යුද්ධ දෙකක් මැද ජයගත්තු ආදර කතාවක් මට තියෙන්නේ -හේෂාන් ගමගේ




නිමන්ත හේෂාන් ගමගේ කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රතිභාපූර්ණ සංගීතවේදී සංගීතාචාර්යවරයෙක්. ඔබට මතක ඇති ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු තැනූ අරගලය චිත්‍රපටයේ එන “මගෙ පොඩි යාළු” කියන ළමා ගීතය. එම ගීතය නෑසූ දෙසවනක් නැති තරම්. මේ ගීතය ගැයූ පළමු මෙන්ම එය අයිති ළමා ගායකයා වන්නේද නිමන්ත හේෂාන් ගමගේයි. කථිකාචාර්යවරයකු ද වන ඔහු පසුව අපට හමුවුයේ රියැලිටි තරඟවල විනිසුරුවරයකු හැටියටයි. කෙසේ වෙතත් දිගු කලක් නිහඬව සිටි හේෂාන් ගැන යළි කතාබහක් ඇතිව තිබෙනවා. ඒ නිසා ඔහුගේ අලුත්ම වැඩ කටයුතු ගැන සහ ජිවිතේ ගැන දැනගන්න රසඳුන සොඳුරු කතාබහකට සම්බන්ධ කර ගත්තා….


දිගු නිහැඬියාවකට පස්සේ මාධ්‍යයට ඇවිත් තිබුණා


ඔව්. මම අවුරුදු ගාණකට පස්සේ රූපවාහිනී වැඩසටහනකට ආවේ. මම කථිකාචාර්යවරයෙක් විදියට වැඩකරන ගමන් රූපවාහිනී නාළිකාවක විනිශ්චය මණ්ඩලයට එක්වෙලා හිටියේ. අනිත් නාළිකා වලට යාළුවෝ කතා කළාම උදව් කරන්න ගියා මිසක් මම එක දිගට වෙන නාළිකාවල වැඩ කළේ නැහැ. විනිශ්චය මණ්ඩලයේ ඉන්න කාලේ ඒ ආයතනයේ දී ඇතිවූ යම් කිසි දෙයක් නිසා මම රුපවාහිනි මාධ්‍යය කියන දේ අතහැරියා. අන්තිමට මම හිටියේ Junior super star හි ඒ මිට අවුරුදු 6 කට කලින් වගේ. ඊට පස්සේ මට රූපවාහිනි නාලිකාවක අවස්ථාවක් දුන්නේ තුෂාන් කරුණාරත්න අයියා. වෙන කිසිම නාලිකාවකින් මට ඇරයුම් කළේ නැහැ. එහෙම ආරාධනා ආවේ නැහැ කියන එක මට ප්‍රශ්නයකුත් නැහැ. මම මගේ රස්සාව කරගෙන හිටියා. මෑතක සිරස නාලිකාවේ ජිවිතයට ඉඩ දෙන්න වැඩසටහනට ඇරයුම් කළා. ඒ වැඩසටහනට මමයි අම්මයි සහභාගී වුණේ. ඒ වැඩසටහන තමයි මේ වෙද්දී වයිරල් වෙන්නේ.


හේෂාන් මේ වෙද්දී මොනවද කරන්නේ?


මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කරනවා. මට සහ මගේ බිරිඳ අංජලි මිශ්‍රාට උගන්වන්න අවස්ථාව සලසා දෙන්නේ අපේ හිටපු උප කුලපති කෙනෙක් වන ‍ෙජ්‍යෂ්ඨ මහාචාර්ය ජයසේන කොට්ටෙගොඩ සර්. එතුමන්ව ආදරෙන් මතක් කරන්න ඕනේ. මේ වෙද්දී මගේ බිරිඳ අංජලි මිශ්‍රා ෙජ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්යවරියක් විදියට සේවය කරනවා. ඒ එක්කම මාව රූප මාධ්‍යය හරහා කරළියට ගේන්නේ ජැක්සන් ඇන්තනි අයියා. එයාගේ විසේකා ලංකාර වැඩසටහන තුළින්. මට මගේ ජිවිතේ ලැබෙන්න ඕනේ හොඳම කමෙන්ට්ස් ලැබිලා තියෙන්නේ ජැක්සන් අයියාගෙන්. ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. අදටත් ජැක්සන් අයියා නැති අඩුව මට තදින්ම දැනෙනවා. ඊට අමතරව මගේ “ආවාස් සංගීත ඇකඩමි එක තියෙනවා. ඒ එක්කම “ආලාප්” ප්‍රඩක්ෂන් හවුස් එක තියෙනවා. ඔය හැමදේම එක්ක තිත්තගල්ලේ ආනන්දසිරි නායක ස්වාමීන්වහන්සේ එක්ක මම ගුරුකුලයක් පවත්වාගෙන යනවා. ඒක ඉතා විශිෂ්ට කාර්යභාරයක්. ලංකාවේ ළමයින්ට නොමිලේ සියලු පහසුකම් සහිත අවුරුදු හතරක සංගීත අධ්‍යාපනයක් ලබාදෙන ගුරුකුලයක්. මම හිතන්නේ ආසියාවේවත් එහෙම ගුරුකුලයක් නැහැ. ඒ වැඩවලට මම මගේ කාලය යෙදෙව්වා. ඒ එක්කම මම මගේ “හියුමාන්ස්” කියන ෆියුෂන් බෑන්ඩ් එකක් පටන් ගත්තා. දැන් අපි ලෑස්තියි ඒ හරහා අපේ ඉදිරිපත් කිරීම් කරන්න.


හේෂාන්ව අපි සමාජ මාධ්‍යය තුළ එතරම් දැක්කේ නැහැ?


ඇත්තටම මම සමාජ මාධ්‍යය තුළ නැති කෙනෙක්. ඒ නිසා ගොඩක් අය ප්‍රශ්න කරලා තිබ්බා මම කෝ කියලා. ඒ වගේම මම සින්දු කියලා ඒ දේවල් සෝෂල් මිඩියාවල දාලා නැහැ. මම එළියට ගියත් විවෘත වෙන විදියට නෙවෙයි මම යන්නේ. බොහෝ විට කලාකරුවන් මාධ්‍යට විවෘත වෙන්න කැමතියි. නමුත් මම එහෙම කෙනෙක් නොවන නිසා කට්ටියට ප්‍රශ්නයක් තිබ්බා මම ලංකාවේ ඉන්නවද නැද්ද කියලා.


ඔබ ඉන්දියාවට ගොස් සංගීතය හදාරපු කෙනෙක්, කොහොමද ඒ ගත කරපු කාලය


ඉන්දියාවේ ගත කරපු කාලය අත්දැකීම් බහුලයි. ඒ කාලය ඇතුළත දී තමයි මට මගේ ජිවිතේ සහකාරිය හමුවෙන්නෙත්. අවුරුදු 21 දී වගේ මට විවාහ වෙන්නත් සිද්ධ වෙනවා. අවුරුදු 8ක් 9ක් වගේ කාලයක් මම ඉන්දියාවේ ජිවත් වුණා. එතැනදී මම සංගීතය ගැන බොහෝ දේ දැන ගත්තා. මගේ ප්‍රථම ගුරුවරිය වෙන්නේ විශාරද ආචාර්ය නන්දා මාලනියන්. ඒ එක්කම මගේ උසස් පෙළ කාලේ ගුරුවරිය වුණේ විනීතා ෆොන්සේකා. ඉන්දියාවේ මගේ ගුරුවරයා වුණේ උස්තාද් ඉර්ෂාද් වාර්සී ඛාන්. ඔහු මට හැම තිස්සෙම වගේ කිව්වේ උඹ ගෝලයෝ බිහි කරන්න ඕනේ කියන එක. ඉතින් මට ලංකාවට ඇවිත් කරන්න ඕනේ වුණේ ලංකාවට මම ඉගෙන ගත්ත ශිල්පය තුළින් නිසි අධ්‍යපනයක් සරලව ළමයින්ට ලබා දීලා ඒ අයව පෝෂණය කරලා ඒ අය යා යුතු මාර්ගවල යවලා ඒ දිහා බලල සන්තෝෂ වෙන්න. මම එක අවුරුදු 15ක් තිස්සේ කළා. දැන් මම මගේ ශෙඩුල් එක වෙනස් කරලා හේෂාන් ගමගේ ඇතුළේ ඉන්න එකාව බිහිකරන්න පොඩි ප්‍රයත්නයක් දරනවා.


