අපි ඉන්න ඕන විදිය දැනගන්න ඕන අපිමයි - නිපුනි සමරක්කොඩි



ඇය කලාවට පිවිසෙන්නේ පාසල් වියේදීමය. ඒ නිළි රැජන මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායක වන සමීර හසුන්ගේ ‘මීදුම් අම්මා‘ ටෙලි නිර්මාණයෙනි. එහි ‘කව් අම්මාගේ දුව‘ ලෙස රඟමින් පළමු රංගන අත්දැකීම ලබාගන්නා ඇය ජෝසප් ජෙරම්ගේ සිතින් සියවරක්, එමී වැනි ටෙලි නිර්මාණවලට ද සම්බන්ධ වෙමින් කලාවේ දිගු ගමනක් යන්නට පෙරුම් පිරුවාය. තිළිණ බොරලැස්සගේ රාජිනි ටෙලි නිර්මාණයේ නෙත්මි නම්කියාගේ චරිතයෙන් ප්‍රේක්ෂක හදවත්වල නොමැකෙන මතකයක් තැබූ ඇය නිපුනි සමරක්කොඩිය. රංගන ශිල්පිනියක ලෙසින් ඔබ හමුවට එන ඇය වෘත්තියෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නැයැළෙන්නීය.


“මං කලාවට පිවිසෙන්නේ 2015 වසරේ. ඒ පාසල් යන කාලෙ. පළමු රංගන අත්දැකීම මට අමතක වෙන්නෙ නෑ. හෙළයේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය එක්ක රඟපාන්න ලැබෙනව කියන්නෙම අමතක නොවන අත්දැකීමක්නෙ. ආධුනික මට ඇගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. හරිම ළෙන්ගතුව ඇය මට උපදෙස් දුන්නා. ඇගේ අත්දැකීම් බෙදා ගත්තා. මාලිනී ෆොන්සේකා කියන්නෙ හරිම සපෝටිව් ආදරණීය චරිතයක් කියලා මං එදා තේරුම් ගත්තා. ඒ වගේම මීදුම් අම්මා අධ්‍යක්ෂ සමීර හසුන් කියන්නෙත් මේ දිනවල ජනප්‍රියම තලයේ රැඳෙමින් සම්මාන ලබන ජානු ටෙලි නිර්මාණයේ අධ්‍යක්ෂවරයා. මට හමුවුණු පළමු අධ්‍යක්ෂවරයා විදිහට ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා.“


නෙත්මි නම්කියා කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඇය අපට හමුවන්නේ තිළිණ බොරලැස්සගේ රාජිනී ටෙලි නිර්මාණයේය. රාජිනී ගැන ඇය විශේෂයෙන්ම සිහිපත් කළා.


“මීදුම් අම්මා ටෙලි නාට්‍යයෙන් පස්සෙ ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. ඊට පස්සෙ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වෙයි කියන බයට රංගන කටයුතුවලින් ටික කාලෙකට ඈත් වුණා. පාසල් ගිහින් ඉවර වෙලා ආයෙත් කැලණිය විශ්ව-විද්‍යාලයේ ෆිල්ම් සහ ටෙලිවිෂන් පිළිබඳ ඩිප්ලෝමාව හැදෑරුවා. ඊට පස්සෙ ස්කයි ප්‍රොඩක්ෂන් හවුස් එකට සම්බන්ධ වුණේ සහාය අධ්‍යක්ෂවරියක් විදිහට. එතැනදි තමයි තිළිණ බොරලැස්සගේ රාජිණි ටෙලි නිර්මාණයේ නෙත්මි නම්කියා චරිතයට ආරාධනා ලැබෙන්නේ. ඒකෙ වීඩියෝ යූටියුබ් හරහා ගොඩක් ප්‍රචාරය වුණා. ප්‍රේක්ෂකයන්ගෙ ආදරේ ලැබුණා. ප්‍රේක්ෂකයන් මාව හඳුනගත්තේ රාජිනී ටෙලි නිර්මාණයෙන්. අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස මට ඒ චරිතයට අනුගත වෙන්න ලොකු සහායක් දුන්නා. ඒ වගේම නිකිණි කුසුම් ටෙලි නිර්මාණයේ පවිත්‍රා එහෙමත් නැත්නම් මයිකා කියන්නෙත් මේ දිනවල ප්‍රතිචාර ලබන චරිතයක්. ඒ දෙකේම මට ලැබුණෙ කටකාර චරිත. සාමාන්‍ය ජීවිතෙත් මං ටිකක් සැර චරිතයක්. සමහර විට ඒ නිසා වෙන්න ඇති ඒ වගේ චරිත ලැබෙන්න ඇත්තෙ. “


කටකාරකමින් මිදුණු නිපුනිට අහිංසක වෙන්න ලැබුණු අවස්ථාවක් ගැන නම් ඇය කතා කළේ සොම්නස පිරි හැඟීමෙන්.


