නිත්‍යා ගැන මමත් 100%ක් සතුටු නැහැ-ශලනි තාරකා



ඇය ජනප්‍රියම හා හොඳම යන කිරුළු දෙකම එකවර දරා ගැනීමට තරම් දුර්ලබ ගණයේ හැකියාවක් සහිත රංගන ශිල්පිනියකි. යුගයේ දක්ෂතම රංගන ශිල්පිනිය වශයෙන් විරුදාවලිය ලත් ඇය පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වෙන්නේ ඉඥඥ කධභ ටෙලි නාට්‍යයේ නේහාගේ චරිතය හේතුවෙනුයි. ශලනි තාරකා විජේබණ්ඩාර නම් වූ ඇය මෙවර හදගැස්ම සමඟින් කළ කතාබහයි මේ.


මේ දවස්වල තොරතුරු ගැන කියලම කතාව ආරම්භ කරමු?


මේ දවස්වල ඉඥඥ කධභ ටෙලි නාට්‍යයේ ෂූටිං යනවා. ඒ වගේම තත්පරයක් දෙන්න නාට්‍යයේ අවසන් අදියර මේ යන්නේ. ඔය  දෙකත් එක්ක තමයි මේ දිනවල වැඩ කටයුතු කරන්නේ. ඊට අමතරව ලබන මාසේ  සිට චිත්‍රපට දෙකක පමණ වැඩ කටයුතු තිබෙනවා.


නේහාට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?


ප්‍රතිචාර හොඳයි. තවම කොටස් කිහිපයයි විකාශය වෙලා තිබෙන්නේ. ඒකත් සමඟ ප්‍රතිචාර වැඩි වීගෙන එනවා.


නේහා කියන්නේ රංගන ශිල්පිනියක්, එම භූමිකාව ඔබට පෞද්ගලිකව බොහොම සමීපයි ඒ ගැන කතා කළොත්?


අපේ පරිසරයේ අපිට ගොඩක් සමීප චරිත ටිකක් තමයි කතාව තුළ තිබෙන්නේ. ඒකත් එක්ක ලොකු අපහසුවක් වුණේ නැහැ එයට අනුගත වීමට. නමුත් නේහාගේ චරිතය කාලයෙන් කාලයට වෙනස් වෙනවා වගේම ඇගේ  අතීතයත් නිරූපණය මෙහි කරනවා. අතීතයත් එක එක ස්ටේජ්වලදී වෙනස් වෙනවා. ඉතිං නේහාගේ චරිතය ගොඩනැඟීමත් හොඳ අත්දැකීමක් වුණා.


ප්‍රේක්ෂකයෝ  පවසනවා තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයෙහි නිත්‍යාගේ චරිතය ඔබට භාර නොගෙන ඉන්න තිබුණා කියලා, ඒ ගැන ඔබේ අදහස?


නිත්‍යා චරිතය සම්පූර්ණයෙන්ම ගොඩනඟන්නේ රසික සුරවීරආරච්චි. එයා ලියන දේ තමයි අපි කරන්නේ. අපිට පිටපතෙන් පිට පනින්න බැහැනේ.  සුපුන්  රත්නායක අයියත් එක්ක වැඩ කරද්දි ඔහුගේ රටාව සම්පූර්ණයෙන් වෙනස්. ඔහුගේ පිටපතකට අනුව වැඩ කරන විට ඔහු සමඟ සාකච්ඡා කරලා චරිතය ගොඩනඟන අවස්ථා ගොඩක් තිබෙනවා. නමුත් වෙන කෙනෙක්ගේ පිටපතක් තව කෙනෙක් අධ්‍යක්ෂණය කරද්දි එතැන යම් කිසි


ගැටලු ටිකක් මතුවෙනවා සහ මටත් පොඩි ගැටලුවක් ආවා. කතාව භාර ගනිද්දි අධ්‍යක්ෂ සුපුන් රත්නායක අයියා මට පැහැදිලි කළ චරිතය සහ පිටපතේ අවසානය වෙද්දි මම බලාපොරොත්තු වුණු චරිතය මෙයින් ගොඩනැඟුණේ නැහැ කියන ගැටලුව මටත් තිබෙනවා. එහිදී මම බලාපොරොත්තු වුණු මට්ටමට චරිතය ආවේ නැහැ. මම විශ්වාසය තබලා එන්නේ සුපුන් අයියා ගැන. ඒ  ඔහුගේ නිර්මාණ බොහොමයක මම වැඩ


