දේශපාලකයෙක්ගෙ චරිතයක් කරනවටවත් එයාලා කැමැති නෑ-නිරෝෂන් විජේසිංහ




තමා සතු බහුවිධ රංගන කුසලතාවලින් දශක තුනක් පුරාවට ප්‍රේක්ෂක ආකර්ෂණය එක ලෙස රඳවා පවත්වා ගැනීමට සමත් වූ ඔහු මෙරට සිටින අති දක්ෂ රංගන ශිල්පියෙකි. වීදී නාට්‍යයේ සිට සිනමාව දක්වාම සිය නළුකම රැගෙන ගිය ඔහු මේ දිනවල වඩාත් ජනප්‍රියව සිටින්නේ ලලයි ලිලයි ලයි නාට්‍යය හේතුවෙනුයි. රංගන ශිල්පියෙක්ට අමතර කලාකාමී හදවතක් සහිත දක්ෂ කවියෙක්ද වන ඔහු කලාසූරී නිරෝෂන් විජේසිංහ නම් වේ.


 මේ දවස්වල මොකද වෙන්නේ කියලම කතාව ආරම්භ කරමු?


මේ දවස්වල ඉතාම ජනප්‍රිය වුණු ලලයි ලිලයි ලයි කියන ටෙලි නාට්‍යයේ වැඩ කරගෙන යනවා. ඒ ටෙලි නාට්‍යය කොයිතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් පළමු වැනි එපිසෝඩ් එක සතියක් යන්න කලින් යූ ටියුබ් එකේ නැරැඹුම් වාර මිලියනය පහු කළා. ඊට අමතරව දිව්‍යාදරී ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. තවත් අලුත් ටෙලි නාට්‍යයක වැඩ ආරම්භ කරනවා මැයි මාසයේ. ඒ වගේම මේ දවස්වල මිහිර සිරිතිලකගේ ගරු තරු වේදිකා නාට්‍ය එක්ක රට වටේම යනවා. ඒත් එක්කම තාරාවෝ ඉගිළෙති නාට්‍යයත් වේදිකාගත වෙනවා. ඔය දේවල් එක්ක තමයි කාලය ගෙවෙන්නේ.


ලලයි ලිලයි ලයි නාට්‍යයේ ඔබේ චරිතයට විශාල වශයෙන් ප්‍රේක්ෂක පැසසුම් හිමි වෙනවා. ඒ ගැන කතා කළොත්?


ප්‍රතිචාර ඉතාම හොඳයි. ලක්මාල් ධර්මරත්න වැනි විශිෂ්ටයෙක් පවා මගේ චරිතය අගය කරමින් සමාජ මාධ්‍යයකට අදහස් දක්වලා තිබුණා. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවා හමුවෙද්දී එහි මගේ චරිතය ගැන වගේම, එහි සමස්ත කතාව, අනෙකුත් චරිත මේ සියල්ල ගැනම ප්‍රශස්ත මට්ටමින් කතා කරනවා. වරින් වර එක එක අවුරුදුවලදී එක එක නිර්මාණ ජනප්‍රිය වෙනවා. ඒකට හේතුව විධියට මම දකින්නේ, එක්තරා ඒකාකාරී මට්ටමකට


පවත්වාගෙන ගිය රටාව වෙනස් කරන නිර්මාණයක් වීම, එහි පිටපත ලංකාවේ ඉන්න මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයට ළඟා වීම සහ ඔවුන්ගේ අත්දැකීම්වලට සමපාත වීම වැනි කාරණා. සුපුන් රත්නායකගේ ලලයි ලිලයි ලයි නාට්‍යයේ ඒ ගුණය තිබෙනවා. ඒ වගේම එමඟින් කතා කරන බැරෑරුම් කාරණා ඔතලා දෙන පිටකවරය හරි සරලයි සහ විනෝදයි. ඒක සියල්ලට තේරෙනවා. එතැනදි හාස්‍ය තුළින් ප්‍රේක්ෂක මනසට ඉතාම පහසුවෙන් බැරෑරුම් කරුණු අවබෝධ කරවන්න පුළුවන්.


