විසල් ආදරෙන් සිනමාවට එන සචින්




සචින් ලියනගේ කියන්නේ මේ දිනවල අතිශය ජනප්‍රිය නළුවෙක්. ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන ‘විසල් ආදරේ’ නුදුරේදීම තිරගතවීමට නියමිතයි. ඔය අතරේ සචින්ගේ අලුත් ආදර කතාවක් ගැනත් හැම තැනම විවිධ කතා පැතිර යනවා. ඉතිං මෙවර ‘මීවිතෙන්’ සචින්ට ඉඩක් වෙන් කරන්න අදහස් කළා.

සචින්ගේ විසල් ආදරේ ගැන හැමෝම කතාබහ වෙනවා?


මේක තමයි මගේ පළමු වැනි සිනමා පා සටහන. මගේ සිනමා ජීවිතය ගැන මිනිස්සුන්ට හොඳ ආරංචියක් දෙන්න පුළුවන්. කාලෙකට පස්සේ මිනිස්සුන්ට බලන්න පුළුවන් ලව් ස්ටෝරි එකක් එනවා. ලොකු පොඩි හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක් කාලෙකින් තිරගත වුණේ නැහැ කියලත් මට හිතෙනවා. ඒක හින්දා මේක තමයි කාලෙකට පස්සේ එන චිත්‍රපටය.


විසල් ආදරේ චිත්‍රපටයේ ගීතයක් එළිදැක්වුණා. කොහොමද ලැබුණු ප්‍රතිචාර?


චිත්‍රපටයක් ජනප්‍රිය වෙන්න නම් ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා. ඒකෙන් එකක් තමයි ගීත. මේ චිත්‍රපටයේ ඔයගොල්ලෝ දැක්කේ ගීත දෙකක් විතරයි. තව ගීත හයක් තියෙනවා. ඔය අතරේ තවත් ගීත තුනක් රිලීස් කරන්නත් තියෙනවා. මම හිතන්නේ ඒ ගීත ඔක්කෝම එක්ක මේක ලස්සන නිර්මාණයක් වේවි.


මේ දවස්වල මොනවද රඟපෑම් වැඩකටයුතු?


මම ආසයි මිනිස්සුන්ට මට දැන් රඟපාන්න පුළුවන් කියලා පෙන්වන්න. මම ටෙලිවිෂනයේ මිනිස්සු අතරට ගියේ ප්‍රේමවන්තයාගෙන් විතරයි. ඒ හින්දා මම සිනමාවට ප්‍රේමවන්තයා කියන එක ඉතුරු කරලා ටෙලිනාට්‍ය තුළින් මගේ වෙන චරිත ටිකක් පෙන්වන්න උත්සාහ කරනවා. ඒ හින්දා කොටස් තිහේ ටෙලිනාට්‍යයක් භාරගත්තා. මේ මාසේ 28 වැනිදා විතර ඒක පටන්ගන්නවා. තව පැරඩයිස් කියලා එක මෙගා නාට්‍යයක් එන්න තියෙනවා. ජානු නාට්‍යය තව මාස දෙකකින් අවසන් වෙනවා. ඒත් එක්කම මම ලියන කතාව ලියලා ඉවර වෙන්න ළඟයි. ඒක කොටස් හතළිහක වැඩක්. ඒකත් මේ අවුරුද්දේ ෂූට් කරන්න හිතාගෙන ඉන්නවා.


සචින් තිරපිටපත් රචකයෙකුත් වුණා?


නැහැ. එහෙම්මම කියන්න බැහැ. මට තවම හැමදේම ඉගෙන ගන්න චරිතයක්. මට අධ්‍යක්ෂණය, තිර පිටපත් රචනය, හඬ කැවීම් ශිල්පය, නර්තන ශිල්පය, ක්‍රිකට් ක්‍රීඩාව වගේ හැමදෙයක්ම පුළුවන්. හැබැයි ඒ හැමදේකටම හැකියාවක් තියෙනවා කියලා පෙන්වන්න මට සහතිකයක් නැහැ. නමුත් ඒ වගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් තැනකදී මට ඒක පෙන්වන්න පුළුවන්.


මේ දේවලින් වැඩිපුරම කැමැති?


මම ඇත්තටම කැමැති රංගනයට. ඒත් එක්කම හඬ කැවීමටත් ආසාවක් තියෙනවා. ඒ ආසාව ටික දවසක් කරද්දී මට ඇතිවෙනවා. දීර්ඝකාලීනව හඬ කැවීම් කරන්න ආසා නැහැ. විවිධ චරිත හරහා රංගනයෙන් ඉස්සරහට එන්න තමයි කැමැති. මානසික සුවය සඳහා සමහර වෙලාවට ක්‍රිකට් ගහනවා.


ජනප්‍රිය නළුවා සම්මානය මෙවරත් අහිමිවෙනවා. හිතේ දුකක් තියෙනවාද?


