නිර්මාණකරණයේදි දිනක්ෂිගෙන් ලැබෙන මානසික සහනය අතිශය වැදගත් - සාරංග දිසාසේකර



ඔහු අපේ කාලයේ රංගන ශිල්පියාය. දශක ගණනකට පසුවද නවක තරුණ ශිල්පීන් අභිභවමින් ජනප්‍රියම සම්මානය සියතට ගැනීමට හැකියාව ඇත්තේ ඔහු වැනිම අයෙක්ට පමණි. මෙරට ටෙලිනාට්‍ය ඉතිහාසය තුළ අමතක කළ නොහැකි චරිත රාශියකට පණ දෙමින් ආරම්භයේ පටන් මේ දක්වාම ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ රැඳී සිටින ඔහු නමින් සාරංග දිසාසේකරය. 


පිට පිටම ජනප්‍රියම නළුවා සම්මාන ත්‍රිත්ත්වයක්ම ලැබුණා නේද?


පසුගිය කාලයේ තිබුණු සම්මාන උළෙලවල් කිහිපයකදීම ජනප්‍රිය නළුවා සම්මානය හිමි වුණා. “බි්‍රටිශ් වේ පොපියුලර් අවෝර්ඩ්” කියලා පළමු වතාවට හ¾දුන්වා දුන් සම්මාන උළේලේත්, සුමති සම්මාන උළෙලේත්, රයිගම් සම්මාන උළෙලේත් තමයි ඒ සම්මාන හිමි වුණේ. රයිගම් සම්මාන උළෙලේ ඔබට ජනප්‍රියම නළුවා සම්මානය හිමි වෙන්නේ පස්වැනි වතාවට. 


මොනවගේ හැඟීමක්ද ඒ ගැන තිබෙන්නේ?


හරිම සතුටුයි ඒ ගැන. මම සුමති සම්මානය ලැබෙන මොහොතේ කිව්ව දෙයක් තමයි ක්ෂේත්‍රයට ආපු අලුත කොහොමත් ජනප්‍රිය නළුවා සම්මානය ටිකක් ලේසියෙන් ලැබෙනවා. ඒ තිබෙන නැවුම් බව සහ ආකර්ෂණයත් එක්ක. නමුත් කාලයක් යනවිට හුදු ආකර්ෂණයට පමණක් ඒ සම්මානය ලැබෙන්නේ නැහැ. ඉන් අනතුරුව ප්‍රේක්ෂකයෝ ඒ රංගන ශිල්පියාගෙන්  චරිතාංග නළුවෙක් ලෙසින් හෝ තමන්ගේ හිත්වල රැ‍ෙ¾දන චරිත


ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට ඉස්සරටත් වඩා මේ වෙද්දි ශිල්පීන්ගේ රංගනයන් සංසන්දනය කිරීමත් පහසුයි. ඒ නිසා ඒ කාලයේ ලැබුණටත් වඩා දැන් මේ සම්මානයේ වටිනාකමක් මට දැනෙනවා. මම කාලයක් තිස්සේ කරපු දේවල මහන්සියේ ප්‍රතිඵල ලැබෙනවා සහ ඒ දේවල්වලට ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා කියලා දැනෙද්දි ඒ ගැන ගොඩක් සතුටුයි.


සෝප් ඔපෙරාවලින් නළු නිළියන්ට තම හැකියාවන් පෙන්වීමට අපහසුයි කියලා තිබෙන මතය බොරුවක් බවට පත් කළ අයෙක් ඔබ, ඒ ගැන කතා කළොත්?