කරලා තිබෙන නිසා. තත්පරයක් දෙන්න රසික සුරවීරආරච්චිගේ පිටපත. ඔහු නිත්‍යාව දැකපු විධියට තමයි චරිතය ගොඩනඟන්නේ. ඔහු ගොඩනඟන ආකාරයට තමයි මට රඟපාන්න වෙන්නේ. එතැනදීත් මට  එකඟ වෙන්න බැරි කාරණා සහ ගැටලු ගොඩාක් මතුවුණා. ඔය හැලහැප්පීම් සියල්ල සමඟ අන්තිම කොටස් ටික තමයි දැන් රූගත කරන්නේ. නමුත් මමත් සියයට සියයක් ඒ චරිතය සමඟ සතුටු නැහැ.


විවාහයත් සමඟ රංගන ශිල්පිනියන්ගේ ජනප්‍රියත්වය අඩුවන බවට මතයක් තිබෙනවා, එය ඔබට බලපෑවේ කොහොමද?


මට නම් ඒක කොහෙත්ම දැනිලා නැහැ. මට තිබුණට වඩා ජනප්‍රියත්වය වැඩි වෙලා මිසක් අඩුවක් දැනෙන්නේ නැහැ. නමුත් මම හිතනවා රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වේවා. ඔවුන්ගේ ජීවිතය සමබර විය යුතුයි කියලා. එතැනදි ඔවුන්ගේ කලා ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් සමබර වුණොත් තමයි අපි සාර්ථක වෙන්නේ. ජීවිතය තරාදියක් නම් ඒ දෙපැත්තම සමබර වෙන්න ඕනෑ. එතැනදි එක පැත්තකට බර වැඩියි නම් අපි සාර්ථක නෑ කියලා තමයි මට හිතෙන්නේ. ඕනෑම කෙනෙක්ට නිසි කාලයක් නිසි වයසක් එනවා ඒ ඒ තීරණවලට යන්න. මම හිතනවා මේ


කාලවකවානුවේ තමයි මට නිසිම කාලය කියලා. මොන දේ බැලන්ස් වෙන්නත් හරිම පුද්ගලයා ලැබිය යුතුයි. මම මගේ කාලවකවානුවේ ඒ ගැන ඉවසීමෙන් හිටියා. විවාහ වෙන්න මීට කලින් වුවමනාව තිබුණත් මට සුදුසු පුද්ගලයෙක් ලැබෙනකම් ඉවසගෙන හිටියා. ඉතිං සුදුසු පුද්ගලයා ජීවිතයට ලැබුණම මම විවාහ වුණා. ඔහුගෙන් මට කිසිම බලපෑමක් නැහැ මගේ කලා කටයුතුවලට. ඒකයි මම ලංකාවට ඇවිත් ඒ දේවල් කරගෙන යන්නේ. එතැනදි මගේ වගකීම තමයි ඔහුටත් හානියක් නොවෙන්න, කලා කටයුතුවලටත් හානියක් නොවෙන්න දෙකම සමබර කරගන්න එක. ඔහුගෙන් ඒ සඳහා ලොකු සහායක් ලැබෙනවා.


පුද්ගල ජනප්‍රියත්වය ගැන ඔබ දරන මතය මොන වගේද?