හේෂාන්ට ආදරේදී විවාහයේදී තියෙන අත්දැකීම වචන කළොත්?


මට එයාව හමුන්නේ විශ්වවිද්‍යාලයේදී. ඇය ඉන්දියාවේ බ්‍රහ්මණ කුලයේ යුවතියක්. නම අංජලී මිශ්‍රා. අපේ ආදර කතාවට මුල ඉඳන්ම ආවේ විරෝධතා. ඒ නිසාම මට සිද්ධ වුණා ඉතා ඉක්මනින් ඇයව ලංකාවට ගෙන්න ගන්න. අධ්‍යාපනය ලබන අතරතුර ඒ යුද්ධයත් කරගෙන යන්න මට සිද්ධ වෙනවා. ඒ කාලයේ විශ්වවිද්‍යාලයේ සහ ඒ ප්‍රාන්තයේ ඇතිවෙන බොහොමයක් බාධක මැද ජයගත් ආදර කතාවක් මට තියෙන්නේ.


හේෂාන් ගමගේ කියන්නේ හිතුවක්කාර දඩබ්බර චරිතයක් ද?


මම හියුමනිටි කියන දේ මත ඉන්න කෙනෙක්. අපි මැරෙනකම්ම අපි හියුමනිටි කියන දේ ඉගෙන ගන්නවානේ. ඒ නිසා තමයි හියුමන් කියන ඉංග්‍රීසි වචනයට තව A අකුරක් වැඩි කරලා මගේ බෑන්ඩ් එකට මම හියුමාන්ස් කියන නම තියන්නෙත්. එතකොට මනුෂ්‍යත්වය කියන දේට සංගීතය කොහොමද එකතු කරන්නේ කියන තැන ඉඳන් තමයි මම ජිවත් වෙන්නේ. ඒ නිසා යම් යම් තැන්වලදී දඩබ්බර වීමේ ආසාව මට ඇතිවෙනවා. මොකද සමහර තැන්වලදී හියුමන් කියන තැනින් මිනිස්සු ඈත් වෙලා සත්තුන්ටත් වඩා පහත් තැනකට එනකොට සමහර විට ඇඟේ තියෙන දේවල් ඇක්ටිව් වෙලා එනකොට දඩබ්බර වෙන්න අවකාශය ලැබෙනවා.


මම දඩබ්බර ද කියලා ඇහුවේ, ආදරේදී ඇති කර ගත්ත ප්‍රශ්න එක්ක?


එතැනදී වෙන්නේ කෙනෙක්ට වෙච්ච පොරොන්දුවක්. අපි ගොඩක් පොරොන්දු කඩ කරන ජාතියක්නේ. මම මේ කියන දේ සාපේක්ෂයි. නමුත් පොරොන්දු කඩ කිරීමේ හොඳ පුහුණුවක් අපිට තියෙනවා. හැබැයි ආදරේ සම්බන්ධව මගේ ජිවිතේ පොරොන්දු කඩ කිරීමේ පුරුද්දක් නැහැ. මම කෙනෙක්ට සත්‍ය වශයෙන්ම ආදරේ කළා නම් ඊට පස්සේ මම කරන්නේ ඒ ආදරේ රැක ගැනීම සහ ගෞරව කිරීමයි. ඒ තුළ තමයි මම ඉදිරියට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ඒ වෙද්දී මම දැනන් හිටියේ නැහැ මේ තරම් ප්‍රශ්න වෙයි කියලා. ප්‍රශ්නය දීර්ඝ වෙන්න වෙන්න මට ඇතිවුණු බය තමයි මේ කෙල්ල අහිමි වීමේ අභාග්‍යය මට උදා වෙයිද කියලා. එතැනදී මම ආදරේ කරපු අංජලී මිශ්‍රා කියන පවර්පුල් චරිතය මට ගොඩක් උදව් කළා. එයාගේ සමාජ බැමි වලින් කැඩිලා මේ අඳුරන්නේ නැති හේෂාන් ගමගේ එක්ක ලංකාවට යන්න. එතැනදී අපි දබ්බර වුණා.