එය අපේ රංගන පරාසය හෝ කුසලතාව මත තීරණය වන දෙයක්. ඒකාකාරී වැඩක කාලයක් තිස්සේ රැඳීමේ හානියක් තිබෙන්න පුළුවන්. ඒ කියන කතාවේ සත්‍යතාවක් තිබෙනවා. නමුත් සිස්ටම් එකෙන් එළියේ ඉඳලා අපිට ඒක වෙනස් කරන්න බැහැ. ඒක වෙනස් කරන්න නම් අපිට ඒක ඇතුළට යන්න වෙනවා. අපේ රැකියාව මේක නම්, අපි යැපෙන්නේ  මේකෙන් නම්, දැන් රටේ තිබෙන යාන්ත්‍රණය මේක නම් අපිට සිද්ධ වෙනවා ඒ යාන්ත්‍රණයට ඇතුල් වෙලා එය වෙනස් කරන්න. මම හිතනවා දැන් දැන් මෙගා කියලා පහත් කරලා කතා කරපු එක ඇතුළේත් රංගනයේ පරාසයන්


පෙන්වීමට උත්සාහ කරනවා කියලා. ඒකට මට ලැබුණු හොඳ අවස්ථාවක් තමයි සල්ලි පොකුරු. කලිනුත් ගත්තම මගේ මෙගා නාට්‍යවල චරිත ලාරාගේ චරිතය, සුදු උක්කුං, මෝර ඇළේ කිත්තා කියන චරිතය වගේ ඒවා ඔක්කොම මෙගා තමයි. නමුත් ඒවා ඇතුළේ මම මට පුළු පුළුවන් විධියට චරිත වෙනස් කරගන්න උත්සාහ කළා. ඒවාගේ ප්‍රතිඵල විධියට දිගටම ජනප්‍රියත්වය තබාගෙන එන්න හැකි වුණා කියලා විශ්වාස කරනවා.


ජනප්‍රියත්වය කියන කාරණයට සමාජ මාධ්‍ය මොන ආකාරයෙන්ද බලපාන්නේ කියන එක ගැන කතා කළොත්?


විශාල බලපෑමක් තිබෙනවා. ඒකට මූලිකම හේතුව බවට පත්වෙලා තිබෙන්නේ, මිනිස්සු ටික ටික ටෙලිවිශනයෙන් අෑත්වීම.  දැන් නාට්‍ය බලන පිරිස ටෙලිවිශනයට වඩා යූ ටියුබ් එක හරහා තමයි නාට්‍ය බලන්නේ. දැන් ගොඩක් වෙලාවට මාධ්‍ය නාළිකා පවා තමන්ගේ යූ ටියුබ් නාළිකා තමන්ගේ ප්‍රධාන මාධ්‍ය ඇතුළේ ප්‍රමෝට් කරනවා. යූ ටියුබ් හරහා නාට්‍ය බලන පිරිස ඉන්නේ සමාජ මාධ්‍ය තුළ. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හා ටික් ටොක් වැනි සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම්වල තමයි ප්‍රේක්ෂකයන් ගොඩක් වෙලාවට සැරිසරන්නේ. රංගනය සම්බන්ධයෙන් පමණක් නෙවෙයි, දේශපාලනික වශයෙන් රට තුළ ලොකු වෙනස්කම් කරන්න පවා හැකියාව ඇති ප්‍රබල දෙයක් බවට දැන් සමාජ මාධ්‍ය පත් වෙලා තිබෙන්නේ.


ඒ නිසා අපිට ඒකෙන් වියුක්තව පවතින්න බැහැ. අපිට අපේ නිර්මාණ සහ අපිව ප්‍රවර්ධනය කරන්න වෙන්නේ සමාජ මාධ්‍ය හරහාම තමයි. නමුත් ඒ තුළ අපිට බලහත්කාරයෙන් දෙයක් කරන්න බැහැ. අපිට පුළුවන් පෙන්වන්න පමණයි. ඒකට නැවත ප්‍රතිචාර දක්වන්නේ ප්‍රේක්ෂකයන්ම තමයි. ඉස්සර ටෙලිවිශන් බලපු පිරිසම තමයි එතනත් ඉන්නේ. එදා ටෙලිවිශනය හරහා ඔවුන්ට ඔවුන්ගේ අදහස කියන්න ක්‍රමයක් තිබුණේ නැහැ. නමුත් දැන් සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට ඔවුන්ගේ අදහස කියන්න පුළුවන්. සමාජ මාධ්‍ය අපි භාවිත කරන විධිය අනුව තමයි සියල්ල තීරණය වෙන්නේ. එය අපිට බොහොම හොඳ විධියට භාවිත කරන්න පුළුවන්.


