තේ හදන තැනින් මේ ගමන පටන් ගත්තේ-දිනෙත් ඈපාලියන




දිනෙත් ඈපාලියන කියලා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ප්‍රේක්ෂකයන්ට මේ නම නම් ටිකක් නුහුරු නුපුරුදු වෙන්න පුළුවන්. ඒත් දෙවෙනි ඉනිමේ මලින්ත කිව්වාම නම් ප්‍රේක්ෂකයන්ට ඔහු ගැන අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ. දෙවෙනි ඉනිම (season 1) හිදී මලින්තගේ චරිතය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේම ඔහුට ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේම විකාශය වන නිකිණි කුසුම් සහ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන සී යූ ටෙලි නාට්‍යය හරහා නැවතත් ප්‍රේක්ෂකයන්ට දිනෙත්ව මුණගැහෙනවා. ඉතින් කලා ලෝකයේ අලුත්ම විස්තර ගැන දැනගන්න අපි දිනෙත්ට කතා කළා.




ඉතින්, දිනෙත් කොහොමද ජීවිතේ ?




ජීවිතේ හොඳයි. මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි. මගේ වාසනාවට මම කාර්යබහුල වෙලා ඉන්නවා කියලයි මට හිතෙන්නේ. ඒ කාර්යබහුලත්වය මැද වුණත් රංගන වැඩකටයුතු ටිකත් අධ්‍යක්ෂණයත් සමබරව කරගෙන සතුටින් ඉන්න උත්සාහ කරනවා.


මොනවද අලුත් විස්තර?




මේ දවස්වල දෙරණ නාලිකාවේ විකාශය වන නිකිණි කුසුම් හා ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන සී යූ කියන ටෙලිනාට්‍ය දෙකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඇත්තටම මේ ටෙලිනාට්‍ය දෙකම මට වෙනස් අත්දැකීමක්. එකිනෙකට වෙනස් චරිත දෙකක් කරන්න තියෙන්නේ. ඒ වෙනස නිසාම තමයි දෙවෙනි ඉනිමට පස්සේ මම මේ ටෙලිනාට්‍ය දෙකට ලැබුණු ආරාධනා බාරගත්තේ. මේ වෙද්දි චරිත දෙකටම ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.




දිනෙත්ට තවමත් ප්‍රේක්ෂකයන් මලින්ත කියලා කතාකරනවා කියන්නේ ඇත්තද?




ඔව්. ඒ ගැන නම් මටත් හිතාගන්න බැහැ. මලින්තගේ චරිතය ඒ තරම් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙලා. දෙවෙනි ඉනිම කියන්නේ අදටත් බොහෝ ප්‍රේක්ෂකයන් නරඹන ටෙලිනාට්‍යයක්. 2019 තමයි මම දෙවෙනි ඉනිමට එකතු වුණේ. අදටත් සමහරුන්ට දිනෙත් කියන නම මතක නැහැ. ඒ අය මට මලින්ත කියලා කතා කරනවා. මලින්තගේ චරිතය නිසා මට මමවත් හිතුවේ නැති ජනප්‍රියත්වයක් ලැබුණා. වෙන කිසිම චරිතයකින් ඒ වගේ ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි.




දෙවෙනි ඉනිම season 2 එකෙත් මලින්තගේ චරිතය තියෙනවා ද?




season 2 එකේ නම් මලින්ත නැහැ. season 1 එකෙන් මලින්තගේ චරිතය අවසන් වුණා. season 1 දී මට ලැබුණු වගකීමට මම උපරිම සාධාරණයක් ඉෂ්ට කළා. ඇත්තටම මම කිසිම නිර්මාණයක් අතරමග දාලා ගිහින් නිර්මාණකරුවන් අමාරුවේ දාන්න කැමති නැහැ. ඒ නිසා මම season 1 අවසන් වෙනකන්ම දෙවනි ඉනිමත් එක්ක හිටියා. ඒ වැඩ කටයුතු ටික අවසන් වුණාට පසුව තමයි අනික් නිර්මාණවලට ලැබුණු ආරාධනා බාරගත්තේ.




දිනෙත් මේ කලා ගමන ආරම්භ කළේ වේදිකාවෙන් නේද ? ඒ අතීතයත් මතක් කරමුද?




ඇත්තටම පොඩි කාලෙ ඉඳන්ම කලාවට කැමැතියි. ඒ නිසා මුලින්ම වේදිකා නාට්‍යය රංගනයට එකතු වුණා. ඒ දවස්වල වේදිකාව තුළත් මට එකිනෙකට වෙනස් විවිධ චරිත රඟපාන්න අවස්ථාව ලැබුණා. වේදිකාවේ රඟ දැක්වූ එක් චරිතයක් සඳහා රුහුණ විශ්වවිද්‍යාලයෙන් මට හොඳම නළුවාට හිමි සම්මානය පවා ලැබුණා. ඒ නිසා තව තවත් රඟපාන්න ආසාව ඇති වුණා. ඊට පස්සේ මං දිගටම වේදිකා නාට්‍යවල රඟපෑවා. උසස් පෙළ විභාගයෙන් පස්සේ රංගනය, චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා වැඩිදුර අධ්‍යාපනය සඳහා මම එංගලන්තයට ගියා.


එංගලන්තයේදී කලාව සම්බන්ධයෙන් මොනවාද ඉගෙන ගත්තේ?




