පරණ සකුරා රේන්ජ් ඉවරයි-අජිත් මුතුකුමාරණ




සුදු අරලියා මල" කැසට් පටයත් එක්ක ලංකාවේ අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙක් වෙන්න අජිත් මුතුකුමාරණ සමත් වුණා. ඒත් එක්ක "සකුරා රේන්ජ්" නමින් ඔහුගේම සංගීත කණ්ඩායමකුත් ඔහු නිර්මාණය කළා. එතැන් පටන් අජිත් මුතුකුමාරණව අපිට වැඩිපුරම දකින්න ලැබුණේ "සකුරා රේන්ජ්" එක්ක. ඒ ප්‍රසංග වේදිකාව උඩදි. වසර ගණනක් ඒ විදිහට ප්‍රසංග වේදිකාවේ රජ කරපු අජිත් දැන් ටික කාලෙක ඉඳන් ප්‍රසංග වේදිකාව උඩ අපිට දකින්න ලැබුණේ නෑ. ඔහු විතරක් නෙවෙයි ඔහුගේ "සකුරා රේන්ජ්" සංගීත කණ්ඩායමත් දකින්න ලැබුණේ නෑ. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත් වැඩ ගැන අහන්න මෙවර අපි "අජිත් මුතුකුමාරණ" එක්ක කතා කළා.




මේ දවස්වල අජිත් මුතුකුමාරණව වැඩිය දකින්න නැත්තේ මොකද?




පසුගිය කාලේ පොඩ්ඩක් මගේ ව්‍යාපාර කටයුතු පැත්තට වැඩිපුර අවධානයක් යොමු කරලා හිටියේ. හැබැයි ඉතින් මම සංගීත ප්‍රසංගවලටත් සහභාගි වුණා. ඒ වුණාට වෙනදා තරම් ම‍ං ප්‍රසංග වේදිකාව උඩ හිටියේ නෑ.




 මේ වෙනකොට කැසට් 56 ක් සිංදු 1200 ක් කරපු අජිත් මුතුකුමාරණගේ හඬින් කාලෙකින් අලුත් ගීතයක් අපට අහන්න ලැබුණේ නෑනේ?




 අලුත් ගීත හතරක් කළා. ඉක්මනින්ම ඒ ගීත එළිදක්වනවා. ඒ අතරේ අම්මා ගැන ආදරණීය ගීතයකුත් තියෙනවා.




 පසුගිය දවස්වල ඔබ ගායන කරපු "ඇස යොමන තැනක" ගීතය යළි ප්‍රසිද්ධ වෙලා තිබුණා සතුටුද?




 අවංකවම සතුටුයි. මං ඒක මීට අවුරුදු ගාණකට කලින් කරපු ගීතයක්. වෙඩින් එකක් නිසා ඒ ගීතය ආයෙත් අපේ රටේ ප්‍රසිද්ධ වුණා.




 අජිත් මුතුකුමාරණ කියපු ගමන්ම අපට මතක් වෙන්නේ "සකුරා රේන්ජ්". ඒ සකුරා රේන්ජ්ට මොකද වුණේ?




 ගැටලු කීපයක් හින්දා සංගීත කණ්ඩායම තාවකාලිකව නැවැත්තුවා.




 ඒ ගැටලු කිහිපය අතර ඔබලා අර ආයතනයක් එක්ක ගිවිසුම් ගතවෙච්ච එකත් ඇති?




 ඔව් තියෙනවා. ඒ වගේම තවත් යම් කිසි ගැටලු කීපයක් තිබුණා. ඒක නිසා තමයි "සකුරා රේන්ජ්" තාවකාලිකව නවතන්න කියලා තීරණයක් ගත්තේ.




ආයෙත් "සකුරා රේන්ජ්" වේදිකාවට ගේන්නේ කවදද?




මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අලුත් වෙනසක් එක්ක "සකුරා රේන්ජ්" ආයෙත් ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබෙයි.




ඒ එන්නේ පරණ සාමාජිකයෝ ටික එක්කමද?




පරණ "සකුරා රේන්ජ්" ඉවරයි. අපි එන්නේ ආයෙමත් අලුත්වෙලා අලුත් තරු එක්ක.




ඒ කියන්නේ ළඟදීම අපට ප්‍රසංග වේදිකාවේ වෙනසක් දකින්න පුළුවන්?




අලුත් වුණු "සකුරා රේන්ජ්" කොයි වගේද කියලා ඉක්මනින් බලන්න පුළුවන් වෙයි. ඒක වෙනසක්ම තමයි.




අජිත් මුතුකුමාරණට එදා ලැබුණු රසික ආදරේ අදටත් ලැබෙනවද?




මොකද නැත්තේ. තවමත් ඒ ආදරේ එදා තරම්ම ලැබෙනවා. අදටත් ප්‍රසංගයකට ගියාම ඒක මට හොඳටම දැනෙනවා.




ජනප්‍රියත්වය කියන දේ ගැන අජිත් හිතන්නේ කොයි විදිහටද?




මට ජනප්‍රිය වෙන්න ලොකුවට හීනයක් තිබුණේ නෑ. ඒත් මොකක්දෝ මන්දා මගේ වාසනාවකට මගේ හැම ගීතයම වගේ ජනප්‍රිය වුණා. මං හිතන්නේ ජනප්‍රියත්වය ලේසියෙන් කෙනෙක්ට ලැබෙන්නේ නෑ. ඒ අතින් මං වාසනාවන්තයි.




අජිත් හිතන විදිහට ගීතයකට රූප රචනාවක් අත්‍යවශ්‍යද?




මගේ ගීත එකක්වත් ජනප්‍රිය වුණේ රූප රචනා තිබිලද? ගීතයක සාර්ථකත්වයට එහෙම රූප රචනාවක් අවශ්‍යමයි කියන තැන මං නෑ. ගීතයකට රූප රචනාවක් කළාම ගීතය අහන අය ඒ රූප රචනාව අස්සටම කොටුවෙනවා. එතකොට ගීතය රසවිඳින්න අමාරුයි.




ඔබට සමහරු කියන්නේ ''ආදරයේ රජ්ජුරුවෝ" කියලා. ඒ ඔබ හුඟාක් ආදර ගීත කියලා තියෙන හින්දා. 




හැබැයි අජිත් සැබෑ ජීවිතේ ආදරේ ළඟ පරාජිතයෙක්?




ජීවිතේ අපි ගන්න හැම තීරණයක්ම හරි‍යන්නෙත් නෑනේ. අපිට මේ ජීවිතේ සමහරු මුණගැහෙනවා. මුණගැහෙන අය ආයෙත් යන්න යනවා. ඒක තමයි ඉතින් ජීවිතේ හැටි. දැන් ඉතින් තනියම ඉන්නවා. රසික රසිකාවියන්ගේ ආදරය ඇති මට ජීවත්වෙන්න.




Previous Post Next Post