ඔබේ සමකාලීනයක් බොහෝමයක් අධ්‍යක්ෂණයට යොමු වෙලා සිටිනවා, ඔබට ඒ පිළිබඳව අදහසක් නැද්ද?


ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒක හරි පීඩනයක්. මට තවත් නිර්මාණවලට දායක වෙන ගමන් ඒක කරන්න අමාරුයි. ඒක නිසා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කියන පැත්ත ගැන මගේ ලොකු කැමැත්තක් නැහැ. නමුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා සහ ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා.


‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ සාර්ථකව වේදිකාගත වෙනවා, වේදිකාවට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන වගේද?


වේදිකාවේ විශාල පිබිදීමක් තිබෙනවා මේ දිනවල. තරුණ කොටසක්, හොඳ දක්ෂයෝ ටිකක් හොඳ නිර්මාණ බිහි කරනවා සහ සජීවීව ඒ අවස්ථාව රස විඳින්න කැමැති ප්‍රේක්ෂකයන් පිරිසකුත් නැවත ඒ පැත්තට හැරෙනවා. ‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ බලන්න එන ගොඩක් අය අපිත් එක්ක කතා කරන්න ආසාවටත් එනවා. එහෙම එන අලුත් පරම්පරාවේ ගොඩදෙනෙක් ප්‍රථම වතාවට වේදිකා නාට්‍යයක් කියලා බලලා තිබෙන්නේ අපේ නාට්‍යය. ඒකෙන් මට තේරුණු දෙයක් තමයි ටෙලිනාට්‍ය හරහා අපව අ¾දුරගත්ත පිරිසක් තමයි ඒ එන්නේ. ඒකත් මම හිතනවා හොඳ ප්‍රවණතාවක්


කියලා. සාමාන්‍යයෙන් වේදිකා නාට්‍ය බලන්න හුරුවුණු පිරිසක් ඉන්නවා. ඒ අතරින් අලුතෙන්ම වේදිකාවට ඇදෙන තරුණ පිරිසකුත් ඉන්නවා. අපි දැන් දර්ශන වාර අසූවක් අනූවක් පමණ කළා. ඊයේ පෙරේදා කොළඹ විශ්වවිද්‍යාලයෙත් දර්ශන වාරයක් පැවැත්වුවා. ඉදිරියේදීත් විශ්ව විද්‍යාලවලින් ආරාධනා ලැබිලා තිබෙනවා. වේදිකාව තමයි සතත අභ්‍යාසයේ යෙදෙන්න හොඳම තැන. ඒ නිසාම තමයි මම දැන් අවුරුදු ගාණක ඉඳලා කොහොමහරි නිතරම වේදිකා නාට්‍යයක රැ‍ෙ¾දන්නේ.


මේ සියල්ලටම දිනක්ෂිගෙන් හිමිවෙන සහාය ගැනත් කතා කරමු?


ඒක ලොකු ශක්තියක්. ඒ සහයෝගය සහ තේරුම් ගැනීම ඉතාම වැදගත්. ඇය කලා පවුලකින් එන නිසා එය වඩාත් පහසුයි මම හිතන්නේ. නිර්මාණකරණයේදි ඇගෙන් ලැබෙන මානසික සහනය අතිශය වැදගත්. ඒ වගේම පොඩි එක්කෙනා ගත්තොත් ඇය අපිත් එක්කම කලාවේ දේවල් දකින නිසාද මන්දා එයත් හරිම ළෙන්ගතුයි. මට ලැබෙන පොඩිම වෙලාව හරි පවුලේ අය එක්ක ගත කරන්න තමයි උත්සාහ කරන්නේ. මට ලොකු සපෝර්ටිංග් සිස්ටම් එකක් තිබෙනවා. දිනක්ෂිගේ අම්මා තාත්තා අපේ අම්මා, නංගිලා මේ හැමෝම ලොකු සහයෝගයක් දක්වනවා. ඒ හැමෝගෙම උදව්වෙන් තමයි මම මගේ වැඩ ටික කරගෙන යන්නේ.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post