“අසංක සායක්කාරගේ සින්ටො කියන ටෙලි නිර්මාණයට මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක අහිංසක චරිතයක්. මෙතෙක් ලැබුණු කටකාර ඒකාකාරි චරිතවලින් මිදෙන්න ලැබුණු මේ අවස්ථාවට මං ගොඩක් කැමැතියි. ඒක ඉදිරියේ දී විකාශය වෙන්න තියෙන ටෙලි නිර්මාණයක්. ඒ චරිතය සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ චරිතයක්. මට ගොඩක් සමීපයි. මාත් සේවය කරන්නෙ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ තියටර් ඇසිස්ටන් විදිහට. තියටර් එක භාරව ඉන්න ලොකු මිස් වගේම මගේ සහෝදර සේවක පිරිසත් මගේ කලා කටයුතුවලට ලොකු සහායක් දෙනවා. එයාල නිසා තමයි මං නිදහසේ ඒ දේවල් කරගන්නේ. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.“


සෞඛ්‍ය අංශයේ කාර්යබහුල රැකියාවක කිරත වෙන නිපුනි කලාවට සම්බන්ධ වූ අයුරු ගැනද සිහිපත් කළා.


මගේ තාත්ත නිතරම මට කිව්වෙ කෙල්ලෙක් වුණාම ස්ථිර රැකියාවක් නම් තියෙන්නම ඕන කියලා. මට කලාවට සම්බන්ධ වෙන්න පාර හදල දුන්නෙත් තාත්තා. ඒ අසිත කුමාර කියන තාත්තගෙ යාළුවෙක් හරහා. මේ වෙද්දි ටෙලි නිර්මාණ ගණනාවකට සම්බන්ධ වෙලා තියෙනවා.


කලාකාමී හිතක් සංවේදීයි කියන එක සාමාන්‍ය කියමනක්. ඒත් නිපුනි කියන්නෙ ඊට ටිකක් වෙනස් චරිතයක්. නිපුනිට ඒක එතරම් ගැටලුවක් වුණේ නැහැ.


“පොඩි කාලෙ ඉඳන්ම මට ලේ දැක්කට බයක් හිතුණෙ නෑ. මම මේ කරන රැකියාවට ගොඩක් කැමතියි. ඒ වගේම රෝගීන්ට සලකන එක ලොකු පිනක්. මම හරිම කැමැත්තෙන් ඒ දේ කරනවා. මිනිස් ජීවිත නැති වෙද්දි සංවේදී නොවී ඉන්න බැරි අවස්ථා තියෙනවා. අපේ රැකියාවෙ හැටියට ඒක දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ප්‍රතිකාර ගන්න අය අතරෙත් ගොඩක් ප්‍රේක්ෂකයො හමුවෙනවා. එයාලගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය මාව අඳුනගෙන ඔයා නේද නෙත්මි නම්කියා කියලා අහලා ඇවිත් සෙල්ෆි ගන්නවා. ඒ වගේ වෙලාවට හරිම සතුටුයි .“


කලාවට හිතකාමී කොතෙක් අය සිටියත් නිපුනිගේ සහකරුවා හමුවෙලා තියෙන්නෙ නම් රැකියාව නිසා.


“අපි දෙන්න එකම බැච් එකේ. එයා සේවය කරන්නෙත් රාගම රෝහලේමයි. අපි යාළු වෙද්දිම එයා දැනන් හිටියා මං කලාවට සම්බන්ධයි කියලා. අපි විවාහ වෙලත් දැන් මාස 7ක්. එයාගෙන් මගේ කලා කටයුතුවලට ලොකු සපෝට් එකක් ලැබෙනවා. එයා නිතරම කියන්නෙ අපි ඉන්න ඕන විදිහ දැනගන්න ඕන අපිමයි කියලා. එයා මාව සියයට දාහක් විශ්වාස කරනවා. මමත් ඒ විශ්වාසය ඒ විදිහටම රකිනවා..“


නාමලී ගමගේ



Previous Post Next Post