මම එංගලන්තයේ අවුරුදු හයක් හිටියා. චිත්‍රපට සහ ටෙලිනාට්‍යය කලාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය දක්වාම හැදෑරුවා. අධ්‍යක්ෂණය, තිර රචනය නිෂ්පාදනය ගැන ඉගෙන ගත්තා. ඒ අතරතුර එංගලන්තයේ සිනමා නිර්මාණවලටත් සම්බන්ධ වෙලා වැඩ කටයුතු කළා.




දිනෙත් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණයත් කළා නේද?




ඔව්. මම පියවදනී කියන මිනි සීරීස් එක අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදනය කළා. ගිය අවුරුද්දේ ඒ ටෙලිනාට්‍ය දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වුණා. ලක්සිරි වික්‍රමගේ මහත්මයා තමයි ඒ සඳහාත් මට අවස්ථාව ලබා දුන්නේ. මාව විශ්වාස කරලා මට ඒ වැඩේ කරන්න ඉඩ ලබාදීම ගැන මම එතුමාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම පියවදනීට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා අති සාර්ථකව කතාව අවසන් කරන්න පුළුවන් වුණා.




ආයෙත් ඒ වගේ වැඩක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද ?




ඒ වැඩෙන් පස්සේ තවදුරටත් මේ පිළිබඳව හැදෑරීමක් කළ යුතුයි කියලා මට හිතුණා. මොකද පළවෙනි නිර්මාණය තුළ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා මටම තේරුණා. ඒ නිසා තිර රචනය සහ අනෙකුත් කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්නත් පොතපත කියවන්නත් පටන් ගත්තා. දැනට බොහෝ තොරතුරු එක් රැස් කරගෙන ඉන්නවා. ඉදිරියේදී පියවදනීටත් වඩා හොඳ නිර්මාණයක් බිහි කරන්න උත්සාහ කරනවා. ඒකට ටික කාලයක් ගතවේවි.




දිනෙත් කලාවට සම්බන්ධ වෙලා මොනතරම් කාලයක් වෙනවද?




ඇත්තටම මම එංගලන්තයේදිත් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. ඇත්තටම මම පොඩිම තැන ඉඳලයි මේ ගමන ආරම්භ කළේ. සරලවම කියනවනම් තේ අල්ලන, clean කරන එක පවා මම කළා. ඒ විදිහට පියවරෙන් පියවරයි ගමනක් ආවේ. අවසානයේ රංගන ශිල්පියෙක් අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදකවරයෙක් හැටියටත් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ලංකාවේ නොහිටියත් එංගලන්තයේදීත් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කළා. ලංකාවේ ටෙලිනාට්‍යක රඟපාන්න පටන් ගත්ත 2019 දී.




මේ ආව ගමන ගැන දිනෙත්ට මොකද හිතෙන්නේ?




ලොකු සතුටක් සහ නිහතමානී ආඩම්බරයක් තියෙනවා.




දිනෙත්ගේ ගෙදර අය ඒ ගැන මොකද කියන්නේ ?




තාත්තා අම්මා නංගී සහ මගේ නැන්දලා තුන්දෙනා මගේ ගමන ගැන ගොඩක් සතුටු වෙනවා. ඔවුන්ගේ හිතේ තියෙන්නේ නිහඬ සතුටක්. ඔවුන් මගේ ගමනට විශාල ශක්තියක් වෙලා මගේ පිටුපසින් ඉන්නවා.




මොනවාද ඉදිරි වැඩ කටයුතු?




සිනමා නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම ටෙලිනාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඒත් මම තෝරා බේරා ගැනීමක් ඇතිවයි නිර්මාණ භාර ගන්නේ. එක දිගටම ප්‍රේක්ෂකයන්ට පේන්න එන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. ප්‍රේක්ෂකයන්ට මතක හිටින හොඳ නිර්මාණ කිහිපයක් කළත් ඇති. අනිත් එක නිර්මාණ කිහිපයක් බාර අරගෙන අනවශ්‍ය කාර්යබහුලත්වයක් ඇති කරගන්න මම කැමතිත් නැහැ. එහෙම වුණොත් එක නිර්මාණයක්වත් සාර්ථකව කරගන්න බැරිවෙනවා. ඒ නිසා කාලය අරගෙන මම බොහොම හෙමිහිට මගේ ගමන යනවා.




ආදරය සහ විවාහය ගැන දිනෙත්ට මොකද හිතෙන්නේ?




මිනිසෙක් සම්පූර්ණ වෙන්නේ පවුල සහ ආදරය කියන සංකල්පය තුළ කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඉස්සර තිබුණු ආදරේට වඩා දැන් ආදරය කියන එක හරි වෙනස්. ඒකට විවිධ හේතු බලපානවා. කොහොම වුණත් ආදරයක් නැතිව කාටවත් ජීවත් වෙන්න බැහැ. ආදරය නොලැබෙද්දී අසම්පූර්ණ වෙනවා.




එතකොට දැන් දිනෙත්ගේ ජීවිතයආදරයෙන් සම්පූර්ණ වෙලාද තියෙන්නේ?




තවම නැහැ. ආදරය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න වෙනවා. ඇත්තටම කියනවනම් ආදරේ වෙනුවෙන් කාලය අවශ්‍යයි. මම මේ දවස් වල අතිශයින් කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ නිසා ආදරය වෙනුවෙන් වෙන් කරන්න කාලයක් හොයා ගන්න එකත් අමාරු වෙලා තියෙන්නේ. කොහොම වුණත් ඉදිරියේදී ආදරය වෙනුවෙන් කාලයක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට නම් ආදරය ගැන හිතන්නේ නැහැ.



Previous Post Next Post