හිතේ දුකක් නැහැ. හැබැයි පුංචි කලකිරීමකුත් තියෙනවා. ඒක වෙන කෙනෙක් ගත්තා කියලා නෙමෙයි. කොහොම වුණත් මම පස්වතාවක් ජනප්‍රිය නළුවා කාණ්ඩයට තේරීපත්වී තියෙනවා.


ඒ හැමවතාවකම දෙවැනි වුණා. එහෙමනේ?


හතර වතාවක්ම දෙවැනියා වුණා. මෙවර තමයි තුන්වැනියා වුණේ. පළවැනියාට ගොඩක් කට්ටිය ආවට දෙවැනියාට මමනේ. එක අදියරයයිනේ. මම හිතන්නේ එතැන මොකක් හරි වෙනසක් තියෙනවා. ජනප්‍රිය නළුවා මිනිස්සුන්ට දෙන්න ඕනෑ දවසට දේවි. ඒක පස්සේ දිව්වොත් මට ගොඩක් දේවල් අහිමිවේවි. මම දන්නවා ඒක අවශ්‍ය කාලයේදී ගන්න ඕනෑ විදිහ.


ජනප්‍රිය නළුවා වෙන්න කියලා කැම්පේන් කරන්නේ නැහැ?


බොරු කියන්න ඕනෑ නැහැ. මම කියන්න තියෙන දේ කෙලින් කියන චරිතයක්. මුල් කාලයේදී නම් මම කැම්පේන් කරලා තිබුණා. හැබැයි ඇත්තටම පහුවුණු සම්මාන රාත්‍රියන් හතරේදීම මම කැම්පේන් කළේ නැහැ. මෙවරත් කැම්පේන් කරන්න කියලා මුදල් වගයක් විදෙස් රටකින් ඇවිත් තිබුණා. ඒකත් ඔවුන්ට දැනුම්දීලා අහිංසක මිනිස්සුන්ට බෙදලා දුන්නා. ඒවා සමාජ මාධ්‍යයේ දැම්මේ නැහැ.


සචින්ට වැඩිපුර ඉන්නේ රසිකාවියෝ. එහෙමද?


එහෙම දෙයක් නෑ. මම හැමවෙලාවේම මිනිස්සුන්ට ආදරෙයි. මම හදවතේ නළුවා වෙන්න මාර කැමැතියි. ඒවා තුළ යද්දී මට රසිකාවියන් විතරක් ගන්න බෑ. පාරට බැස්සහම හැමෝගෙම ආදරය ලැබෙනවා.


විසල් ආදරේ වෙනස්ම ආදර කතාවක්ද?


මම හිතන්නේ ඔයගොල්ලෝ හිතන ආදර කතාව නෙමෙයි මෙතැන තියෙන්නේ. ඒක සිනමා ශාලාවට ගිහිල්ලාම බලන්න වෙනවා. මේ දවස්වල හැමෝම හිතනවා විසල් ආදරේ මේ වගේ ආදර කතාවක් යන්නේ කියලා. නමුත් මේක වෙනස්ම ආදර කතාවක්.


කියාදෙන්න ආදරේ තරම් ආදරයට සමුදීම ගැන දුකක් තියෙනවාද?


මම හිතන්නේ නිර්වාන්ට මම තරම් කවුරුවත් ආදරේ කළේ නැහැ. මම ඒ චරිතයට ගොඩක් මහන්සි වුණා. දවසින් දවස නිර්වාන් පහළට ගියා. අපි හැමෝටම ජීවිතයේ යම්කිසි දෙයකින් අයින්වෙන්න ඕනෑ අවස්ථාවක් එනවා. තවත් මට මේක ගොඩගන්න බැහැ. ඒකයි මම නිර්වාන්ගෙන් ඉවත් වුණේ. නිර්වාන් කියන කතාව නියම තැන තිබ්බා නම් මම ඇත්තටම සතුටුවෙනවා.


නිර්වාන්, නිර්වාන් විදිහට හිටියා නම් සචින් නිර්වාන්ව දාලා යන්නේ නැහැ?


කවදාවත් දාලා යන්නේ නැහැ. ඒක මම ඕනෑම තැනක කියනවා. මම නිර්වාන්ව අතහැරියේ නිර්වාන්ගෙන් සචින්ට හානියක් වෙන නිසා පමණමයි.


මේ දවස්වල සචින්ගේ ආදරයක් ගැන හැම තැනම කතාවෙනවා?


ඒක අපි ඉදිරියට කතා කරමු. මම දැනට කිසිම මාධ්‍යයක ඒ ගැන කතා කරන්නේ නැහැ. මොකද මට ඉස්සරහට කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඒ වැඩත් එක්ක ඉස්සරහදී හමුවෙමු. මම ආසා නැහැ දැන්ම ඒක අපි එළියට දානවාට. ඒකට එහෙම්ම යන්න දෙමු.


දිනේෂ් විතාන




Previous Post Next Post