ප්‍රේක්ෂකයන් ඇතැම් නිර්මාණවල තරුණ චරිතවලට වඩා අවශේෂ චරිතවලට වැඩි වශයෙන් කැමැත්තක් දක්වන අවස්ථා තිබෙනවා. ඔබ හිතන විධියට එයට හේතුව කුමක්ද?


ඒක ඇත්තටම අපූරු ප්‍රශ්නයක්. ඉස්සර මම වුණත් ඇතැම් වෙලාවට පෙම්වතාගේ චරිතය කරන්න කැමැති නැහැ. එයට හේතුව ප්‍රේක්ෂකයාට එවැනි චරිත කාලයකදී මඟහැරෙනවා. ප්‍රේක්ෂකයා වුණත් චරිත තුළින් සංකීර්ණ දේවල් දකින්න කැමැතියි. එතැනදි අපේ තරුණ රංගන ශිල්පීන්, ශිල්පිනියන්ට ගොඩක් වෙලාවට සිදු වෙලා තිබෙන්නේ සරල ප්‍රේම ජවනිකා රඟපාන්න. එහිදී ප්‍රේමවන්තයාගේ චරිතයෙන් ඔබ්බට අවශේෂ චරිත ගත්තොත් ඒවා හැමතිස්සෙම ප්‍රබලයි. ඒ චරිත පාදක කරගෙන තමයි ගොඩක් වෙලාවට ප්‍රධාන චරිත ගොඩනැඟෙන්නේ. නිර්මාණයේ තිබෙන සංවේදිතා, සංකීර්ණත්වය වගේම විවිධ හැඟුම් ප්‍රේක්ෂකයා වෙතට සමීප කරන්න ඒ චරිත විශාල වශයෙන් බලපානවා. ඒ නිසාමයි ප්‍රේක්ෂකයන් එවැනි චරිතවලට ආකර්ෂණය වෙන්නේ.


ඔබත් කාලයක් තිරයේ පෙම්වතා වුණු නළුවෙක්, පෙම්වතාගෙන් ඔබ්බට ගොස් චරිතාංග නළුවෙක් බවට පත් වීමට ඔබට උදවු වුණු නිර්මාණ ගැන කතා කළොත්?


මීට දශක තුනකට පමණ කලින් වීදි නාට්‍ය නළුවෙක්, වේදිකා නළුවෙක් විධියට මම මේ ක්ෂේත්‍රයට ආවට පසුව මගේ පළමු ටෙලි නාට්‍ය වුණේ පිටගම්කාරයෝ, ඇත්තටම මුල් කාලයේදී මට වුවමනාවක් තිබුණා මාව සුදුසු වුණත් ප්‍රේමවන්තයාගේ චරිතයෙන් ඔබ්බට ගිහින් චරිතාංග නළුවෙක් ලෙස එළියට ඒමට හැකි නිර්මාණ කරන්න. කොයි වෙලාවෙද යමක් කරලා පෙන්විය හැකි චරිතයක් ලැබෙන්නේ කියලා ඇඟිලි ගැන ගැන සිටිය කාලයක් මටත් තිබුණා. ඒ අවස්ථාව ජය ගන්න පුළුවන් නිර්මාණ කිහිපයක්ම මට ලැබුණා. එතැනදී පළමුවෙන් මතක් වෙන්නේ ශාන්ත සොයිසගේ