ඉන්දියාවේ දී හිත ගිය පළමු කෙනාද අංජලි කියන්නේ


එහෙම නැහැ. ඇත්තම කියනවා නම් එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්නේ. ආදරේ ප්‍රකාශනය කරන විදිය වෙනස්නේ. නමුත් සමහර අය එක්ක අපිට අමුතු වයිබ් එකක් දැනෙනවා. එතකොට ඒ දැනෙන දේ මත මට හැඟුණා ඇයට ආදරේ කරන්න. එතැනදී ඇය තුළ තිබ්බ ලස්සනවත්, ඇය බ්‍රාහ්මණ කුලයේ නිසා ඇය සතු හික්මීමටත් වඩා ඔබ්බට ගියා එයාගේ නර්තන ශෛලියෙන් එළියට එන භාවමය ප්‍රකාශනයන්. ඒ භාවමය ප්‍රකාශනයන් එක්ක බද්ධ වුණාදෝ කියන හැඟීම තියෙනවා අදටත්. මොකද මම එයා නර්තන කටයුතු පුහුණු වෙද්දී ඒ දිහා බලාගෙන හිටිය අවස්ථා තියෙනවා. ඉන්දීය කථක් නර්තනය සහ මම ඉගෙන ගන්න ගිය සංගීතයේත් සම්බන්ධයක් තිබ්බා. ඒ නිසා අපේ ආදරේට කලාව සීයට සීයක් සම්බන්ධ වුණා කියන විශ්වාසය මට තියෙනවා.


දැන් අංජලිගේ පවුලේ උදවිය එක්ක සබඳතා තියෙනවද?


ඔව්. ඉතාම හොඳ ෆැමිලි එකක්. එයාගේ අම්මා අසනීපයෙන් ඒ කාලේ හිටියේ. අපේ ආදර සබඳතාව පටන් ගෙන ටික කාලයක් යද්දී මව නැති වෙනවා. එයාට මල්ලිලා දෙන්නෙක් ඉන්නේ. ඒ කාලේ නම් අපේ ආදර කතාවට දැඩිව විරුද්ධ වුණා. හැබැයි තාත්තා අපිට උදව් කළා. දැඩි විරෝධතා නිසා අපි ගමෙන් පැනලා එද්දී තාත්තා තමයි ආවේ අංජලිගේ ඇඳුම් බෑග් එක අරගෙන. තාත්තා අංජලිට පුදුම ආදරයක් තිබ්බේ. ඒ නිසා අංජලි ගැන තාත්තට තිබ්බ විශ්වාසය මම එදා තාත්තාගේ ඇස් වලින් දැක්කා. එදා තාත්තට මොන වගේ බයක් වේදනාවක් තිබ්බද කියන එක අදටත් හිතා ගන්න ආමාරුයි. හැබැයි අංජලි ලංකාවට ඇවිත් සතුටින් ඉන්නවා කියන එක එයාලා දැන ගන්නවා. ඒ මත තමයි කාලයක් ඇවෑමෙන් මගේ ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. එතැනින් පස්සේ එයාගේ මල්ලිලා දෙන්නා මාව තේරුම් ගන්නවා සහ මම කවුද කියන එක එයාලා දැන ගන්නවා. අදටත් අපි හරිම සුහදව ඉන්නවා.


