කෙල්ලන්ට සයිකෝ කියපු ගයාන් එක්ක ස්ත්‍රීවාදිනියෝ තරහා වෙලාද?




ඔහු ලාංකේය සංගීතය තුළ තම අනන්‍යතාව නිර්මාණය කරගත් කලාකරුවෙක්. පසුගියදා නිකුත් වුණු සයිකෝ ගීතය නිසා ඔහු පිළිබඳව සමාජයේ නැවතත් කතා බහක් ඇතිවෙලා. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ ගායන ශිල්පී ගයාන් පෙරේරා. මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ  දිනවල සයිකෝ ගීතය සහ නිහඬ වූයේ කියන ගීතවලට ලැබෙන ප්‍රතිචාර අහගෙන කරගෙන ආතල් එකේ ඉන්නවා. ඒ දෙකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


සයිකො ගීතයට ස්ත්‍රීවාදිනියන්ගෙන් ස්ත්‍රීයට අපහස කරනවා කියලා විවේව්චන ආවෙ නැද්ද?


මම දැන් තිබෙන නියෝ ලිබරල් ස්ත්‍රීවාදයට එතරම් එකඟ වෙන්නෙ නැහැ. මම ඕල්ඩ් ස්කූල් මනුස්සයෙක්. ඒ වගේම මධ්‍යස්ථ මතධාරී පරපුරක කෙනෙක්. මම හිතන විධියට බොඩි ෂේමින් කියන දේවල් තියෙන්න ඕන. ඔන්ලයින් බුලින් තියෙන්න ඕන. අපි ඕනවට වඩා සොෆ්ට් වෙන්න ගියොත් මට මෙහෙම කිව්වා, අරෙහෙම කිව්වා කියලා අඬන්න ගියොත් ඉවරයි. ඒකෙන් සමාජය සොෆ්ට් වෙන්න ගන්නවා. ලෝකය කියන්නෙ ඇත්තටම සුන්දර තැනක් නෙවෙයිනේ. අපිට බනින මිනිස්සු මුණගැහෙනවා, හොඳ කියන මිනිස්සු මුණගැහෙනවා, මොනවත් නොකියන, ඔරවන වගේම හිනාවෙන අයත් ඉන්නවා. ඒකත් එක්ක අපි ඉදිරියට යන්න ඕන. එහෙම නැතිව අපිට බනින මිනිස්සු හිරේ දාන්න ඕන, උන්ගෙ කටවල් වහන්න ඕන කියන තැනකට ලෝකය ගේන්න නරකයි.


වත්මන් ලංකාව තුළ මෙවැනි යම් යම් යුරෝපීය මතවාද පිළිබඳව කතිකාවක් ඇති වෙලා. ඔබ මෙය දකින්නේ කෙසේද?


ඇත්තටම බටහිර ලෝකයට දැන් මේ දේවල් ප්‍රශ්නයක් වෙලා. ලංකාවෙත් කොළඹ කේන්ද්‍රීයව මේ දේවල් පටන් අරගෙන. ඒවායේ යම් පෙරටුගාමී නැඟීමක් අපට දකින්න පුළුවන්. ඒක හොඳ දෙයක් නෙවෙයි. අපි හැමෝම මිනිස්සු. ගෑනු, පිරිමි කියන දෙය වැඩ කරන්න කිසිම විධියකින් අදාළ නැහැ. වැඩ කරන තැනක වුණත් ගැහැනු සියයට පනහයි, පිරිමි සියයට පනහයි කියලා දෙයක් නැහැ අදාළ පුද්ගලයට අදාළ රස්සාව ලැබුණම ඇති. ලොකු කම්පැනිවල දැන් දැන් මේවා සිදු කරනවා. එහෙම වුණාම බිහිවෙන්නෙ අසම්පූර්ණ මිනිස්සු. බටහිර ලෝකය දැන් පසුබෑමකට ලක්වෙලා. ඒකට හේතුව බොරු ප්‍රෝග්‍රසිව් දේවල් සමාජගත කිරීම. සංක්‍රාන්තික ලිංගිකත්වය වැනි දේවල් පවා එහෙමයි. කිසි කෙනෙක්ට තව කෙනෙක්ට කියන්න බැහැ මාව මේ විධියට දකින්න කියලා. නමුත් ඔවුන් දෙස අපි මානුෂික හැඟීමකින් බලන්න ඕන. දැන් තිබෙන නව ලිබරල්වාදය කියන්නේ පිළිකාවක්.