ජනප්‍රියත්වය ගැන කතා කරන විට දීර්ඝ කාලයක් පුරාවට මිනිසුන්ට මතක හිටින කෙනෙක් වීම හා මේ මොහොතේ ජනප්‍රිය වෙලා ඉක්මනටම අමතක වෙන කෙනෙක් වීම වෙනයි. මට අවශ්‍ය වුණේ හැමදාම ජනප්‍රිය නිළිය අවෝර්ඩ් එක අරගෙන මම ජනප්‍රියයි කියලා පෙන්නන්න නෙවෙයි. මට අවශ්‍ය මම කරපු කලා කටයුතු එක්ක ඔවුන්ට මාව සහ මගේ චරිත මතකයේ රැඳවීමට. මම හිතනවා ඒ අතින් මම යම්තාක් දුරකට සාර්ථක වෙලා තිබෙනවා කියලා. අවුරුදු ගාණක් ගිහින් හරි අපේ චරිතය මතක තිබීම තමයි අප දීර්ඝකාලීනව රඳා පවත්වාගෙන යෑමට හැකි දෙය. එහෙම නැතුªව නාට්‍යය විකාශය වෙද්දි ගොඩක් ජනප්‍රිය වෙලා පසුව මිනිසුන්ට නමවත් අමතක වන ක්ෂණික ජනප්‍රියත්වයෙන් වැඩක් නැහැ.


සැමියා වෙන රටක ජීවත්වන නිසා ඉදිරියේදි ඔබට කලාවෙන් සමුගන්න වේවිද?


ඇත්තටම මේ දිනවල මම ඉන්නෙත් මගේ කලා කටයුතු ටිකක් අවසන් කරන්න. නමුත් ඉදිරියේදී මාව දීර්ඝ ටෙලි නාට්‍යවලින් නම් දකින්න ලැබෙන එකක් නැහැ. හොඳ නිර්මාණයක් ආවොත් පමණක් මම රංගනයේ යෙදෙයි. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට  මගේ රංගන කටයුතු ඉතාම සීමාවෙයි. ඉස්සර වගේ නම් කොහොමත්ම රංගනයත් එක්ක ගොඩක් කාර්යබහුල වෙන්නේ නැහැ. ඒක තමයි දැනට තිබෙන තත්ත්වය. නමුත් හොඳ පිටපතක් සහිත නිර්මාණයක් සමඟ යමක් කළ හැකි චරිතයක් ලැබුණොත් දායක වෙනවා.


ඔබ පසුගිය කාලයේ එතරම් මාධ්‍ය හමුවට ආවේ නැහැ, ඒකට විශේෂ හේතුවක් තිබෙනවද?


පහුගිය කාලයේ විතරක් නෙවෙයි. කොහොමත් මම කැමැති නැහැ නිතරම එක්ස්පෝස් වෙන්න. මම ටිවී ප්‍රෝග්‍රෑම්වලට, චැට් ප්‍රෝග්‍රෑම්වලට යන කෙනෙක් හෝ නිතරම පත්තරවලට ඉන්ටර්වීව් දෙන කෙනෙක් නෙවෙයි. මොකක් හෝ මගේ නිර්මාණයක් එනවා නම්, ඒක ප්‍රේක්ෂකයා අතරට අරගෙන යන්න අවශ්‍ය නම් මම ඉන්ටර්වීව් එකක් කරනවා. එහෙම නැතිව හැම වෙලේම අපි කතා කළොත් ඒක වැඩක් නැහැ කියලා මම හිතනවා. මම සාමාන්‍යයෙන් අවුරුදු ප්‍රෝග්‍රෑම්වල, ක්‍රිස්මස් ප්‍රෝග්‍රෑම්වල කිසිම නාළිකාවක නිතර  දකින්න ඉන්න කෙනෙක් නෙවෙයි. ඒක මගේ පෞද්ගලික කැමැත්ත. ඉන්ටර්වීව් එකකට පවා යන්නේ විශේෂයෙන් කතා කරන්න දෙයක් තිබෙනවා නම් පමණයි.


අවසන් වශයෙන් ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ ගැනත් මතක් කරමු?


සීගිරි කියලා සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරපු චිත්‍රපටයක් තිබෙනවා. ඒක ඉක්මනටම තිරගත වෙයි. ඊට අමතරව මේ අවුරුද්දේ ෂූට් කරන ෆිල්ම් ටික බොහොම ඉක්මනට දැක ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා. කලින් කරපු තවම වැඩ අවසන් නොකළ චිත්‍රපට කිහිපයකුත් තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post