මේ කාලයේ හේෂාන් ගමගේ ඇතුළේ ඉන්න කෙනාව බිහිකරන ප්‍රයත්නයකනේ ඉන්නේ, ඒ වෙනුවෙන් මොනවද කරන්නේ


ගොඩක් අය කරන්නේ තරුණ කාලයේ කලාකරුවෙක් විදියට මතු වෙලා වයසට ගිහින් තමයි ඉගැන්වීම කරන්නේ. නමුත් මගේ ආපු ගමන් මගේ ආව විදිය පොඩ්ඩක් වෙනස්. ඒකට මම ඉගෙන ගත්ත ගුරුතුමාගේ දැක්ම හේතු වෙන්න ඇති. මම මේ සංගීත ක්ෂේත්‍රය තුළ දශමස්ථානයයි ඉගෙන ගත්තේ. හැබැයි ඒ තුළ තියෙන බර මම දන්නවා. ඒක පාවිච්චි කරලා ගෝලයෝ හැදීමේ හැකියාවක් මට තියෙනවා. ඒ දේ අද ඔප්පු වෙලා තියෙනවා මගේ ගෝලයෝ ප්‍රමාණය සහ ඒ අය අද කොච්චර තැන් වල‍ට ගිහින්ද කියන එකත් එක්ක. මෙතන රියල් ගුරුවරයෙක් කියන්නේ එයාව දැවෙමින් අනිත් අයට ආලෝකයක් දෙන එක හා සමාන දෙයක්. එතැනදී ගුරුවරයාගේ ඥානය පුහුණුව වැඩිවෙන්න පුළුවන්. නමුත් හදන්නේ ගෝලයාව. ගෝලයා දැකලා ගුරුවරයා සතුටු වෙනවා. ඔය අතරේ හේෂාන් ගමගේ ඇතුළේ ඉන්න කෙනා කවද්ද එළියට එන්නේ කියන එක මතු වෙනවා. ඒ හේෂාන් ජනප්‍රිය වෙන එක නෙවෙයි. කවද්ද හේෂාන්, හේෂාන්ව දකින්නේ කියන එක. එතැනට එද්දී මට අවශ්‍ය වුණා මම මාව තනියම බිහිකර ගන්නවට වඩා කණ්ඩායමක් එක්ක ගමනක් යන්න. ඒ නිසා මම කරන්නේ අතිදක්ෂ සංගීතඥයන් 10 දෙනෙක් එකතු කරන් මම හදනවා හියුමාන්ස් කියන ෆියුෂන් බෑන්ඩ් එක. හේෂාන් ගමගේව බිහි කරන්න ඕනේ ඒ මගේ සහෝදර කණ්ඩායම එක්කම.


මේ අවුරුද්ද තුළ සංගීත ක්ෂේත්‍රයට යමක් එකතු වෙයිද?


අපි යම් යම් ප්‍රයත්න දරුවා. සමහර අය අපිට ඉර හඳ තරු පෙන්නුවා. නමුත් අපි අපේ බෑන්ඩ් එක තනියම එන ගමනක් තියෙන්නේ. මෙතැනදී කෞශල්‍යා වික්‍රමසිංහ අක්කා මතක් කරන්නම ඕනේ. ඇය නිසා මෑතක දී අපේ කණ්ඩායමට ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍රත්ව සංගමය සංවිධාන කරපු ජාතික නිදහස් දින උත්සවයේ (ICF) ප්‍රසංගයකට සහභාගී වෙන්න ලැබෙනවා. මෙතැනදී ශ්‍රී ලංකා ඉන්දියා සොසයිටි එකේ සභාපති ක්‍රිෂෝර් රෙඩ්ඩි සර්වත් ආදරෙන් මතක් කරන්න ඕනේ. අපි දැන් බොලිවුඩ් බෑන්ඩ් එකක් විදියටත් එළියට ඇවිත් තියෙනවා. අපි ඕනෙම භාෂාවක සින්දු ප්ලේ කරනවා. ඔය අතරේ ස්පෙෂල් බොලිවුඩ් බෑන්ඩ් එකක් විදියට අපි එළියට එනවා. මම හිතන්නේ ලංකාව ඇතුළෙ තියෙන එකම බොලිවුඩ් බෑන්ඩ් එක අපි වෙන්න ඕනේ. දැන් අපිට ඉන්දියාවට වුණත් ගිහින් ප්ලේ කරලා එන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ එක්කම අපි ඔර්ජිනල් බෑන්ඩ් එකක් විදියට අපේම සින්දු නිර්මාණය කරලා අපේම ආරවල් පෙන්නලා එන්න කැමති. මේ හරහා තමයි හේෂාන් ගමගේ එක්ක අනිත් හියුමාන්ලත් එළියට එන්නේ. අපේ පළමු සින්දුව මගේ තාත්තා හෙක්ටර් කුමාරසිරි නිර්මාණය කරපු අනෝරා චිත්‍රපටයේ එන “නුඹ විතරමයි” කියන සින්දුව එළියට එනවා. එහි ප්‍රධාන චරිතය කරන්නෙත් මම. ඒ චිත්‍රපටය නුදුරේම ප්‍රේක්ෂකයින්ට දැක ගන්න පුළුවන්. මෙතැනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ක්‍රිස් නෙරංජන් වික්‍රමසිංහ අයියා. ඔහු වගේ කෙනෙක් මට මින් පෙර හම්බෙලා නැහැ. ඔහු එක්ක අපි අලුත් කාටුන් ෆිල්ම් එකක් පවා පටන් ගත්තා. එහි නම ගීස් බීස්. එහි ගීස් ට හඬ කවන්නෙත් මම. ඒ දේවල් තුළින් යම් කිසි වෙනසක් සංගීත ක්ෂේත්‍රය තුළ ඇති කරයි කියලා මම විශ්වාස කරනවා.


