රාමුව කඩාගත්තේ නැත්නම් එකම රාමුවකට කොටුවෙනවා-මාලී ජයවීරගේ



මේ දිනවල වේදිකා ගතවන රෝමියෝ ජුලියට් වේදිකා නාට්‍යයෙන් සහ ඉස්කෝලේ ටෙලි නාට්‍යයෙන් සිය රංගන ප්‍රතිභාව මැනැවින් නිරූපණය කරන මාලී ජයවීරගේ කියන්නේ බොහෝ ප්‍රේක්ෂක ආදරය ලබන කලා ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රවීණ රංගන ශිල්පිනියක්. කලා ක්‍ෂේත්‍රය තුළ සෙමෙන්, නිහඬ ගමනක් පැමිණි මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය කලා ජීවිතයේ ඇගේ අත්දැකීම් මෙවර  බෙදාගත්තේ මෙලෙසින්. 


ඉතින් ඔබට කොහොමද?


මේ දිනවල ගොඩක් හොඳින් සතුටින් කාලය ගත කරනවා.


මේ දිනවල මොකද වෙන්නේ. මොනවද අලුත් වැඩකටයුතු?


මේ දිනවල අලුත්ම වේදිකා නාට්‍යයක සහ ටෙලිනාට්‍යයක වැඩ කටයුතු කරගෙන යනවා. ජයනාත් බණ්ඩාරයන්ගේ අධ්‍යක්ෂණයෙන් විලියම් ෂේක්ස්පියර්ගේ රෝමියෝ ජුලියට් වේදිකා නාට්‍ය සහ ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යය සිංහල වේදිකාවට ගෙනාවා. මම එහි හෙදියගේ චරිතය රඟපානවා. ඒ වගේම අසංක සායක්කාරගේ අලුත්ම ටෙලිනාට්‍ය වන සින්ටෝ නාට්‍යයේත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ දිනවල විකාශය වන ඉස්කෝලේ නාට්‍යයේත් ආච්චිගේ චරිතය නිරූපණය කරනවා.


එදා වගේම අදත් වේදිකාවෙන් ඔබට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති නේද?


මගේ පළමුවැනි වේදිකා නාට්‍ය පුන්තිලා. එදා ඉඳලා අද වෙනතුරු වේදිකා නාට්‍යය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ සෑම අවස්ථාවකදීම මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. පුන්තිලා වේදිකා නාට්‍යයේ සිට රෝමියෝ ජුලියට් වේදිකා නාට්‍ය දක්වාම වසර ගණනක්ම හොඳ නිර්මාණ තුළින් මම ප්‍රේක්ෂකයන් අතරට ආවා. මම වේදිකාවේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන්.  එදා පුන්තිලා වේදිකා නාට්‍යයේ මම රඟපෑවේ ආධුනික ශිල්පිනියක් ලෙසයි. නමුත් ලයිනාගේ චරිතයට එදා ඉහළ ප්‍රතිචාර ලැබුණා. අද රෝමියෝ  ජුලියට් වේදිකා නාට්‍යයේ හෙදියකගේ චරිතය රඟපාන විට ඒ වගේම ප්‍රතිචාර මට ලැබෙනවා.


බොහෝ ප්‍රවීණ රංගන ශිල්පීන් රංගනයට ප්‍රවිෂ්ට වන්නේ වේදිකාවෙන්. නමුත් නවක රංගන ශිල්පීන්ට මේ අවස්ථාව නොලැබීම ගැන ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස ඔබ මොකද හිතන්නේ?


වේදිකාවෙන් වගේම ටෙලිනාට්‍යවලින්, චිත්‍රපටවලින් හොඳ ආධුනික ශිල්පීන් බිහිවෙනවා. නමුත් වේදිකාවෙන් බිහි වන නළු නිළියන් කාලයක් තිස්සේ කැපකිරීම් කරලා, පුහුණුවීම් කරලා, එකමුතුව, පවුලක් ලෙසයි වේදිකාවෙන් එළියට එන්නේ. ඒ නිසා ඔවුන් විශේෂයි. ටෙලිනාට්‍යවලින් සහ සිනමාවෙන් බිහිවන කලාකරුවන්ට හොඳ අවස්ථා නොලැබෙනවා නොවෙයි. නමුත් කැපකිරීම අඩු නිසා බොහෝ විට මේ පිරිසට කලා ක්ෂේත්‍රයේ රැඳී සිටීම අපහසුයි.


වර්තමානයේ නවක රංගන ශිල්පීන් බොහෝ දෙනා චරිත රාමුවලට කොටු වීමක් දකින්න ලැබෙනවා. මේ රටාව වෙනස් කරන්න  පුළුවන්ද?


මෙය වර්තමානයේ පමණක් තිබෙන ගැටලුවක් නොවෙයි. එදා කලා ක්ෂේත්‍රය තුළත් මේ ගැටලුව තිබුණා. එය රංගන ශිල්පියකුට කරන දරුණුම නරකම දෙයක්. පිටපත කියවන විට කලින් නිර්මාණයක හොඳින් රඟපෑ රංගන ශිල්පියකුව අධ්‍යක්ෂවරුන්ට මතක් වෙනවා. ඉතින් මේ නාට්‍යයේ  චරිතයටත් ඒ රංගන ශිල්පියාටම කතා කරනවා. අන්න එතැනදී කලාකරුවන් චරිත ඇතුළේ කොටු කිරීමකට ලක්වෙනවා. මුල් කාලයේදී මටත් ඒ දේම සිද්ධ වුණා. කාලයක් යද්දී ඇතැම් ශිල්පීන් ඒ රාමුවෙන් ගැළවෙනවා. නමුත් තමන්ගේ වුවමනාවෙන් එම තත්ත්වය මඟහරවා නොගත්තොත් ඔවුන්ට  දිගටම එක රාමුවේ චරිත කරන්න සිදු වෙනවා.