අමා කියන ටෙලි නාට්‍යයේ තාත්තගේ චරිතය. එහිදී මට නැවතත් තරුණ චරිත හිමිවෙන්නෙ නැති වෙයි කියලා ඒ චරිතය බාරගන්න එපා කියලා ගොඩක් අය අනතුරු ඇඟවීම් කළත් මගේ අරමුණ වෙනුවෙන් මම තනි තීරණයක් අරගෙන එම චරිතය බාරගත්තා. ඉතින් ඒ අමා නාට්‍යයේ හෙන්රි කියන චරිතය හරහා චරිතාංග නළුවෙක් ලෙස ඉදිරියට එන්න, මගේ එතරම් කාලයක් නොපෙනෙන පැත්තක් ප්‍රේක්ෂකයාට පෙන්වීමට මට හැකියාව ලැබුණා. ඒ වගේම සුදත් රෝහණගේ ගිරිකුළ නාට්‍යයේ සුදු බණ්ඩාගේ චරිතයත් එහෙම අවස්ථාවක්. ඒ චරිතය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානයත් මට හිමි වුණා.


රංගන ශිල්පියාට අමතරව ඔබ තුළ සැඟ වී ඉන්න කවියාව මෑතකදී එළියට දාන්න අදහසක් නැද්ද?


ඇත්තටම් මගේ දෙවැනි කවි පොතට මේ දිනවල සූදානම් වෙනවා. මේ අවුරුද්ද අවසන් වීමට කලින් අනිවාර්යයෙන්ම ඒ පොත එළිදක්වනවා.


මීට කාලයකට කලින් ඔබට දේශපාලනයට එන්න අදහසක් තිබුණානේ, දැන් ඒ අදහසට මොකද වෙලා තිබෙන්නේ?


දේශපාලනයට එන්න ඇත්තටම මගේ පුංචි කැමැත්තක් තිබුණා, එහෙම දේශපාලනයක් තිබෙනවා කියලා ඒ කාලේ හිතුවා. නමුත් දැන් වෙද්දී ඒ අදහස වෙනස් වෙලා තිබෙන්නේ. මගේ බිරිය, අම්මා, තාත්තා, මගේ දරුවෝ පවා මම දේශපාලනයට යනවා තබා දේශපාලනඥයෙක්ගේ චරිතයක් කරනවාටත් කැමැති නැහැ.


ඔබේ මේ ගමනට ඔබේ පවුලෙන් ලැබෙන  ශක්තිය ගැනත් සිහිපත් කරමු?


ඇත්තටම ඒක තමයි මට මේ සියල්ලටම ලැබෙන ශක්තිය. ඔවුන්ගෙන් ලැබෙන ශක්තිය අන් කිසිම දේකට සම කරන්න බැහැ. මම ආව ගමනේ හැම තැනකදීම  මාත් එක්ක තිබෙන්නේ ඔවුන්ගේ ඒ ආශීර්වාදය.


ඉදිරියේදි එන්න තිබෙන නිර්මාණ ගැනත් කතා කරමු?


එහෙම නිර්මාණ රාශියක් එන්න තිබෙනවා. ඒ අතරින් මම ගොඩාක් කැමැත්තෙන් ඉන්නවා ලක්මාල් ධර්මරත්නගේ ‘වාලම්පුරි’ චිත්‍රපටය තිරගත වනතුරු. මම එහි ලොකු චරිතයක් නොකළත් ඒ නිර්මාණයට බොහොම කැමැතියි. ලක්මාල් ධර්මරත්නලා වගේ වෙනස් නිර්මාණ කරන අධ්‍යක්‍ෂවරු බිහි විය යුතුයි. අද වෙද්දී එහෙම වෙනස් නිර්මාණ කරන අධ්‍යක්ෂවරු බොහෝ පිරිසක් සිටිනවා සහ ඔවුන් නිර්මාණ කරමින් ඉන්නවා. නමුත් කනගාටුවට කාරණය වෙන්නේ ඒවා කරලා ගොඩක් කාලයක් වුණත්, එළියට ඒම පරක්කු කරන මොකක්‍ෙදා් බල අධිකාරියක් තිබෙනවා.




Previous Post Next Post