නැවත අපි ඔබේ පෞද්ගලික ජිවිතේට ආවොත්, දරුවන් කලාවට සම්බන්ධ වෙයිද?


තාත්තා හෙක්ටර් කුමාරසිරි. අම්මා ශිරාණි ගමගේ. මට සහ අංජලිට නිවුන් පිරිමි දරුවන් ඉන්නේ. ලොකු පුතා ක්‍රිෂ් ඉෂාන් ගමගේ. පොඩි පුතා විෂ් තෝශාන් ගමගේ. ඒ දෙන්නට දැන් අවුරුදු 16ක් වෙනවා. ඒ දෙන්නටම සංගීතය ගැන දැනුමක් තියෙනවා. හැබැයි මම බල කරන්නේ නැහැ. ඒ අය කැමති ක්ෂේත්‍රයක නියැළෙන්න අපි නිදහස දීලා තියෙනවා. මට ඒ අය මොන දේ කළත් මම ඒ අය තුළින් බලාපොරොත්තු වෙන්නේ මනුෂ්‍යත්වය පමණයි.


සමාජ මාධ්‍යය තුළ නැති එක ප්‍රේක්ෂකයින් අතරට ඔබව අරගෙන යන්න බාධාවක් කියලා හිතෙන්නේ නැද්ද?


මම දකින ආටිස් සෝෂල් මිඩියා වල උදේ පාන්දර ෆොටෝ දාන, කන බොන ඒවා පෙන්වන, ගෙදර සහ වාහන පෙන්වන තැන නෙවෙයි. මම දකින ආටිස් අයිති විශ්වයට. මේ ආටිස් වෙන්න හරි අමාරුයි. හැබැයි අද නම් එක සින්දුවක් දෙකක් ජනප්‍රිය වුණත් ලේජන්ස් කියලා දා ගන්න අය ඉන්නවා. මම ඉන්නේ එතැන නෙවෙයි. මිනිසුන්ගේ හිත් සුවපත් කරන සුලලිත් කලාවන්ගෙන්ම සමත් වුණු කෙනෙක් තමයි සංගීතඥයෙක් කියන්නේ. එහෙම අයට සමාජයක් වුණත් වෙනස් කරන්න පුළුවන්. මම කියන්නේ සෝෂල් මිඩියා ඕනේ නැහැ කියන එක නෙවෙයි. මම කියන්නේ සෝෂල් මිඩියා හරහා මට ආටිස් කෙනෙක් වීමේ අවශ්‍යතාවක් නැහැ. බූස්ට් කරලා ජනප්‍රිය වෙන්න මම කැමති නැහැ. මම කැමති ඇත්තටම මට මිනිස්සු ආදරේ කරනවට. ඒකට තමයි මම ගරු කරන්නේ. මම කැමති මගේ ෆැන්ටසි එකේ ඉඳන් මගේ ගමන යන්න.


අනුෂා රණසිංහ



Previous Post Next Post