ඕනෑම රංගන කලාකරුවෙක් විවිධ චරිත රඟපාන්න කැමැතියි. ඉතින් ඒ කැමැත්ත පමණක් තිබුණාට බැහැ වෙනත් චරිත ලැබෙන්නේ නැති නම්. මේ වෘත්තියේදී අපිට ඕනෑ කරන නාට්‍යයක, අපිට අවශ්‍ය කරන චරිත රඟපාන්න බැහැ. අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ විවිධ චරිතවල නිර්මාණවලට ආරාධනා ලැබුණොත් පමණයි. ඉතින් නවක කලාකරුවන් ලෙස ඔබට පුළුවන් චරිත තෝරා ගැනීමේදී විවිධ චරිත තෝරාගන්න.


ඔබ සීමිත ටෙලිනාට්‍ය ප්‍රමාණයකට සහභාගි වීමට විශේෂ හේතුවක් තිබෙනවාද?


ඇත්තටම මම  ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක රඟපා නැහැ. මගේ රංගන කටයුතුවලදී මම මුල් තැන දෙන්නේ වේදිකාවට. මම ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න කැමැතියි. නමුත් ටෙලිනාට්‍යවලදී මට ගැළපෙන චරිතයක් ලැබුණොත් මම ඒ වැඩේ භාරගන්නවා.


ඔබ රංගනයෙන් දායකවන අලුත් ටෙලිනාට්‍ය ගැනත් කතා කළොත්?


මගේ අලුත්ම ටෙලිනාට්‍යය තමයි අසංක සායක්කාරගේ සින්ටෝ කියන ටෙලි නාට්‍ය. ඒ නිර්මාණයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියකගේ චරිතයකට මම පණ පොවනවා. අසංක සායක්කාරත්  සමඟ මම කරන මුල්ම ටෙලිනාට්‍ය මෙය. අලුත් අධ්‍යක්ෂවරයකු සමඟ වැඩ කරන්න ලැබීම ගැන  හරිම සතුටුයි.


ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස වර්තමාන කලාකරුවන් සමඟ වැඩ කරන එක ඔබට මොන වගේ අත්දැකීමක්ද?


මේ ක්ෂේත්‍රයේ සෑම කෙනෙක් එක්කම අපිට වැඩ කරන්න ලැබෙනවා. අපිත් ආධුනිකයන් ලෙස මේ ක්ෂේත්‍රයට ආවා. එදා අපි කරපු කැපවීම, ඉවසීම මේ යුගයේදී කරන්න අමාරුද මන්දා. ඒ නිසා වෙන්න ඇති බොහෝ නාට්‍යවල නළු නිළියන් අතරමඟදී නාට්‍යයයෙන් ගැලවී යන්නේ. ඒ වගේම ප්‍රධාන චරිත කරන නවක රංගන ශිල්පීන් එම ටෙලිනාට්‍යයට කරන අසාධාරණය නිසා ඊට සහභාගි වන සෑම කෙනකුම අසාධාරණයට ලක් වෙනවා. එය වර්තමානයේ කලා ක්ෂේත්‍රය තුළ තිබෙන ලොකුම ඛේදවාචකයක්. දිගටම රැඳී සිටින්නට අපහසු නම් ඒ නිර්මාණයට සම්බන්ධ නොවී සිටීම තමයි ඉතාම යහපත්. මේ හේතුව නිසා පසුගිය දිනවල මම වැඩ කළ ටෙලිනාට්‍ය දෙකක්ම නවත්වන්න සිදු වුණා.


වර්තමානයේ වෘත්තීයමය කලාකරුවන්ට පැවැත්මක් තිබෙනවාද?


මම නම් කියන්නේ පැවැත්ම හදා ගත යුත්තේ තමන්මයි. කලාකරුවන්ට වඩා ඉතාමත් අඩු ආදායම් ලබන මිනිස්සුත්  තමන්ට ලැබෙන දෙයින් පැවැත්ම සඳහා අවශ්‍යම දේ තෝරාගෙන ජීවත් වෙනවා.  අන් අය කරන කරන දේ නොකර තමන්ට ලැබෙන දෙයින් ජීවත් වෙන්න පුළුවන් නම් රංගනය, වෘත්තියක් ලෙස තෝරා ගැනීම වරදක් නැහැ.


ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කළොත්?


මට තිබුණු සියලුම යුතුකම් ටික ඉතාමත් හොඳින් මම ඉටු කළා. අම්මාට, තාත්තාට හොඳින් සැලකුවා. ඒ අය හොඳින් බලා ගත්තා. දැන් ඒ සියල්ලම අවසන්. මට දැන් කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඉතින් ඒ නිසා නිදහසේ ලස්සනට සතුටින්  ජීවත් වෙන්න උත්සාහ කරනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post