ඔබට හිතෙන විධියට කලාකරුවෙක් තම අත්දැකීමෙන් නිර්මාණය කරන නිර්මාණයක්ද එහෙමත් නැත්නම් මන–කල්පිතව නිර්මාණය කරන නිර්මාණයක්ද වඩාත් ගුණාත්මක වෙන්නේ?


දෙකම හොඳයි. කොපි කරන්නෙ නැති ඕනම නිර්මාණයක් හොඳයි. තමන් මහන්සිවෙලා කරන නිර්මාණයක් සත්‍ය සිදු වීමකින් හෝ මන–කල්පිතව හෝ සිදු කරත් ඒක ඔරිජිනල් නම් ඒක හොඳ නිර්මාණයක්.


සංගීතඥයෙක් බවට පත්වීමට සංගීත කණ්ඩායමකින් ලැබෙන පන්නරය මොන වගේද?


ඒක හරියට අපි පොඩි කාලේ බයිසිකලයක් පදින්න කලින් ට්‍රේනර් වීල්ස් දෙකක් දාන්නෙ අන්න ඒවගේ. අපි සයිකලය ඉගෙන ගත්තට මදි වෙනත් වාහන තිබෙනවා, අනෙක් මිනිස්සු ඉන්නවා කියලා, අපි ඊට පස්සෙ දැන ගන්නවා. අපිට ඊට පස්සෙ ආත්ම විශ්වාසයක් එනවා. ඔන්න ඔය වගේ තමයි අපිට සංගීත කණ්ඩායමකින් ලැබෙන්නේ. මගේ පෞද්ගලික අත්දැකීම අනුව ඔයා වැඩ කරන්නෙ ඔයා වගේම තව සංගීතය ගැන දැනුමක් තිබෙන පිරිසක් සමඟ. එතකොට ඔයාට සංගීතය ගැන අදහස් ගොඩක් ලැබෙනවා. ඊට පස්සෙ ඔන්න සින්දු හදලා කට්ටිය ප්‍රසංග වේදිකාවකට නඟිනවා. ඒක හරිම අමාරු වැඩක්. අපි මුලින්ම බයයි වේදිකාවක සින්දු කියන්න, නමුත් කොල්ලො බජාර් එකක් පිටිපස්සෙ ඉද්දී බයක් නැහැ. කාලයක් කරගෙන යනකොට විශාල ආත්ම විශ්වාසයක් ගොඩනැඟෙනවා. සංගීත කණ්ඩායමකින්ම එන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි එහෙම ආවොත් ඔයාට තනියම ගමනක් යන කෙනෙක්ට වඩා පන්නරයක් තිබෙනවා.


ගයියා කියන්නෙ තමන්ගෙ පද රචනාව, ගායනය, සංගීතය වගේම සින්දුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය අනෙකුත් කර්ත්‍යවයන් සියල්ල ඉටු කරන කෙනෙක්. මේ ගැන කතා කරමු?


අනෙක් හැම රස්සාවකම වගේම මියුසික් කරනවා කියන්නෙත් අමාරු වැඩක්. මට හිතා ගන්න බැහැ කලා ලෝකයට ඕන කෙනෙක් කිසි අධ්‍යයනයක් නැතුව එන්නෙ කොහොමද කියලා. ඒ නිසා ඒ වෘත්තියට කිසි ගරුත්වයක් නැහැ. මේකට එන්න ඕන හැදෑරීමක් ඇතිව. මේ දේවල් කලාකරුවෙක්ට තිබෙන්න ඕන මූලිකම සුදුසුකම්. සින්දු ලිවීම, තනු නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය කියන මූලික දේවල්වලින් එහාට ගිය දේවල් තමයි අදින විධිය, මාකටින් කියන්නේ. මේ ඉන්න අය සියයට අනූවක් විතර ඒ කිසිම දෙයක් දන්නෙ නැහැ. මම ඒක ප්‍රශ්න කරන්න ඕන කියලා කියන්නෙ නැහැ. නමුත් අපි ක්ෂේත්‍රයක් විධියට ලෝකයත් සමඟ තරග කරන්න නම් මේ දේවල් දැනගෙන කරන්න ඕන. මම දන්න බහුතරයක් මිනිස්සු මේ දෙය තෝරාගෙන තිබෙන්නෙ ජනප්‍රියත්වය නිසා. සෝෂල් මීඩියාවල වුණත් අපිට මේ දෙය දකින්න පුළුවන්. ලංකාවෙ අය රඟපෑමටයි, ගායනයටයි එන්නෙම ඔය නිසා. ඕකනෙ ලේසිම දේ.  මේක එහෙම ලේසි නැහැ. එහෙම නොවුණොත් අපිට ලෝකයත් එක්ක හැප්පෙන්න බැහැ. අපි නිකන් විහිළුවක් වෙනවා.


