඩකටයුතුවලට. පුංචි කාලෙ ඉඳන්ම රංගන ශිල්පිනියක් වෙන්නයි මම ආසාවෙන් හිටියෙ. අද ඒ හීනය සැබෑ වෙලා තියෙනව.


ඔබට ලැබුණ මේ අවස්ථාව ගැන ලොකු ප්‍රචාරයක් ලැබුණා?


ඔව්, ඒවා දකිනකොට නිහතමානී ආඩම්බරයක් මම වින්දා. ඇත්තටම මගේ රංගන කටයුතු වැඩිදියුණු කරගන්න ඒක ලොකු ශක්තියක් වුණා. ඉදිරියේ මගේ හැකියාවන් තවත් හොඳට එළියට දෙන්න පුළුවන් වෙයි කියල මම හිතනව.


සමාජ සේවා වැඩකටයුතු කොහොමද?


මම ළමා නිවාසවල නාට්‍ය වැඩමුළුවලට සහභාගී වෙනවා. රංගනය ගැන ඔවුන්ට මම දන්න දේ කියල දෙනව. දැනට මම නාට්‍ය හා රංගනය ගැන පොතක් ලියල තියෙනව. ඒක නොමිලයේම ගොඩක් ළමයින්ට බෙදල දුන්නා. ඒක මගෙන් සමාජයට කරන සේවයක් වගේම කලාවට මගේ තියෙන ආදරය අනෙක් අයටත් බෙදල දෙන එක ක්‍රමයක්.


රඟපෑම් කටයුතු?


සංජීව පුෂ්පකුමාරගෙ ‘විහඟ ප්‍රේමය’ සහ රුක්මාල් නිරෝෂ්ගෙ ‘අවාලු පැහැ වලාකුළක්’ යන චිත්‍රපට දෙකට මම රංගනයෙන් එකතු වුණා. මේ නිර්මාණ දෙකේදීම ප්‍රවීණ නළු නිළියන් රැසක් එක්ක රංගනයේ යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. ඉදිරියේදී රිදී තිරයෙන් දැකබලාගන්න පුළුවන් වෙයි.


‘ගාඩි’ චිත්‍රපටයේ ඔබේ චරිතය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා?


ඔව්, එක් හරි. ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ ‘ගාඩි’ චිත්‍රපටයේ ටිකිරි කියන්නෙ 1815 වර්ෂයේ කාන්තාවකගේ චරිතයක්. මේ මගේ පළමුවැනි චිත්‍රපටය.


රංගනය තෝරාගැනීම ගැන අද ඔබට දැනෙන්නෙ කොහොමද?


පුංචි කාලෙ ඉඳන් මම දැකපු හීනය අද සැබෑ වෙලා තියෙනව. ඒක තමයි මම ලබන ලොකුම සතුට. මිය යන තුරුම මම රංගනයත් එක්ක ජීවත් වෙනව. දැනට චිත්‍රපට පහක් කරල තියෙනව. දෙකක් තිරගත වීමට නියමිතව තියෙනව. ‘මාලා’ කියන කෙටි චිත්‍රපටය මම අධ්‍යක්‍ෂණය කළා.


ඩිනාරා ඉදිරියේදී අධ්‍යක්‍ෂණයටත් යොමුවෙයි?


ඔව්, මම ආසයි. නමුත් තව ටිකක් ඉගෙනගෙන, අත්දැකීම් අරගෙන අධ්‍යක්‍ෂණයට යොමු වෙන්න තමයි අදහස් කරන්නෙ.


වෘත්තිය රංගනයද?


ඔව්, මගේ ප්‍රධාන වෘත්තිය වෙන්නෙ රංගනය. ඊට අමතරව ජාත්‍යන්තර පාසලක නාට්‍ය හා රංගකලාව උගන්වන ගුරුවරියක්.


ලංකාවේ සිනමා කර්මාන්තය පිළිබඳව ඔබේ අදහස මොන වගේද?


ඇත්තටම ලංකාවේ සිනමා කර්මාන්තය දිහා බැලුවාම සතුටු වෙන්න පුළුවන්. හොඳ හැකියාවන් තියෙන නළු නිළි පිරිසක් අපිට ඉන්නව. චිත්‍රපට සිනමා ශාලා වලට එනව වගේම ඒවා නරඹන්න ප්‍රේක්‍ෂකයන් ඉන්නව. නමුත් පහසුකම් අතින් ගත්තාම අනෙක් රටවල් එක්ක සංසන්දනය කරන්න බැහැ. අපිට නිෂ්පාදකයන්ගෙ හිඟයක් තියෙනව.


මේ ලැබුණ ජාත්‍යන්තර අගැයීමත් එක්ක මොනවද ඉදිරි සැළසුම්?


මම හදවතින්ම කරන දෙයක් තමයි පුංචි ළමයින්ට නාට්‍ය හා රංගකලාව උගන්වන එක. මොකද අපි පොඩි කාලෙ එහෙම පහසුකම් තිබුණෙ නැහැ. මම කැමතියි දවසක මගේම කියල රංගන පාසලක් ආරම්භ කරන්න.


ටෙලි නාට්‍යවලට වැඩි කැමැත්තක් නැද්ද?


මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ සිනමාවට. ටෙලි නාට්‍යවලටත් ආරාධනා ලැබිල තියෙනව. හොඳ පිටපතක් ලැබුණොත් භාරගන්නව.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post