ලාංකික  සංගීත ක්ෂේත්‍රය සහ ප්‍රේක්ෂකයා ගැන ඔබේ අදහස?


අපේ බහුතරයක් මිනිස්සුන්ට මියුසික් ගැන කියවීමක් නැහැ. සයිකො ගමුකො, ඒක මම කරපු ගීත අතරින් ඉතා හොඳ සින්දුවක් නෙවෙයි. ඒක සිම්පල් වැඩක්. ඒකේ සංගීතමය වශයෙන් ගන්න මහ ලොකු දෙයක් නැහැ. ඊට වඩා දෙයක් මගේ කලින් කරපු ගීතවල තිබුණා. ඒ අය හාමනි කියන්නෙ මොකක්ද ප්‍රඩක්ෂන් එක පැත්තෙන් කරලා තිබෙන්නෙ මොනාද කියලා දන්නෙ නැහැ. සාමාන්‍යයෙන් දියුණු රටවල බහුතරයක් මිනිසුන්ට සංගීතය ගැන සාමාන්‍ය දැනුමක් තිබෙනවා. අපේ අයට ඒ දැනුම අඩුයි. අපේ බහුතරයක් මිනිස්සු බීට් බෑන්ඩ්නෙ අහන්නෙ, බීට් බෑන්ඩ් කියන්නෙ අවුරුදු ගාණක් එකම තැන පල්වෙන ක්ෂේත්‍රයක්. අවුරුදු විසිපහකට තිහකට කලින් කරපු දෙයම තමයි ඔවුන් අදත් කරන්නෙ. මීට අවුරුදු සියයකට කලින් බටහිර ලෝකෙ තිබුණා ඔයිට වඩා හොඳ මියුසික්, ඒ ගැන ඒ අය ලැජ්ජ වෙන්න ඕන. නමුත් කොළඹ සංගීත කණ්ඩායම් එහෙම නැහැ. ඇත්තටම සංගීතය අහන මිනිස්සු ඉන්නෙ කොළඹ සහ ප්‍රධාන නගර කිහිපයක විතරයි. අර පිරිස ඉන්නෙ සෑහෙන්න පල්ලෙහායින්. මට ඒ අය හමුවුණොත් මම ඒ අයට ඒ ගැන කියනවා. අපි නිකන් මෙතැනට කඩන් පාත් වුණේ නැහැ. ඒ අයට අපිත් එක්ක හැරෙන්නවත් බැහැ. තේරුමක් නැහැ.


ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරනවා නම්?


මම මගේ ගීතවල ටියුටෝරියල් ටිකක් කරන්න ඉන්නවා. ඒ ගීතවල කෝඩ්ස් දාල තිබෙන විධිය සහ ප්‍රඩක්ෂන් එක කරන්නෙ කොහොමද කියලා ඒකෙන් කියා දෙනවා. මගෙන් ගොඩක් කොල්ලො සින්දුවල කෝඩ්ස් අහනවා, ටෝන් ගැන අහනවා. මේ හරහා මට ගීතයක ලොකු පරාසයක් කියා දෙන්න පුළුවන්. ඒක තමයි සංගීතමය අධ්‍යාපනය පැත්තෙන් මට දෙන්න පුළුවන් ලොකුම දෙය. ඒක මම ආසාවෙන් කරන දෙයක්. මට මිස් වුණ අවුරුදු අටක් නවයක් තිබෙනවා. ඒ කාලෙ හැදුණු සින්දුත් පහළොවක් විස්සක් තිබෙනවනෙ. ඒ ටිකත් ඉවර කරන්න ඕන. දැන් අපි වයසනේ. මොන වෙලාවෙ යයිද දන්නෙ නැහැ. ඒ නිසා ඉක්මන්ටම සින්දු ටික නිර්මාණය කරලා එළියට දාන්න තමයි බලන්නෙ. ඊට පස්සෙ කිසි අවුලක් නැහැ. හෙට මැරුණොත් කියලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසාම ස්ටුඩියෝ එකේ තමයි කාලය ගෙවෙන්නේ.


ගිහාන් සචින්ත



Previous Post Next Post